Loading

Loading...

මී මැසි, බඹර, දෙබර දෂ්ටන වලක්වා ගමු.

කඳු තරණයේදී අප ලබාගන්නා සුන්දර, ත්‍රාස්‍යජනක සහ භයංකාර අත්දැකීම් මෙතකැයි කියා නිමකළ නොහැක. කඳු තරණයේදී අප හට තවත් පීඩා බොහොමයක් ඇතිකරන මීමැසි, බඹර සහ දෙබර සත්ත්වයින් පිළිබඳවයි මෙම සටහන.

..

මී මැස්සා, බඹරා සහ දෙබරා යන ත්‍රිත්වය සැලකූ විට මී මැස්සාට වඩා බඹරාත්, බඹරාට වඩා දෙබරාත් විෂ සහිත වේ. ග්‍රාමීය ජනයා පවසන ආකාරයට මී මැස්සා මෙන් හත් ගුණයක් බඹරා විෂ සහිත වන අතර බඹරා මෙන් හත් ගුණයක් දෙබරා විෂ සහිත වේ.

..

  • මී මැස්සා (Bee) විද්‍යාත්මක නාමය : Anthophila

..

Insecta කාණ්ඩයට අයත් සත්ත්වයෙක් වන මී මැස්සා ප්‍රමාණයෙන් කුඩා, කහ දුඹුරු පැහැයක් ගන්නා සත්වයෙක් වන අතර උදරය කොටසේ තද දුඹුරු පැහැති පටි ආකාරයක් දැකිය හැකි වේ.

..

මී මැසි දෂ්ටනය ආසාද්මිකතා ඇතිකරන අතර ඉතා වේදනාත්මක දෂ්ටනයකි. සමට ඇතුළු වූ විෂ නිසා දෂ්ටනය සිදු වූ ස්ථානය රතු පැහැයක් ගන්නා අතර ඉදිමීමක් ද ඇති වේ. මී මැසි විෂ ඔවුන්ගේ ග්‍රන්ථි මඟින් ස්‍රාවය කරන අතර, එය සතුරන්ගෙන් ආරක්ෂා වීම සඳහා යොදාගනී. ඔවුන්ගේ විෂ ග්‍රන්ථි හිස ආශ්‍රිතව පිහිටා ඇත. මී මැසි විෂ සං‍යුතියේ වැඩි වශයෙන් අඩංගු වන්නේ එන්සයිම සහ පෙප්ටයිඩ වල බෙදී ඇති ප්‍රෝටීන් ද්‍රව්‍ය වේ.

..

මී මැසි විෂ එතරම් බරපතල නොවන නමුත් සමහර අවස්ථා වලදි එය බරපතල විය හැක. මුඛ කුහරය, ස්වරාලය සහ ශ්වසන පද්ධතියේ ශ්ලේෂ්මල පටලයේ තියුණු ඉදිමීම, දුර්වල ශ්වසන ක්‍රියාකාරිත්වය වැනි බලපෑම් සිදුවිය හැකි අතර නිසි ප්‍රතිකාර නොලද්දොත් ජීවිතයට පවා හානි වියහැක.

..

  • බඹරා (Hornet) විද්‍යාත්මක නාමය : Vespa

..

බඹරුන් යුරෝපීය සහ අප්‍රිකානු රටවල දක්නට නොලැබෙන අතර දකුණු හා අග්නිදිග ආසියා රටවල බහුලව දක්නට ලැබේ. 17 mm - 20 mm පමණ ශරීර දිගකින් යුත් බඹරාගේ උදරය තද දුඹුරු/කළු පැහැයෙන් යුක්ත වේ.

..

බඹර ප්‍රහාරයකට ලක් වූ විට කුඩා බිබිළි ඇති වී අදාළ ප්‍රදේශය රතු පැහැ වී ඉදිමෙන අතර දැඩි වේදනාවක් ද ඇති වේ. තම විලෝපිකයන්ට එරෙහිව දැඩි ආක්‍රමණශීලී හැසිරීම් රටාවක් දක්වන බඹරු රංචු සතුරන්ව හඹාගොස් පන්නා දැමීම සිදුකරයි. බඹරාගේත් විෂ දළ හිස ආශ්‍රිතව පිහිටන අතර බඹර දෂ්ටනය ද විටෙක මාරාන්තික තත්වයන් අත්කර දීමට තරම් ප්‍රබල වියහැක. ඊට අමතරව හෘදයාබාධ, මස් පිඩු වේදනාව, උණ සහ තාවකාලික පෙනීම අහිමි වීම වැනි බලපෑම් සිදුවිය හැක. එසේම බඹර විෂ මූලිකවම මිනිසාගේ මොළය, හදවත සහ වකුගඩු වලට බලපෑම් ඇති කරයි.

..

