Loading

Loading...

හාත්පස හරිත පැහැයෙන් වර්ණිත පුංචි නවසීලන්තය නොහොත් හරිත කන්ද

මොරටුව විශ්ව විද්‍යාලයේ කඳු නගින්නන්ගේ සංගමය 2022 වර්ෂයේ අප්‍රේල් මාසයේ කඳු තරණය සඳහා තෝරාගනු ලැබුවේ ශ්‍රී ලංකාවේ හදවත බඳු මධ්‍යම කඳුකරයත් සමඟ ඇති සමනළ අඩවියත් මහඑළිය තැන්න වන පියසත් අතරමැදිව බොගවන්තලාව වතුයාය ආසන්නයේ පිහිටා ඇති උසින් මීටර 1940 පමණ වන පුංචි නවසීලන්තය හෙවත් හරිත කන්දයි. මෑතකාලීනව බොහෝ කඳු නගින්නන්ගේද, රාත්‍රී කඳවුරු බඳින්නන්ගේද, අවධානය දිනාගත් සංචාරක නවාතැනක් ලෙස හරිත කන්ද ප්‍රසිද්ධ වී ඇත.

ss

ss

2022 අප්‍රේල් 24 වන ඉරු දින පාන්දර 2.30ට පමණ සිසිල මීදුම රැගත් කඳුනගින්නන් කටුබැද්ද විශ්ව විද්‍යාල පරිශ්‍රයෙන් ගමන ආරම්භ කල අතර උදෑසන 6.40 පමණ වන විට හැටන් ප්‍රදේශය වෙත ළගා විය. එහිදී උදෑසන ආහාරය රැගත් පිරිස සමනළ රක්ෂිතයත්, මහඑළිය තැන්නත් වෙන් කරනු ලබන සුන්දර හැටන් මාර්ගයේ බොගවන්තලාව නගරයට පැමිණි අතර ඉන්පසු බොගවානා වතුයායේ ආරම්භක ස්ථානය කරා ලඟා විය. එහිදී සුපුරුදු පරිදි කඳු නැගීමේ සංගමයට එක් වූ අළුත් සාමාජිකයන් හා පරණ සාමාජිකයන් එකිනෙකා හදුනා ගැනීමෙන් පසු හරිත කන්ද බලා කඳු තරණය ආරම්භ කළේ කමිටු සාමාජිකයන්ගේ උපදෙස්ද මතකයේ රඳවා ගනිමිනි.

ss

ss

බොගවාන වතුයායෙ බැලු බැලු තැන්හී සරුවට වැඩුණු තේ ගස් මවන මනරම් දසුන් නරඹමින් සියල්ලන්ම ඉදිරියට ගමන් කළෝය. කඳු තරණය අරඹා තරමක් ඉහළට ගමන් කිරීමේදී අති සුන්දර දසුනක් වූ සමනොළ ගිරි මුදුන දැක ගැනීමට අපට හැකි වූ අතර එය වටා පිහිටි හරිත වර්ණයෙන් සපිරි ගිරි මුදුන් රාශියක් ද දැකගත හැකි විය. අපගේ අරමුණ වූ හරිත කන්ද වෙත ළගා වීම සදහා බොගවාන වතුයාය පසුකර බෝපත්තලාව නම් ප්‍රදේශයේ ජාතික පශු සම්පත් (NLDB) ගොවිපොළ ආසන්න ප්‍රදේශයට ළගාවිය යුතු විය. පාන්දරම ගමන් ඇරඹීම නිසාවෙන් මධ්‍යම කඳුකරයට ආවේණික වූ මීදුම සහිත සීතල පරිසරයෙන් අප සැමගේ ගත සිත ප්‍රබෝධමත් කළ අතර පරිසරයේ හරිත වර්ණය කදු නගින්නන්ගේ නෙත් සිත් ඇද බැඳ තබා ගැනීමටද සමත් විය.

ss

ss

තේ වතු ඔස්සේ වූ මර්ග අතරින් ගමන් කරමින් යන අපට කමිටු සාමාජිකයන් ත්‍රාසය සපිරි අළුුත් අභියෝගයක් රැගෙන ආහ. එනම් පැහැදිලි ගමන් මාර්ගයක් නොමැති තරමක ප්‍රපාත වතුයායේ බෑවුමක් ඔස්සේ සාමාජිකයන් සියල්ල, පහළට බැසිය යුතු වීමයි. ඉතා විනෝදකාමී අත්දැකීමක් වූ එය ත්‍රාසය සපිරි සුන්දරත්වයක් ගමනට එක් කළේය. එම ප්‍රදේශයේ සුන්දරත්වය කෙතරම්ද යත් බැලු බැලුවන්ට එය නරඹා විද අවසන් කිරීමට නොහැකි තරමේ විය. එම සුන්දරත්වය විදගනිමින් හරිත කන්ද බලා පිරිස කඩිමුඩියේ ගමන් කළහ.

