Loading

Loading...

අසිරි මවන සප්ත කන්‍යාවියෝ……

ඔබ ශ්‍රීපාදස්ථානය වන්දනා කිරීමට යාමේදී මස්කෙළිය, ලක්ෂපාන ප්‍රදේශයේදී අපූර්ව රූප මවන කන්‍යාවියන් සත්දෙනාගේ අඩවිය දැක ඇති බවට නොඅනුමානය. එම සප්ත කන්‍යා කදු පන්තිය වනාහි ලංකාවේ කඳු තරණය කරන බොහෝ දෙනෙකුගේ අපූර්ව සිහිනයකි. බොහෝ රහස් සගවා සිටිනා වූ කන්‍යාවියන් සත්දෙනාගේ සුන්දරත්වය සොයායාම තරමක් අසීරු කටයුත්තකි.

එකිනෙකා පරයා නැගෙන කඳු හතකින් සමන්විත සප්තකන්‍යා කඳුවැටිය යනු ශ්‍රී ලංකාවේ පිහිටි තරණයට අසීරුම කඳු පන්තියක් බවට නොරහසකි.සබරගමු හා මධ්‍යම පළාත් සීමාවේ නුවරඑළිය - මස්කෙළිය ප්‍රදේශයේ නෝර්ටන් වතුයායට ඉහළින් වූ වනාන්තරයකින් පැන නගින සෙවන් වර්ජින්ස් හිල්ස් හෙවත් සප්තකන්‍යා කඳුවැටියේ උස්ම කඳු මුදුන පිහිටා ඇත්තේ මුහුදු මට්ටමේ සිට මීටර් 1569 ක් උසිනි. ශ්‍රී ලංකාවේ අටවන උසම දිය ඇල්ල වන ලක්ෂපාන දිය ඇල්ලෙන් කඩා හැලෙන ජල ධාරාවන් දෙස නෙත් යොමා සිටින්නාවූ මෙම කන්‍යාවියන් සත්දෙනාගේ කඳුවැටිය කැළණි ගගෙන් පෝෂණය වන්නාවූ සංවේදී පරිසර පද්ධතියකි. ලක්ෂපාන ජල විදුලි බලාගාරය ඉස්මත්තේ පිහිටි මෙම සප්තකන්‍යාවියෝ දවසේ වැඩි කාලයක් මීදුමෙන් සැගවී සිටිති. උඩ ලක්ෂපානගල යනු සප්තකන්‍යා කඳුවැටිය හදුන්වන අන්වර්ථ නාමයකි. දෙමළෙන් අන්ජිමලෙයි ලෙසද හඳුන්වන්නේ සප්තකන්‍යාවියන්මය.

මූලාශ්‍රය: trips.lakdasun.org වෙබ් අඩවිය

සප්තකන්‍යා යන වචනය සවන වැකෙත්ම මනසට නැගෙනුයේ ලංකාවේ එතෙක් මෙතෙක් සිදු වූ දරුණුතම ගුවන්‍ යානා අනතුරයි.

