Loading

Loading...

කුවේණියගේ ශාපලත් යක්දෙස්සාගල නොහොත් කුවේණිගල

මොරටුව විශ්ව විද්‍යාලයේ කඳු නගින්නන්ගේ සංගමය 2022 වර්ෂයේ තුන්වන කඳු තරණය සඳහා තෝරාගනු ලැබුවේ වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ පිහිටි කන්දක් වන යක්දෙස්සාගලයි. උසින් මීටර් 540 ක් පමණ වන මෙම කන්ද කුරුණෑගල නගරයට 16 km දුරින් තිත්තවැල්ල, ගෝනගම ප්‍රදේශයෙහි පිහිටා ඇත.

...

උදෑසන 5 ට කටුබැද්දෙන් ගමන ඇරඹූ කඳු නගින්නන් උදෑසන 8 පමණ වන විට කුරුණෑගල නගරයට ළඟාවිය. පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසකින් යුක්ත යක්දෙස්සාගල සංවැලි රජමහා විහාරය අසලින් යක්දෙස්සාගල ගමන ආරම්භ කෙරුණි. වළගම්බා රජසමයට සහ නිශ්ශංක රජ සමයට අයත් ඓතිහාසික සිද්ධීන් බොහෝමයක් සමඟ බැදී ඇති මේ පුරාණ රජ මහා විහාරයෙහි යක්කයන් වාසය කර ඇති බවට පුරාණ මතවාද වල සඳහන් වේ.

..

අතරමැදි කලාපයට අයත් මෙම වනාන්තර පද්ධතියෙහි වැසි රහිත කාල වලදී, ශුෂ්ක පරිසරයක් දක්නට ලැබෙන අතර ගමන තරමක් දුෂ්කර වේ. එයට හේතුවනම් ආනතව පිහිටි ගල් පර්වත මතින් ගමන් කිරීමට සිදුවීමයි. සුදු පැහැති ඊතල ලකුණු මගින් ගමන් මග පෙන්වන නමුත් මේ වන විට ඒවායෙන් බොහෝමයක් මැකී ගොස් ඇත. කෙසේනමුත්, නිවැරදි මාර්ගය ඔස්සේ ගමන් කිරීමට හා කෙටි කාලයක් තුල ගමන නිම කිරීමට මනා මග පෙන්වීමක් අවශ්‍ය වේ. ගමන අතරතුර රස කතා බොහෝමයක් අතරින් එක් කතාවකට මුල් වූ සිද්ධියක් නම්, ගමනෙහි අඩක් පමණ යන විට අපට මුණගැසුනු මිතුරෙකු සම්බන්දවයි. ඒ ගොදුරක් ගිල සිටින විශාල පිඹුරෙකි. එමෙන්ම මෙහි සමනලුන් විශේෂ 20 ක් පමණ දැකගත හැකි අතර, කාලයක් තිස්සේ සරුව වැඩුනු උඩු වියන් ස්ථරයක්ද දැක ගැනීමට ලැබේ. කටු සහිත ශාක බහුල

මෙහි ශුෂ්ක පරිසරයටම අනුවර්තනය වූ ශාක විශේෂ මෙන්ම සත්ව විශේෂ බොහෝමයක් දැක ගැනීමට හැකි වේ. පැය දෙක හමාරක පමණ ගමන අවසානයේ අප කඳු මුදුනට ළඟා වූ අතර, හරිත වර්ණයෙන් යුක්ත ශාක ගහණයක් සහිත පරිසර පද්ධතියක මනරම් දසුනක් කඳු මුදුනට දිස් වේ. ඇතාගල, ඉබ්බාගල, කුරුමිණිගල, එළුගල, දොලුකන්ද සහ ආදාගල යනාදී කඳු රැසකින් වට වී ඇති මෙම යක්දෙස්සාගල කඳු මුදුනට වයඹ පළාතේ උසම කන්ද වන කදුරුප්ගල ද දිස්වේ. ජනප්‍රවාද වල සඳහන් වන ආකාරයට විජය රජු විසින් කුවේණිය සහ දරුවන් පලවා දැමීමෙන් පසුව නැවත යක්කයන් වෙත පැමිණි කුවේණිව යක්ක ගෝත්‍රිකයන් විසින්ද ප්‍රතික්ෂේප කර පලවාහැරි හෙයින් යක්කයන්ට ශාප කර ගලෙන් පහලට පැන ඇති බවත්, මෙලෙස යක්කයන්ට දෙස් දුන් ගල "යක්දෙස්සාගල" ලෙස නම පටබැදුණු බවත් සඳහන් වේ. මෙලෙස කුවේණිය ශාප කරන අවස්ථාවෙහි මෙම කන්දෙහි සිටි ඉබ්බෙක්, එළුවෙක්, කුරුමිණියෙක්, ඇතෙක් සහ ආදෙක් ගල් පර්වත බවට පත් වූ බව ජනප්‍රවාදවල සඳහන් වේ. පසු කාලීනව ඒවා ඉබ්බාගල, එළුවාගල, කුරුමිණියාගල, ඇතුගල සහ ආදාගල යනුවෙන් ප්‍රචලිත වී තිබේ. තවද, මෙම ගල් හෙලෙහි පාමුල කුවේණියගේ සොහොනද ඇති බවට විශ්වාසයක් පවතී.

...

කඳු මුදුනට පෙනෙනා මනරම් දසුන් සමග මතකයන් රැසක් එකතු කරගත් අප නැවත ගමන් ආරම්භ කිරීමට තීරණය කළේ, අඳුර වැටීමට පෙර කඳු පාමුලට ගමන් කිරීමේ බලපොරොත්තු ඇතිවය. එකිනෙකා අතර හුවමාරු වූ වතුර, බීම බෝතල් විඩාව නිවා දැමූ අතර ගල් බහුල නිසාවෙන් ආපසු ගමන තරමක් දුශ්කර විය. කෙසේ වුවද සවස 5 පමණ වනවිට සියලුදෙනා ආරක්ෂිතව සහ පරිසරයට කිසිදු හානියක් නොකර ගමන ආරම්භක ස්ථානයට ළඟාවිය. අනතුරුව සංවැලි රජමහා විහාරය වැඳ පුදා ගත් අප ආහාරද ලබාගෙන පිටවූයේ සිත්වල අමතක නොවන මතකයන් හා ත්‍රාසජනක අත්දැකීම් ගොන්නක් රැගෙනයි.

...

ඓතිහාසික වටිනාකම් රැසකින් සමන්විත යක්දෙස්සගාල තරණයට බලාපොරොත්තුවෙන් සිටින ඔබත් එහි සැබෑ සුන්දරත්වය සහ ත්‍රාසජනක අත්දැකීන් ලබාගෙන පියසටහන් පමණක් ඉතිරි කර, මතකයන් පමණක් රැගෙන යන්නට අමතක නොකරන්න.

...

සටහන - නවෝද්‍යා දිසානායක

242 0
Created : Apr 22, 2022 01:15pm
Last updated : Jul 3, 2022 05:13am