Loading

Loading...

මනරම් දසුන් මවන හුන්නස්ගිරි කඳු පන්තිය

මොරටුව විශ්ව විද්‍යාලයේ කඳු නගින්නන් මෙවර කඳු තරණය ස‍ඳහා තෝරා ගත්තේ මධ්‍යම පළාතේ පිහිටි සුවිශේෂී කඳු පෙලක් වන හුන්නස්ගිරි කඳු පන්තියයි. මුහුදු මට්ටමේ සිට මීටර් 1514කට ආසන්න උන්නතාංශයක පිහිටා ඇති මෙය, කඳු තරණය කරන්නන්ගේ ගමනාන්තයක් ලෙස වැඩිදෙනෙක් අතර ප්‍රචලිත නැහැ.

අළුයම 4.00ට පමණ කොළඹ කොටුවෙන් ගමන ඇරඹූ අප උදෑසන 7.00 වන විට මහනුවර නගරයට ලඟා වූවෙමු. ගමනට පෙර හොඳ උදෑසන ආහාර වේලක් ලබාගත යුතු නිසාත්, තවත් කණ්ඩායමක් මහනුවරින් අප හා එක්වන නිසාත් උදෑසන 8.00 වන තෙක් මහනුවර නගරයේම රැඳුණු අප ඉන්පසු මහනුවර ප්‍රධාන බස් නැවතුම්පොළ වෙත ලඟා වුනෙමු. වත්තේගම දක්වා ගමන් කිරීමෙන් අනතුරුව අප බඹරැල්ල වෙත බස් රථයක ගමන් කලේ හාතලේ තේ කර්මාන්තශාලාව අසලින් බැස ගැනීමේ අටියෙනි. අපි මේ ගමන සඳහා තෝරාගත්තේ හාතලේ තේ කර්මාන්තශාලාව අසලින් ආරම්භ වන මාර්ගයයි.

එම නිසා එතැන් පටන් අපි පාගමනින් අපේ චාරිකාව ආරම්භ කලේ කමිටු සාමාජිකයන්ගෙන් ලැබුණු උපදෙස්ද මතකයේ තබාගනිමිනි. ලයින් නිවාස පසුකරමින්, තේ වතුයාය ඔස්සේ වැටී ඇති මේ මාර්ගයේ viewpoints දෙකක් දැකගත හැකි වන අතර, ඉන් පලමුවැන්න පවතින්නේ වතුයාය හරහා ඇති මාර්ගයේමය. එහි නැවතුනු අපි සෙසු ගමන් සගයන් ගෙනා ආහාර වල රසවිඳිමින් මොහොතක් ගිමන් හැරීමට තීරණය කලෙමු. හොඳින් හිරු පායා තිබූ දිනයක් බැවින් තරමක විඩාවක් දැනුනද ඒ පිලිබඳව අපේ සිත් වල කනස්සල්ලක් නොමැති වූයේ එය එක්තරා ආකාරයක වෙස්වලාගත් ආශිර්වාදයක්ද වන නිසාවෙනුයි. මන්දයත්, ඉන් කියැවෙන්නේ වර්ෂාවෙන් අපට බාධා වීමට ඇති ඉඩකඩ අඩු බවයි. දෙවැනි viewpoint එක, එනම් "පතන කුඩා ලෝකාන්තය" වෙත යාමට නම්, ප්‍රධාන මාර්ගයෙන් හැරී වෙනම දුරක් ගමන් කල යුතු වෙනවා. අප ගමනේ ප්‍රධාන අරමුණ එය නැරඹීම නොවන නිසාත්, දිවා ආහාරය ලබාගැනීමට පෙර වනාන්තරයට ඇතුලුවීමට සැලසුම්කර තිබූ නිසාත් අපි ඒ වෙත නොයා දිගටම ගමනේ යෙදුනෙමු.

