Loading

Loading...

මීදුමෙන් වැසුණු දොළොස්බාගේ උසම කඳු මුදුන - කබරගල

මුහුදු මට්ටමේ සිට 1500m ක් පමණ උසකින් පිහිටා ඇති කබරගල ,දොළොස්බාගේ කඳු පන්තියේ උසම කන්දයි. මෙය මධ්‍යම පළාතේ නාවලපිටිය නගරයේ සිට 20km ක් පමණ දුරකින් පිහිටා ඇත. මොරටුව විශ්වවිද්‍යාලීය කඳු නගින්නන්ගේ සංගමය විසින් කබරගල කඳු තරණය සහ පරිසරය පිරිසුදු කිරීමේ වැඩසටහන සඳහා විශ්විද්‍යාලය ඉදිරිපිටින් ගමන ආරම්භ කරන්නේ 2022 වසරේ ජුනි පස් වැනි දින උදෑසන 3.45 ට පමණය. විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් මෙන්ම අතරමග ස්ථාන කිහිපයකදීත් සාමාජිකයින් ගමන සදහා එකතු වුනි. උදෑසන හතට පමණ උදෑසන ආහාරය නාවලපිටිය නගරයේ දී ලබා ගැනීමට අපට හැකිවිය.

..

..

ඉන්පසු උදෑසන 9.30ට පමණ කඳු පාමුලින් ගමන ආරම්භ කළ අපට මුලින්ම ගමන් කිරීමට සිදු වූයේ තේ වතුයායක් මැදිනුයි. ගමන ආරම්භයට පෙර සුපුරුදු පරිදි ගවේෂණයට සහභාගී වූ නව හා පැරණි සියලුම සාමාජිකයින් හඳුනා ගැනීම සිදු විය. උදෑසනින්ම සියුම් පොදකින්ද ගමනට ආශීර්වාදය ලැබුණි. සියල්ලන්ගේ ම විහිළුතලු හා කතාබස් මැද ගමනේ වෙහෙස බව දැනුනේ අඩුවෙන්ය. තේ වතු මැදින් ගමන් කල මාර්ගය කෙමෙන් කෙමෙන් කුඩාවට වැඩුණු තෘණ යායක් හරහා ඉහළට ඇදෙන්නට විය. කන්ද මුදුනේ පෙනෙන්නට තිබුණු ෆයිනස් ගස් කිහිපයක් අතරින් ගමන් කිරීමේදී සිදු වූ අමතක නොවන සිදුවීමක් වන්නේ ගමන් සගයකුගේ හදිසි සිහිනැති වීමයි. කිහිපදෙනෙක් ඡායාරූප ගනිමින් සිටියදී ෆයිනස් ගස් අතර ගල්තලාවක ඔහු දිගා විය. සියලුදෙනාම විමතියෙන් එකතු උනේ ඔහුට සිදුවුණේ කුමක්දැයි බැලීමටය. එය ඇත්තෙන්ම රංගනයකි. බොහෝ වේලාවක් යන තුරු සියල්ලන්ටම එය රංඟනයක් බව සිතට පැමිණියේ වත් නැත. කෙසේ වෙතත් අපේ දැනුමට බොහෝ දෑ එකතු කර ගන්නට එය මහඟු අවස්ථාවක් වූයේ කඳු නගින්නන්ගේ සංගමයේ අදිත සොයුරා විසින් එවැනි අවස්ථාවකදි සිදුකළ යුතු ප්‍රථමාධාර පිළිබඳව පිරිස දැනුවත් කළ නිසාවෙනුයි.

..

..

ඉන් අනතුරුව එම ෆයිනස් ගස් වලට ඉහළින් තිබුණ ගල් තලාවක සිට අප කණ්ඩායම විවිධ කෝණ වලින් ඡායාරූප රාශියක් ලබා ගත්තේ අවට පරිසරයේ සුන්දරත්වයද විඳිමිනි. පසුව අප එම ගල්තලාව මතදීම දිවා ආහාරය ලබා ගත් අතර දිවා ආහාරයෙන් පසුව විනාඩි කිහිපයක් ගල් තලාව මත විවේක සුවෙන් සිටී පිරිසට නැවත ගමන ආරම්භ කිරීමට මත්තෙන් ජූනි පස් වෙනි දිනෙහි විශේසත්වය පිළිබඳ බොහෝ දෑ දැනගැනීමට ලැබුණි. ජුනි පස් වෙනි දින යනු පරිසරයට ආදරය කරනු ලබන සියලු දෙනාටම වැදගත්වන ලෝක පරිසර දිනය යෙදී තිබෙන දිනයයි. 1972 වසරේ ජුනි පස් වැනි දින යනු ලෝක පරිසර දිනය පථ්‍රම වරට හඳුන්වා දුන් දිනයයි. 2022 වන විට වසර 50ක් ගත වී ඇති අතර මොරටුව විශ්වවිද්‍යාලයෙ කඳු නගින්නන්ගේ සංගමය විසින් එදින කඳු තරණය සහ පරිසර පවිත්‍ර කිරිමේ වැසසටහන ක්‍රියාත්මක කර තිබුනේද විශේෂයෙන්ම මේ නිසාය. ගල් තලාව මතදී ම මොරටුව විශ්වවිද්‍යාලීය කඳු නගින්නන්ගේ සංගමයේ සාමාජික දිලීප සොයුරා පැවසූ දේවල් වලින් ලෝක පරිසර දිනය සහ ඒ ආශ්‍රිත බොහෝ දෑ පිළිබඳ තොරතුරු අපට දැනගැනීමට හැකිවිය.