  • කන්දෙ හැපුන මහ වනන්තරේ

  • ඩී.සී.8 ගුවන් යන්තරේ

  • මරුවා ආ කල මිතුරේ

  • බේරෙන්න බෑ සසරේ

  • කාගෙද මට වරද නොතේරේ

මීට දශක කිහිපයකට පෙර නිර්මාණය වුනු ඉහත ගීතය විසින් 1974 දෙසැම්බර් සිව්වැනිදා මුළු සිරිලකම කම්පාවට පත්කළ එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ සිදුවුණු දරුණුම ගුවන් අනතුර පිළිබඳව ඔබගේ මතකය අවදි කරනු ලබයි. මගීන් 184 දෙනෙක් හා කාර්ය මණ්ඩලය 7 දෙනෙක් සමග ඉන්දුනීසියාවෙන් ගුවනට නැගි මාර්ටින් එයා නැමැති ගුවන් සමාගමට අයත් ඩී.සී.8 නමැති ගුවන් යානය ගොඩබෑමට මොහොතකට පෙර සප්තකන්‍යා කඳු වැටියේ දෙවන කඳු මුදුනේ ගැටී කඩාවැටුණි. එම අනතුරින් යානයේ ගමන් ගත් 191 දෙනාම එම ස්ථානයේදීම මිය ගියහ. මෙම මහා ඛේදවාචකයෙන් පසු ශ්‍රී ලංකාවේ නෝටන් බ්‍රිජ් පොලිස් බලප්‍රදේශයේ පිහිටි සප්තකන්‍යා කඳු වැටිය දෙස් විදෙස් සුපතල විය. මනරම් දර්ශනයක් මවා පාන්නා වූ සප්තකන්‍යාවියන්ගේ ගුප්ත ස්වභාවයට හේතුව මෙම ගුවන් අනතුර බව ඇතමෙක් මත පළකරති.

මූලාශ්‍රය: trips.lakdasun.org වෙබ් අඩවිය

පාරම්පරික හා ඓතිහාසික වැදගත්කම් අනුව වර්ෂ 2018 දී යුනෙස්කෝ ලෝක උරුමයක් බවට පත්වූ මධ්‍යම කඳුකරයේ ප්‍රධාන රක්ෂිත 3 න් එකක් වන ශ්‍රීපාද රක්ෂිතයේ පිහිටි මෙම කඳු වැටියට නාමය පටබැදීම සම්බන්ධයෙන් නොයෙකුත් මත පවතී. ඒ අතරින් කාන්තාවක සැතපී සිටින ආකාරයට සමාන පිහිටීමක් නිසා පටබැඳුණු නමක් බවට බොහෝ දෙනා විශ්වාස කරති.තවද කාන්තාවන් සත්දෙනෙකුගේ පෙනුමට සමාන බැවින්, නම් ලැබුන බවටද අසන්නට ලැබේ.

ඉහළ ජෛව විවිධත්වයකින් යුතු මෙම කඳුවැටිය වර්ෂා වනාන්තර ගනයට අයත් වන අතර ඉහළ කඳුකර වනාන්තර, උප කඳුකර වනාන්තර, සැවානා, පතන්, ජල උල්පත් පද්ධති වලින් පරිපූර්ණ වේ. ඉහළ කඳුමුදුන්වලදී දැඩි සුළංවලට ලම්භකවූ මුහුනත්වලදී කඳුකර කුරු වනාන්තර ආකාර දක්‌නට ලැබේ. සෘජු ප්‍රපාතාකාර බෑවුම්, තැනි, දෙණි, පතන් යනාදියද, ජලාශ්‍රිත පරිසර පද්ධතිද මෙහි දක්‌නට ලැබේ.

මූලාශ්‍රය: trips.lakdasun.org වෙබ් අඩවිය

ඉහළ වර්ෂාපතනයක් හිමි වූව ද වියළි කාලගුණයක් සහිත කාලවලදී සමහර ජල මූලාශ්‍රයන් සිදී යාම සිදු වේ. අධික මීදුම මෙම ප්‍රදේශයේ නිතර දක්නට ලැබෙන බැවින් කදු නගින්නන් අතරමං වූ පුවත් නිතර ඇසීමට ලැබේ.

මෙහි,

  • ගණ වනගහනය
  • යටිරෝපණය
  • අපි ශාක

වශයෙන් ප්‍රධාන ශාක පද්ධති 3 කි.