වනාන්තරයට පිවිසීමට කිලෝමීටරයකට පමණ පෙර හමුවන අම්බලම අසල මද වේලාවක් විවේක ගත් අපි, ඉන්පසු කුඩා දොල පහර අසලින් හැරී වනාන්තරය මැදින් පටන් ගන්නා ගමන ආරම්භ කලෙමු. අප ඒ ආකාරයට පිවිසුණේ Campbell's Lane වන රක්ෂිතයටයි. ඒ ඔස්සේ ගමන් කල අපි ඉන්පසු ලගාවුනේ තරමක් විශාල ගල්තලාවක් ඔස්සේ ගලායන දිය පහරකටයි. 25දෙනෙකුගෙන් සමන්විත වූ අප කණ්ඩායමට රිසිසේ දිවා ආහාර ගැනීමට එම ගල්තලාව ප්‍රමාණවත් වුණු අතරම, ගමන් මහන්සියත්, ආහාර ගත් ස්ථානයේ මනරම් දර්ශනය නිසාත් එතැන ගතකල පැය එකහමාර නොදැනීම ගතවිය. මෙම ගල්තලාව ඔස්සේ මද දුරක් පහලට ගිය විට ප්‍රදේශවාසීන් දූවිලි ඇල්ල ලෙස හඳුන්වන ඇල්ලේ මුදුන කරා ලඟාවිය හැකියි. මෙරට පවතින අප්‍රසිද්ධ දිය ඇලි ගොන්න අතරට එක් කල හැකි මෙය ගැනත් යමක් කිවයුතුම වනවා. එහි මුදුනට අප පසුකර ආ වනාන්තරයත්, මේ කුඩා අතු ගංගාව ගලා යන ගංගා නිම්නයත් අලංකාරව දැකගත හැකිවනවා. කුඩා ගංගා නිම්නයක් වුවද එහි ඇති සුන්දරත්වය වෙනත් කිසිම ස්ථානයක ඇති සුන්දරත්වයට නොදෙවෙනි නැහැ. වර්ෂා කාලයේදී මෙය වඩාත් පුළුල්ව ගලා යන බවට මෙහි දෙපස ඇති පුළුල් ගල්තලාව සාක්ෂි දරනවා. එතැන නැවතී ඡායාරූප ගැනීමෙන් අනතුරුව නැවතත් අපි ගමන් ආරම්භ කලේ ඒවන විට පස්වරු 2.00ද පසුවී තිබුණු බැවිනි.

එතැන් පටන් අපි නොනැවතීම කඳු මුදුන බලා ගමන් කලේ කාලයද අපගේ ගමනට හරස් වෙමින් සිටි නිසායි. ඒ අනුව අපිට පස්වරු 3.00 පමණ වන විට හුන්නස්ගිරි කඳු මුදුන වෙත ලඟා වීමට හැකි වුනි. හොඳින් හිරු පායා ඇති වලාකුළු රහිත දිනයක උතුරේ සිට නැගෙනහිර දිශාවට ඇති කිරිගල්පොත්ත, ගොම්බානිය, නකල්ස් කදු වැටිද, දකුණින් පිදුරුතලාගල, Great Western Peak, Peacock Hill වැනි කඳුද, බටහිරින් බතලේගල, අලගල්ල වැනි කඳු මුදුන්ද දැකගත හැකිවනවා. මෙහි මුදුනේ තැන තැන වැවුණු කුඩා පඳුරු නොවන්නට, මීට පහලින් පිහිටා ඇති ගුවන් විදුලි හා රූපවාහිනී තරංග සම්ප්‍රේෂණ කුළුණු මෙම ස්ථානයට දර්ශනය වනවා නොඅනුමානයි. මෙතෙක් ආ ගමන් මගෙහිදී එල්ලුනු කූඩැල්ලන් ඉවත් කරන ගමන් සගයිනුත්, කඳු මුදුනට පෙනෙන මනරම් දසුන ඡායාරූපගත කරන සාමාජිකයිනුත් සුලබ දසුනක් වුණා. එකිනෙකා අත හුවමාරුවූ බීම බෝතල්, ආහාර සහ ජලයත්, සිසිල් සුලඟත් එක්ව අප පසුකර ආ 9KMකට නොඅඩු දුරෙහි විඩාව පලවා හැරියා. සාමාජිකයින් සියලු දෙනා සමඟ එක්ව සමූහ ඡායාරූප ගොන්නක්ද රැගෙන අප පස්වරු 4.00ට පමණ නැවතත් ආපසු ගමන් ආරම්භ කිරීමට තීරණය කලේ අප ගෙනා සියලුම ආහාර දවටන නැවතත් අපගේ ගමන් මළුවලට දමාගෙන, අප අතින් අපද්‍රව්‍ය කිසිවක් පරිසරයට එකතු නොවූ බව තහවුරු කරගැනීමෙන් අනතුරුවයි.

ඒ අනුව පැය තුනක පමණ පාගමනින් පසු අප නැවතත් ගමන ආරම්භ කල ස්ථානයට ලඟා වුනෙමු. සිත්වල අමතක නොවන මතක ගොන්නකුත් රඳවාගෙන පන්විල, වත්තේගම හරහා මහනුවර නගරය වෙත අප ලඟා වන විට වේලාව සටහන් වූයේ රාත්‍රී 9.00 ලෙසයි. මේ ආකාරයෙන් අපි අපේ ගමන් සගයින්ට සමුදුන්නේ නැවතත් තවත් චාරිකාවකින් අත්දැකීම් සමුදායක් එකතු කරගැනීමට කතිකා කරගැනීමෙන් අනතුරුවය.

සටහන - සන්තුස ඉසුරින්ද

1031 1
Created : Feb 16, 2022 06:16am
Last updated : Apr 25, 2024 07:10am

smeargy

April 4th, 2022 - 8:38PM

Yttfjw https://bestadalafil.com/ - discount cialis We need to decrease the ambiguity of the job and increase predictability. Exfyzo <a href="https://bestadalafil.com/">Cialis</a> cialis vente libre france Irocss Viagra Ohne Rezept Kaufen Mit Paypal https://bestadalafil.com/ - Cialis Yi Feng University of Bristol tr. Izqynn