හරිත කන්ද පාමුලට ලඟා වූ පසු මෙම කඳු තරණයේ සමාජිකයන් පුන පුනා බලා සිටි සුවිශේෂී අවස්තාවක් උදා විය. එනම් කඳු නගින්නන්ගේ සංගමයේ සයවන වාර්ෂික සංවත්සරය සැමරීම මෙම කඳු තරණය අතරතුර සිදු කිරීමයි. එම සුවිශේෂී අවස්ථාව කඳු නගින්නන්ගේ සංගමයේ සමාජිකාවක් විසින් සකසා ගෙනෙන ලද සංවත්සර කේක් එක සමඟ රස විඳීමට සියල්ලන්ටම හැකි විය. එම රසවත් විනාඩි කිහිපය ගත කිරීම සිදුකරන ලද්දේ හරිත කඳු මුදුනට පහළ වූ තවත් කුඩා කඳු මුදුනකදීය.

ss

aa

එය වර්ෂාවෙන් ගහන කාලයක් සහා පරිසරයක් වූ බැවින් වර්ෂාව බලාපොරොත්තුවෙන් කඳු මුදුන වෙත ගමන් කළ අපට හවස 2.00 පමණ වන විට කඳු මුදුන වෙත ළගා වීමට හැකි විය. තරමක් බෑවුම් සහ කුඩා කඳු මුදුන් සහිත මාර්ගයක් ඔස්සේ කඳු මුදුනට පිවිසි අපට අවට පිහිටි කඳු මුදුන් රැසක් හරිත වර්ණයෙන් දැකගත හැකි විය. පටු දිගැටි මුදුනක් සහිත හරිත කඳු මුදුන මත අප සැවොම ප්‍රවේශමෙන් ගමන් කළෙමු. කඳු මුදුන මත ගිමන් හැර, දවල් ආහාරය ලබාගත් අප, වට පිටාවේ සුන්දර දසුන් අපගේ කැමරා කාචයන්ගේ සටහන් කරගැනීමට අමතක නොකළෙමු.

ss

ss

සවස 3.30 පමණ නැවත පහළට බැසීමට පටන් ගත් අප වට පිටාවේ සුන්දරත්වය නරඹන අතරතුර අවට පරිසරයට දමා ගිය අපද්‍රව්‍ය එකතු කිරීමට කටයුතු කළේ, මනරම් වූ හරිත වර්ණයෙන් යුතු කඳු තරණයේ සුන්දරත්වය රැකගැනීමටයි. අපද්‍රව්‍ය සහිත මලුද රැගෙන කඳු පාමුලට පැමිණෙන විට සවස 4.45 පමණ වී තිබුණි. ගමනාන්තයට ළගා වීමට බසයට නැගි පිරිස සිංදු කියමින් විනෝදකාමීව ගමන් කළේ සුන්දර මතක ගොන්නක් එකතු කරගනිමිනි.

ss

ss

යටිරාවන ආසන්නයෙන් රාත්‍රී ආහාර වේල රැගත් පිරිස නැවත ආරක්ෂිතව විශ්ව විද්‍යාලය කරා ගමන් කිරීම ආරම්භ කළහ. සුන්දර ගමනක් නිමා කරමින් මධ්‍යම රාත්‍රී 12.30 පමණ වන විට විශ්ව විද්‍යාල පරිශ්‍රයට ළගාවීමට කඳු නගින්නන්ට හැකි විය.

ඔබත් පුංචි නවසීලන්තය හෙවත් හරිත කන්දේ සුන්දරත්වයේ විදගැනීමට යාමට අදහස් කරන්නෙක්නම්, එහි සුන්දර මතකයන් පමණක් ඉතුරු කරමින් පැමිණීමට අමතක නොකරන්න.

aaa

සටහන- ප්‍රියංගිකා පෙරේරා

1280 0
Created : May 6, 2022 01:13pm
Last updated : Apr 19, 2024 11:52pm