Loading

Loading...

සද්ධාතිස්ස රජතුමාගේ කඳුකර රාජධානිය, නුවරගල!

වන අලින්ගේ නිජබිමක,

කන්දක් මුදුනේ, ගල් ගුහාවක,

ගෙවුණු කඳවුරු රාත්‍රිය.....

Mora Hiking Club එකෙන් අවුරුද්දක් පාසා යන තවත් එක ගමනාන්තයක් තමයි නුවරගල කඳවුරු රාත්‍රිය. මේ පාරත් ගමනට දොලොස් දෙනෙක්ගෙන් යුක්ත කණ්ඩායමක් සූදානම් වුනේ වියළි කලාපයේ කන්දක් නගින්න තිබුන ආසාවත්, පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නුවරගල ඇති සුවිශේෂීත්වයත් නිසාමයි.

විශේෂයෙන්ම මේ ගමන යෑමට පෙර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරය ගැනීම සහ මග පෙන්වන්නෙක් සම්බන්ධ කර ගැනීම අත්‍යවශ්‍ය වන්නේ මෙම ප්‍රදේශය වන අලින්ගේ නිජබිමක් වන නිසාය. එම නිසා, අපි මේ ගමනට මග පෙන්වීමට, පොල්ලේබැද්ද ගමේ ආදිවාසී මගපෙන්වන්නෙක් වන "ගමේ ඇත්තෝ" සහ තවත් ගම්වාසීන් දෙදෙනෙක් සහභාගි කර ගත්තෙමු.

අපේ කණ්ඩායම කොලඹ කොටුවෙන් පාන්දර 1ට තිබුන අම්පාර - කොලඹ බස් එකෙන් ගමන පටන් ගත්ත නිසා උදේ 7 වන විට මහඔය ටවුන් එකට ලහාවන්න හැකි වුනා. එතන ඉදන් පොල්ලේබැද්ද ගමට යන්න අපි පොඩි ලොරියක් කලින්ම හයර් කරගෙන තිබුන නිසා එතන ඉදන් පැය බාගෙක වගේ ගමනකින් අපි උදේ කෑම ඇනවුම් කරපු තැනට එන්න පුලුවන් වුනා. ගමේ කඩෙන් උදේට කාලා, වතුර බෝතල්, දවල් කෑම සහ ගමනට අවශ්‍ය කරන අනිත් දේවල් සූදානම් කරගෙන, ගම්වාසීන් දෙන්නෙක් සමග අපි කන්ද නගින්න පිටත් වුනා..

වෙල් යායවල්, අලි වැටවල් පහු කරගෙන යන අතරමග වන අලින්ගේ ඡායාවන්, අලි බෙටි දකින්න ලැබුන නිසා, ඉතාමත් නිහඩව අපි ගමනේ නිරත වුනා. දැඩි අව් රශ්මිය අපේ ගමන් විඩාව දෙගුණ, තෙගුණ කලත් අපි කෙටි විවේක ගනිමින් ඉතා ඉක්මනින් ගමන් කලේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් විය යුතු නිසාමයි. ගමනාන්තයට කෙමෙන් කෙමෙන් ලං වුන නිසා දහවල් ආහාර ගෙන අපි කෙටි විවේකයක් ගත්තා. ඉන්පසු අපේ නැවතුම්පොළ වන, ගල් ගුහාවට යන්න පිටත් වුනා.

ගල් ගුහාවට සේන්දු වුන අපේ ගමන් විඩාව මුලුමනින්ම අමතක වුනේ, එහි සිට දකින්න ලැබුනු, තැන තැන රංචු ගැසී සිටි වන අලින් ඇතුලු දර්ශනීය දසුනත්, එකවර 30කට අධික පිරිසකට සුවපහසුව නැවතිය හැකි ගල් ගුහාවත් දැකීමෙනුයි.

දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ, මහඔය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයට අයත්, "නුවරගල" ඓතිහාසික වටිනාකම් රැසකින් යුක්තයි. එහි ඉතිහාසය පිළිබඳ මතිමතාන්තර රැසක් පැවතියද, වඩාත්ම ප්‍රචලිත මතය වන්නේ, රාජ්‍යත්වය අරභයා දුටුගැමුණු රජතුමා සහ සද්ධාතිස්ස රජතුමා අතර පැවති ගැටලු සහ විරසකවීම් අතරතුර, සද්ධාතිස්ස රජතුමා ආරක්ෂාව පිනිස "නුවරගල" බලකොටුවක් වශයෙන් භාවිතා කර ඇති බවයි. නුවරගල කදු මුදුනේ පිහිටා ඇති කටාරම් කොටා ඇති ගල් ලෙන සහ ගලින් නිමවා ඇති සුවිශාල පොකුණ මෙන්ම ගල් ලෙනෙහි කොටා ඇති සෙල්ලිපිය අතීතයේ පටන් පැවති හෙළ තාක්ෂණය පිළිබඳ සාක්ෂි දරයි. ගල්ගුහාවේ උඩු පියස්ස මත කොටා ඇති සෙල්ලිපිය එහි ඇති ඓතිහාසික වැදගත්කම මැනවින් විදහාපායි.