මෙහි වන වියනේ දඹ, කීන, මඩොල්, වෙරළු, දවුල් කුරුඳු, දොරණ, රත්දුන්, රත්මිහිරි, කිතුල් වැනි ශාක ප්‍රජාවක්‌ දක්‌නට ලැබෙන අතර, යටිරෝපණයේ නෙලු, හීන් බෝවිටියා, මහරත්මල්, කොක්‌මොට, ගිනිහොට, බේරු, ලියන්, කටුකිතුල්, රණබට, රන්දෝතළු. වැනි මීටර් 15 ක්‌ තරමේ උසට වැඩෙන ශාක ප්‍රජාවකින් සමන්විතය. උඩවැඩියා විශේෂ රැසක්‌, බේදුරු මහාරාවණා රැවුල, ලයිකන, මාකැන්ටියා, කුඩාහැඩයා, මහහැඩයා වැනි ශාක අපිශාක ලෙස හමුවේ. දිය සීරාව අධික බැවින් ගල්මත තෙත් පොළාව මත හරිත ඇල්ගී, නීලහරිත ඇල්ගී, පොගනේටම්, මාකැන්ටියා වැනි විල්ලූද ශාක, දිලීර (හතු) බහුල ලෙස දැකගත හැකිය. හොඳින් අව් රශ්මිය ලැබෙන ස්‌ථානවල මහසුදනා, කුඩා සුදනා, නගාමැරූ අල, වැනි වටිනා දුලබ ඖෂධ ශාක වැඩේ. මහබෝටියා, පූ බෝටියා, මහනුග, කලානුග, ඉරුරාජ, සඳරාජ වැනි දුර්ලභ ඖෂධ ශාක රැසක්‌ රක්‍ෂිතය තුළින් වාර්තා කොට ඇත. ගමනේ මුල් කොටස තුළ වනරාජ පැළ කිහිපයක් දක්නට ඇති අතර ලංකාවට ආවේණික මහරත්මල් ශාකය ගමන පුරාම දැක ගත හැක.

මූලාශ්‍රය: trips.lakdasun.org වෙබ් අඩවිය

හඳුන්දිවියා, වල් බළලා, කොළ දිවියා, ඌරා, වැලිමුවා, මුගටියා, හම්බාවා, රිලවා, වලස්‌ වඳුරා, ගෝනා, දඬුලේනා, අලියා වැනි ක්‍ෂීරපායින් විශේෂ රක්‍ෂිතයේ දිවි ගෙවති. මල්කරවලා, ලේමැඩිල්ලා, දලවමැඩිල්ලා, රළුඅංකටුස්‌සා, කඟමුව අංකටුස්‌සා, පලා කටුස්‌සා, ගරාකටුස්‌සා, කරමල් බෝදිලිමා, ගැරඩි සිකනලා උරගුන් අතර ප්‍රමුඛය. සමනල විශේෂ රැසක්‌ මෙහිදී වාර්තාවේ. වනබද කුරුල්ලන්ගේ වැදගත් විවිධත්වයක්‌ මෙහි පෙන්නුම්කරන අතර ශ්‍රී ලංකාවට ඒකදේශීය වූ කුරුල්ලන් ඒ අතර වේ. පීතකන් කොණ්‌ඩයා, සිතැසියා,අරංගයා, ගිරාමලිත්තා, අළුගිරවා ඒ අතරින් සුළභව දැකගත හැකි කුරුල්ලන් වේ. හමුවන මත්ස්‍ය විශේෂ අතරින් ඒකදේශිකයින් වන ලේ තිත්තයා, බුලත්හපයා, හල්මල් දණ්‌ඩියා, මල්පුළුට්‌ටා, දෙපුල්ලියා යන තර්ජනයට ලක්‌වූ විශේෂ හමුවේ.

සප්තකන්‍යා කඳු තරණයට වනජීවී අධිකාරියෙන් අවසර ලබා ගැනීම අවශ්‍ය වේ. එසේම කූඩැල්ලන්ගෙන් ආරක්ෂා වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කිරීම නම් අනිවාර්ය වේ. ප්‍රමණවත් තරම් ජලය රැගෙන යා යුතු වනුයේ කඳුකරයේ ඇති ජල ප්‍රභව වියළි කාලයේදී සිදී යා හැකි බැවිනි.