  • දෙබරා (Wasp) විද්‍යාත්මක නාමය : Vespidae

..

බුද්ධිමත් සහ උපක්‍රමශීලි සත්ත්ව කොට්ඨාසයක් වන දෙබරුන් හට සුවිශේෂි වූ හැකියාවන් ඇත. සකර්මක විනිශ්චය එනම් සමාන ලක්ෂණ සහිත දෑ වෙන්කර ගැනීමේ හැකියාව (උ.දා; මිනිස් සමූහයක් අතරින් පුද්ගලයින් වෙන් වෙන් වශයෙන් වෙන්කර ගැනීම) සේම වර්ණයෙන් අඩු වැඩි දෑ මෙන්ම සමාන ගති ඇති යුගල සැණින් තෝරාගැනීමේ හැකියාව ද ඇත. දෙබරා, බඹරා හා මී මැස්සාට සාපේක්ෂව තරමක් ප්‍රමාණයෙන් විශාල සේම කඳ වටා කහපාට පටි දැකිය හැක.

..

දෙබර දෂ්ටනය දරුණු ගණයේ ප්‍රහාරයක් වන අතර එමඟින් සමෙන් ලේ වැගිරීම් පවා සිදුවිය හැක. දෂ්ටනය වූ ස්ථානය රතු පැහැ වී ඉදිමෙන අතර ඉතා දැඩි වේදනාවක් ඇති කරයි.

..

දෙබර විෂ මඟින් ඉන්ද්‍රිය ආබාධ හා හෘදයාබාධ තත්ත්වයන් ද ඇති විය හැකිය. හෘදයේ කිරීටක ධමනි වල මේද තැම්පත්ව ඇති පුද්ගලයන් බොහෝවිට දෙබර දෂ්ටනයෙන් පසු දින හදිසි හෘදයාබාධ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ මේ නිසාය. දෙබරා දෂ්ටනය සිදුකරනු ලබන්නේ උදරය අග කොටසේ ඇති දළ මගිනි. මේ නිසා එම දළ කැඩීයාමකට ලක්නොවන නිසා දෙබරාට බොහෝ වාර ගණනක් දෂ්ට කළ හැක.

..

  • දෂ්ටනයක් වුවහොත් ප්‍රථමාධාර

කඳු තරණය කරන්නන් වශයෙන් යම් හෙයකින් මෙම දෂ්‍ටනයන් වලට ලක් වූ විට ලබා දිය යුතු ප්‍රථමාධාර පිළිබඳව දැනසිටීම ඉතා වැදගත් වේ.

..

පළමුව දෂ්ටනයට ලක් වූ තැනැත්තාගේ බිය දුරු කරන්න. ජීවිතය බේරාගත හැකි බවත් කලබල නොවන ලෙසත් පවසන්න. මී මැසි හෝ බඹර හෝ දෙබර හෝ දෂ්ටනයක් සිදු වී ඇති අවස්ථාවක දී රෝගියාගේ ශරීරයෙහි ඇති විස තුඩ එනම් විත මුලින්ම ඉවත්කළ යුතුය. මේ සඳහා රතු ලූණු ගෙඩියක් කපා දෂ්ටනය සිදුවූ ස්ථානයේ ඇතිල්ලීම බහුලව සිදුකරන්නා වූ ප්‍රථමාධාරයකි.

..

එමෙන්ම මී මැසි විෂ ආම්ලික බැවින් දෂ්ටනයෙන් වූ වේදනාව අඩු කිරීමට බේකින් සෝඩා (සෝඩියම් බයි කාබනේට්) වැනි දුබල භස්මික ද්‍රාවණයක් දෂ්ටනය සිදු වූ ස්ථානයේ ආලේපණය කිරීම සිදුකළ හැක. එසේම දෙබර සහ බඹර විෂ භාස්මික බැවින් දෂ්ටනය වූ ස්ථානයේ දෙහි යුෂ, විනාකිරි වැනි ආම්ලික ද්‍රව්‍ය ආලේපණය කිරීමෙන් වේදනාව අඩු කරගත හැක. මීට අමතරව දෂ්ටනයට ලක්වූ ස්ථානය මත අයිස් යොදා සාදාගන්නා ලද පැකට්ටුවක් මිනිත්තු 10 ක් පමණ තැබීමෙන් රෝගියාගේ දෂ්ටනයට ලක්වූ ස්ථානය අවට වේදනාව අවම කරගත හැකිය.

..