කෙමෙන් හිරු බැසගෙන යන වේලාව ලං වෙද්දි, අපේ කණ්ඩායම කිහිප දෙනා බැගින් පිටත් වුනේ, නුවරගල පොකුණට සහ බීමට අවශ්‍ය ජලය ලබාගන්න උල්පත සොයා යෑමටයි. කන්ද මුදුනේ, පොකුණක ගිමන් විඩාව නිමා ගන්න ගමන්, රත් පැහැයෙන් හිරු බැසගෙන යන විචිත්‍රවත් සැන්දෑ අහසේ දර්ශනය අපේ ගමනට එක් කලේ නැවුම් අත්දැකීමක්.

අඳුරු වැටෙන්න පෙර නැවත ගල් ගුහාවට පැමිණි අපි, උණු කෝපි කෝප්පයක් රස බලමින්, රෑ කෑමට නුඩ්ල්ස් පිළියෙල කරගත්ත අතරම, කැලයෙන් එකතු කරගත් දර වලින් හදාගත්ත ගිනිමැලය වටේ ඉදගෙන, රස කතා බෙදාහදා ගනිමින්, රාත්‍රී ආහාර ගත්තෙමු. බක් මහේ පෝය සංකේතවත් කරමින් පායා තිබූ පුරහඳ, අපට වෙනදාට වඩා ඉතාමත් ලඟින් ඇතැයි මොහොතකට සිතුනේ ඒ දර්ශනය ඊට පෙර කිසිම දවසක නොලැබූ අත්දැකීමක් නිසාම ය.

මැදියම් රැයත් පහු වෙනකම් අවට සුන්දරත්වය විඳපු අපි නින්දට සැරසුනේ, එයත් වෙනම අත්දැකීමක් වූ නිසාය. සාමන්‍යයෙන් බොහෝ විට කඳවුරු ගතවීමට කූඩාරම් අවශ්‍ය වුනත්, නුවරගල ගල් ගුහාවේ ආරක්ෂාව හා සුවපහසුව මනාව තිබූ නිසා, අපි එළිමහන් කඳවුරු රාත්‍රියක් ගත කලෙමු.

පසුදා උදෑසනම උණුසුම් කෝපි කෝප්පයක් සමග දවස පටන්ගත් අපි, උදේ කෑමට මීට්බෝල්ස් සමග සැන්ඩ්විච් පානුත්, ත්‍රිපෝෂත් පිළියෙල කරගත්තෙමු. කසුන් අයියාගේ ඩ්‍රෝන් එකෙන් අපිට නුවරගල ගුහාව සහ අවට ප්‍රදේශයේ දර්ශනය ග්‍රහණය කරගන්න හැකි වුනි. කන්ද මුදුනට පෙනුන අපි ආපසු යා යුතු ගමන් මාර්ගයේ සිටින වන අලි රංචු, ආපසු යන ගමන පිළිබඳ අපිට කුතුහලය මුසු හැඟීමක් ඇති කලේය. ගල්ගුහාවේ කඳවුරු ස්ථානය පිරිසිදු කර, ඉතිරි ආහාරපාන සහ ගෙනගිය අනෙක් සියලුම කලමනා නැවත ගෙන ඒමට සූදානම් කරගත් අපි ආපසු ඒමට පිටත් වුනෙමු.

නැවත එන අතරවාරයේදීත් ආරක්ෂාව පිළිබඳව දැඩි ලෙස සැලකිලිමත් වෙමින් ගමන් කල අපි, අලි වැටවල් සහ පොල්ලේබැද්ද ගමේ කුඹුරු යායවල් පසු කරමින් නැවත ගමට පැමිණෙන විට මධ්‍යහ්න වේලාව පසු වී තිබුනි. ගමේ ඇලෙන් සිත්සේ නා ගත් අපේ කණ්ඩායම, දහවල් ආහාරද රැගෙන නැවතත් මහඔයට එන්න පිටත් වුනේ පෙර පරිදිම පොඩි ලොරියක් ආධාරයෙනි. එතනින් අම්පාර -කොලඹ බස් රථයකට නැග ගත් අපි පැය 6ක පමණ ගමනකින් පසු කොලඹට සේන්දු වුනෙමු.

නොමැකෙන මතකයන් සහ ත්‍රාසජනක අත්දැකීම් ගොන්නකින් සමන්විත නුවරගල කඳවුරු ගමන මෙසේ සටහනකට ලඝු කරන්නට බැරි තරම් සුවිශේෂී ගමනක් බව එහි ගිය අයෙක්ට නම් හොඳින්ම පසක් වනු නොඅනුමානයි. වසංගත තත්වය නිම වූ දවසක, නුවරගල යන්න ඉන්න ඔබත්, අවශ්‍ය බලපත්‍ර සහ මගපෙන්වන්නෙක් සම්බන්ධ කරගැනීමටත්, තව කෙනෙක්ට එහි සුන්දරත්වය විඳින්න ඉඩ ප්‍රස්ථා සලසමින් ගෙනයන සියල්ල නැවත රැගෙන එන ලෙසත් මතක තබාගන්න..!

සටහන - ඩනීෂා රණසිංහ

Watch Full Episode on YouTube - https://youtu.be/ETL7XFDGlWE

937 0
Created : Nov 15, 2021 04:02pm
Last updated : Mar 28, 2024 08:41am