Loading

Loading...

ගොවිදු හෙළ

පිහිටීම

ශ්‍රී ලංකාවේ පාරිසරික සුන්දරත්වය හා ස්වභාවිකත්වය මොනවට පැහැදිලි කරන අපුර්වතම තෝතැන්නක් වශයෙන් ගෝවින්ද හෙළ හැදින්විය හැකිය. මෙම පර්වතය ගොවිදු හෙළ, වෙස්මිනිස්ටේර් ඇබේ සහ පුංචි සීගිරිය යනාදී නාමයන්ගෙන් හදුන්වනු ලැබේ.

ඌව පළාතේ මොනරාගල දිස්ත්‍රික්කයේ, සියබලාන්ඩුව, අම්පාර මර්යේ 9 කනුව නම් ප්‍රදේශයේ ගෝවින්ද හෙළ පිහිටා ඇත. “බුවනෙකබාහු විහාරය” යන නාම පුවරුව හා ඌව පරිසර අමාත්‍යංශයෙන් සකස්කළ “ගොවිදු හෙළ ඓතිහාසික ස්ථානය” යන නාම පුවරු අසලින් කිලෝමීටරයක් පමණ ගමන් ගත් පසුව ගෝවින්ද හෙළ කන්ද පාමුලට ගමන් ගත හැකිය.

මෙතැන් පටන් විවිධ මාර්ගයන් ඔස්සේ මෙම කන්ද තරණය කිරීමට හැකිවේ.

ජෛව විවිධත්වය

මෙම පර්වතය උසින් 558m (අඩි 1831) දක්වා විහිදෙනා අතර මෙම පර්වතය තරණය කිරීමට පැය 1 ක් සහ විනාඩි 30ක් පමණ ගතවේ. අවට ගංගා, වැව් හා වන සතුන් ගැවසෙන ජෛව පාරසරික සාධක වලින් අනුන ස්වභාවික පරිපරිසරයකින් හෙබි මෙකී පර්වතය, බොහෝ ජීවීන් තම වාසස්ථානය කරගනිමින් ජීවිතය පවත්වාගෙන යයි. වල් ඌරන්, සර්පයන්, විවිධ පක්ශීන් වර්ග හා නොයෙකුත් වර්ගයේ වන සතුන් මෙහිදී දැක ගත හැකිවේ. තවද ගෝවින්ද හෙළ පිහිටා ඇත්තේ රක්ෂිත වනාන්තරයක් සිය තෝතැන්න කර ගනිමින්ය. මෙකී වනාන්තරය තුල එක ස්ථානයක් තුල වැඩිපුරම දැක ගත හැකි කළුවර ගස් ප්‍රමාණයක් දැක ගත හැකිවේ.

එම නිසා ගෝවින්ද හෙළ පිහිටා ඇති රක්ෂිත වනාන්තරය ස්වාබාවාධර්මයේ අපූර්වතම නිර්මාණයක් ලෙස හැදින්විය හැක.

ගොවින්දා කන්ද පර්වතය පිහිටා ඇත්තේ ස්වභාවයෙන් වියලි පරිසර පද්ධතියක් තුලයි. මෙහි අධික සුලන් සහිත පරිසරයක් වන අතර, සුළගේ සාමාන්‍ය වේගය 13 km/h පමණ වේ. මෙහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 24 සිට සෙල්සියස් අංශක 34 පරාසය දක්වා විහිදී පවති. ඔක්තෝම්බර් මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මිලිමීටර් 300 පමණ වර්ෂාපතනයක් දැක ගත හැකිය.