මූලාශ්‍රය: trips.lakdasun.org වෙබ් අඩවිය

මෙහි විශේෂ ලක්ෂණය වනුයේ 2,3,5 හා 6 කඳු මුදුන්වල කදවුරු බැදීමේ ස්ථාන පිහිටියද වඩා හොඳ දර්ශනයක් ලබා ගත හැකි වනුයේ 5 වන කඳු මුදුනේ පිහිටි කදවුරු භූමියෙනි. මෙම අඩිපාර දිගේ වල් අලි සැරිසරන බැවින් ප්‍රවේසමෙන් ගමන් කළයුතුවේ. 6 වන කඳු මුදුනේ සිට පහළට අඩිපාරක් දිගේ යා යුතු වන අතර ඉන්පසු එනසාල් වතුයායක් හරහා පැමිණ ගමනේ අවසානය වන රෝස්ෆාම් වෙත එම මාර්ගය වැටෙයි.

මූලාශ්‍රය: trips.lakdasun.org වෙබ් අඩවිය

ශ්‍රීපාද රක්ෂිතය ආසන්නයේ පැවතීම නිසා අලි ඇතුන්ගේ අලිමංකඩවල් අසලින්ම සප්තකන්‍යා කඳු තරණය කිරීමට සිදුවේ. අලි ඇතුන්ට අමතරව දිවියන් නිතර ගැවසීම අපහට දැකගත හැකි වේ. අධික වර්ෂාපතනයක් ලැබීම හා එමනිසා නිතර අධික මීදුම පැවතීම නිසා එහි යන සංචාරකයන් අතරමං වීම නිසා පොලීසියේ හා ගුවන් හමුදා නිළධාරින්ගේ සහයෙන් සොයාගනු ලැබූ අවස්ථා එමටය. මෙම සප්තකන්‍යාවියන්ගේ විශේෂ ලක්ෂණය වනුයේ එහි පැහැදිලි දර්ශනයත් සමග නවාතැන් ගැනීමට එක එල්ලේ කදු 5 ක් තරණය කිරීමට සිදුවේ. එයද තරමක් අපහසු කටයුත්තකි. වර්ෂාපතනය රහිත වියළි කාලවලදී ජල මූලාශ්‍ර සිදී යාම වැනි ගැටලු පැවතුනද සප්තකන්‍යාවියන්ගේ සුන්දරත්වය විදීමට එහි යන සංචාරකයන්ගේ හා කඳු නගින්නන්ගේ අඩුවක් නම් නැත.

මූලාශ්‍රය: trips.lakdasun.org වෙබ් අඩවිය

වහා වෙනස්වන සුළු කාලගුණ තත්ත්වයත් මීදුමෙන් වැසුණු ගුප්ත බවත් වනය රජ දහන කොටගෙන සැරිසරන දිවියන් හා අලි ඇතුන් වැනි සතුන් නිසාත් මෙම ගමන අසීරු නමුත් ඒ සියලු අභියෝග මැඩගෙන සප්තකන්‍යා පහස ලැබීම ඔබට ලබා ගත හැකි මනරම් අත්දැකීමක් වනු නියතය. මිල කළ නොහැකි අප සතු මෙම ස්වභාවික සම්පත් මේ වන විට දැඩි තර්ජනයට ලක්ව පවතී. සොබාදහමේ පැවැත්ම සදහා මෙම වටිනා පරිසර පද්ධති ආරක්ෂා කිරිම අප සැමගේ වගකීමක් මෙන්ම යුතුකමක් වේ. මෙවැනි සොබාදහම් මාතාවගේ දායාද දැකබලා ගැනීමේදී මතකයන් පමණක් එකරැස් කරගන්න අතරම ඔබේ පා සටහන් පමණක් එහි ඉතිරි කර පැමිණීමට වග බලා ගන්න .

සටහන - කවිෂ්ක විජේසූරිය

මූලාශ්‍ර :

464 1
Created : Oct 10, 2021 02:27pm
Last updated : Jul 3, 2022 05:08am

Chathuranga Saman

October 10th, 2021 - 6:08AM

Very Interesting keep it up