..

..

ඉන් පසුව අපි නැවත කබරගල ප්‍රධාන කඳුමුදුන වෙත ගමන ආරම්භ කළ මුත් මේ ගමන නම් පෙරට වඩා තරමක් අසීරු ගමනක් විය. ඝනට වැවුණු මිනිසෙකුටත් වඩා උස මාන පදුරු හා ෆයිනස් ගස් අතරින් ගමන් කිරීම පමණක් නොව කූඩැල්ලන් නිසා සිදුවුනු අකරතැබ්බද බොහොමයකි. තරමක දුෂ්කර ගමනකින් අනතුරුව කබරගල කඳු මුදුන වෙත ළඟා වීමට හැකි උවත් කඳු මුදුන ඒ වන විටත් ගන මීදුම් පටලයකින් වැසී තිබුණි. අප කඳු මුදුනේ සිටියදී වැටුණු හිරිපොද වැස්ස නිසා සියලුදෙනාම සීතලෙන් ගැහෙමින් නැවුම්ම ආස්වාදයක් විඳීය. කබරගල කඳු මුදුනට ගිය විට අපට ඈතින් පෙනෙන ශ්‍රී පාදස්ථානය, සප්ත කන්‍යා කඳුවැටිය, බතලේගල, අම්බුළුවාව, පිදුරුතලාගල, රාස්සගල ආදී වූ කඳු මුදුන් සහ කොත්මලේ ජලාශය දැක ගත හැකියි. කාලගුණය ඉතා ඉක්මනින්ම විචලනය වන සුළු වන අතර මෙහි කූඩැල්ලන් බහුලව වෙසෙයි.

..

..

කබරගල කඳු තරනෙයේදි ලෝක පරිසර දිනය හේතු කොට ගෙන කඳු නගිනන්ගේ සංගමය විසින් පරිසරය පවිත්‍ර කිරීමේ වැඩසටහනක්ද පැවැත්විය. පරිසර සුන්දරත්වය විදීම සදහා කබරගල වෙත පැමිණි කූඩාරම් ගසාගෙන සිට විනෝද වූ බොහෝ පිරිස් නැවත යන විට පොලිතීන් ප්ලාස්ටික් වීදුරු ඇතුළුව පරිසර පද්ධතියට අහිතකර විවිධ කසළ විශාල ප්‍රමාණයක් කඳු මුදුන මතම දමා ගොස් තිබුණි. ඝන මීදුම සහ සුළං මධ්‍යයේ කඳු මුදුන මත තිබුණු කසල එක්රැස් කරගත් අප කණ්ඩායම කඳු මුදුනේ සිට පහලට පැමිණෙන තෙක්ම පොලිතීන් ප්ලාස්ටික් වීදුරු හා සියලු නොදිරන කසළ එකතු කර ගෙන ඒමට සමත් විය. පහලට බසින ගමනේදී නැවත දිවා ආහාරය ලබා ගත් ගල් තලාව මතදී ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් පැවත්වුනේ පරිසරය දිනය සම්බන්දව සහ තවත් කඳු නගින්නෙකුට අවැසි වන දැනුම් කරුණුද ආවරණය වන පරිදිය. නැවත පහළට ගමන් ඇරඹූ අපට එකතු කරගත් කසළ සමඟ පහලට බැසීම සිතූ තරම් දුෂ්කර ගමනක් නොවූයේ සියලු දෙනාගේම සහයෝගය නොඅඩුව ලැබුණු නිසාවෙනි. පහළට පැමිණි අප අසල නිවසකින් මුහුණ කට සෝදාගෙන ඒ අසල ගල් තලාවක ගිමන් හරියෙමු. එපමනක් නොව එම නිවැසියන් අපට සිදු කළ තේ පැන් සංග්‍රහය,වෙහෙසට පත් වී සිටි අපිට අමෘතය බඳුවිය. නැවත බස්රථයට පැමිණි පසු සියලුදෙනා ගීත ගායනය කරමින්ද කුඩා කෑම වර්ග බෙදාගනිමින්ද නැවත විශ්වවිද්‍යාලය කරා පැමිණීමට ගමන් ඇරඹීය. සුන්දර ගමනක මතක එකතු කරගත් සියලුදෙනාම ආරක්ෂිතව රාත්‍රි 12 පමණ වන විට මොරටුව විශ්වවිද්‍යාලය අසලින් ගමන අවසන් කර සතුටින් විසිර ගියේ තවත් ගමනක් යෑමේ බලාපොරොත්තුද සිතෙහි රඳවාගෙනය.

..

..

සටහන - ගීත්මා ප්‍රසාදි

944 0
Created : Jul 4, 2022 01:35pm
Last updated : Apr 26, 2024 09:54pm