පුරවිධ්‍යාත්මක වටිනාකම

ගොවිඳු හෙළ පෞරාණික වශයෙන් ඉතා වැදගත් සන්ධිස්ථානයකි. පවතින ඓතිහාසික තතු හා නිගමනයන් අනුව මෙය පොළොන්නරු යුගය දක්වා විහිදී යන පෞරාණික වටිනාකමකින් යුක්ත වෙයි. පොළොන්නරු යුගයේ දී රාජ්‍ය පාලනය කල නිශ්ශංක මල්ල රජුගෙන් පසු ඇතිවූ රාජ්‍ය පාලනයේ අස්ථාවරත්වයන් නිසා ස්වදේශීය රාජ්‍ය දකුණු ඉන්දීය දෙමළ ආක්‍රමනිකයන්ට නතු විය. මාඝ විසින් රජරට සිය බල ප්‍රදේශය වශයෙන් පවත්වා ගෙන යන ලදී. ඉන්පසු මායා හා රුහුණු ප්‍රදේශ පාලකයන් සිය බලකොටුව විවිධ ස්ථානවලට වෙනස් කරනා ලදී. ඒ අතර රෝහණයේ බුවනෙකබාහු නම් කුමරා සිය අණසක පැතුරු බලකොටුව වශයෙන් මෙකී ගෝවින්දා හෙළ භාවිතා කරනා ලදී.

ගෝවින්ද හෙළ පිළිබද ඓතිහාසික නිර්ණයන් ලබා ගැනීම සදහා එය සතුව පවතින පුරාවිද්‍යාත්මක වටිනා කමින් යුක්ත නටබුන්, ශිලා ලේඛන යනාදිය වැදගත් ස්ථානයක් ගනී. ගෝවින්දා පර්වත මස්තකයේ මෙකී ඓතිහාසික වටිනාකමින් යුක්ත සාධක රාශියක් දැක ගත හැකිවේ. ශෛලමය කණු, පාදම් ගල්, ගලෙහි කෙටූ පියගැට පෙළවල් ස්ථුප යැයි නිර්ණය කල හැකි ගොඩැලි හා මධ්‍ය කාලීන සිංහල අක්ශර සහිත ශිලාලිපි ඒ අතර ප්‍රධාන වේ. මෙකී පුරාවිද්‍යාත්මක නටබුන් හා ශිලා ලේඛන යනාදිය මගින් ගෝවින්දා හෙළටම අනූන ඓතිහාසික පසුබිම මොනවට පැහැදිලි කරනු ලැබේ.

එමෙන්ම ගොබිදු හෙළ පර්වත මුදුනේ විවිධ දසුන් රමණීය ආකාරයෙන් දර්ශනීයව නැරබීමට හැකි අතර මුතුකන්දියා විල, මාරගල පරාසය, බුද්ධ ප්‍රතිමාව, මොණරාගල, ලොල් හෙළ, වීලී හෙළ, A25 මාර්ගය හා ගොවිඳු පුර අවට දර්ශනයන් චමත්කාර ලෙස දැක ගත හැකි වෙයි.

වර්තමානය වන විට ඉතිහාස ගවේශකයන්ගේ හා කදු නගින්නන් වැනි සංචාරකයන්ගේ පාරාදීසයක් බවට ගොවිදු හෙළ පත්ව ඇති බවට වර්තමාන ගවේෂකයන් හා වාර්තා කරුවන් අවධාරනය කරයි. නවීන තාක්ෂනය හා පොරබදිමින් සිටිනා ජනතාවට, ස්වකිය ආතතියෙන් පිරි ජීවිකාවෙන් මිදී පාරිසරික වින්දනය නොඅඩුව ලබාගත හැකි තෝතැන්නක් වශයෙන් මෙකී සුන්දර පරිසර පද්ධතිය දැක්‌විය හැකිය.

පාරිසරික සුන්දරත්වය හා ඓතිහාසික නටබුන් මතු පරපුරට දායාද වන සේ රැකගනිමින් සුන්දරත්වය විදීමේ යුතුකම පෙරටුවට ගෙන ක්‍රියාකල යුතු බව අප සිහි තබා ගත යුතු වේ.

සටහන : අචිනි කෞෂාංගි

849 0
Created : Jan 24, 2022 07:55pm
Last updated : Apr 25, 2024 03:30pm