දෂ්ටනය සිදු වූ අවස්ථාවේ දී රෝගියා සිහිමද තත්වයට පත්වීමේ හැකියාවක් ඇති සේම වමනය කිරීමේ ඉඩකඩක් පවතියි. මේ නිසා ඔහුට කිසිවක් පානය කිරීමට නොදිය යුතුය. එලෙස පානය කිරීමට ලබා දුනහොත් පානයට ලබාගන්නා දෙය රෝගියාගේ පෙනහළු වලට ඇතුළු වියහැක. එසේම රෝගියාට හොඳින් වාතාශ්‍රය ලැබෙන සේ ඔහුගේ හිස තරමක් පහළට සිටින සේ නිදිකරවා තැබීම සිදුකළ යුතුය. එමගින් මොළයට අවශ්‍ය රුධිරය අඛණ්ඩව ගමන්කිරීම පහසු වේ.

..

දෙබර සහ බඹර දෂ්ටනය උග්‍ර විෂ සහිත බැවින් හැකිතාක් ඉක්මනින් රෝගියාව රෝහල් ගතකළ යුතුය.

..

  • එසේනම් මෙලෙස මී මැස්සන්, බඹරුන් හා දෙබරුන් පහරදීමට පෙලඹෙන්නේ මන්දැයි විමසා බලමු.

සාමාන්‍යයෙන් මෙම සතුන්ගේ ප්‍රහාර අහම්බයකින් සිදුනොවේ. එනම් ඔවුන්හට ඍජුව හෝ වක්‍රාකාරව බාධා ඇතිවිය යුතුය. ඔවුන් තමන්ට අනතුරක් දැනුන විට ඉන් ආරක්ෂා වීමට විවිධ ක්‍රම අනුගමනය කරයි. මොවුන්ගේ දෂ්ටනය ඉන් ඇතිවන ප්‍රතිඵලයකි.

..

ශබ්දය (Noise)

මෙම සත්ත්වයින්ට ශබ්ද නොඇසෙන නමුත් ඔවුන්ගේ ශරීර වලට ශබ්ද ඇති බව හඳුනාගත හැක. ඔබ කඳු තරණය කරන විට ශබ්ද නගා කතාකිරීම, කෑගැසීම, ඉතා ශබ්දයෙන් යුතු සංගීත භාණ්ඩ වාදනය කිරීම වැනි ක්‍රියාකාරකම් නිසා මෙම සතුන් කලබලයට පත්වන අතර එමඟින් ඔවුන්ගේ දෂ්ටන වලට ගොදුරු වියහැක.

..
කම්පනය (Vibration)

මොවුන් කම්පනය සලකන්නේ ඔවුන්ට ඇති අනතුරක් හෝ තර්ජනයක් ලෙසිනි. ඔවුන්ගේ වාසස්ථාන වලට කිසිවිටෙකත් ගල් ගැසීම හෝ පොලු වලින් පහරදීම සිදු නොකළ යුතුමය. එවිට ඔවුන්ගේ ප්‍රහාර රංචු වශයෙන් සිදුවන අතර ඒවා ඉතා දරුණු ගණයේ ඒවා වියහැක.

..

  • එසේනම් මෙම ප්‍රහාර වලක්වා ගන්නේ කෙසේදැයි විමසා බලමු.

..

කූඩුවට බාධා නොකරන්න.

ඔබ කිසිවිටෙකත් මෙම සතුන්ගේ කූඩුවලට බාධා නොකළ යුතුය. ගසක කුහරයෙන් හෝ බිමෙහි සිදුරකින් සත්ත්වයෙකු පිටවන බව ඔබ දුටුවහොත්, එම ප්‍රදේශයේ කූඩුවක් ඇති බව ඔබට උපකල්පනය කළ හැකිය. වහාම මෙම ස්ථානයෙන් පිටවීම වඩාත් සුදුසුය.

..

අනතුරු ඇඟවීමේ සංඥා පිළිබඳව සැලකිලිමත් වන්න.

සත්ත්වයින්ගේ හැසිරීම සැලකිල්ලට ගන්න. ඔබට ඉහළින් හෝ අවට රංචුවක් නිර්මාණය වන බව ඔබ දුටුවහොත් එය ඔවුන්ගේ අනතුරු ඇඟවීම විය හැකිය. එබැවින් සත්ත්ව රංචුවකට පහර දීමට උත්සාහ නොකරන්න, ප්‍රදේශයෙන් ඉවත් වන්න.

..

කොලෝන් හෝ සුවඳ විලවුන් භාවිතා නොකරන්න.

කඳු තරණයේදි ගන්ධය අධික සුවඳ විලවුන් හෝ කොලෝන් භාවිතයෙන් වැළකීසිටීම සුදුසුය. මන්ද මෙම සතුන් කොලෝන් සහ සුවඳ විලවුන් වල සුවඳ මල්වල සුවඳ සමඟ වරදවා වටහා ගනී. එවිට ඔවුන් සුවඳ හඳුනාගෙන මූලාශ්‍රය සොයාගත් පසු, ඔවුන් ඔබ මත පතිත වී දෂ්ටනයන් ඇති කිරීමේ වැඩි ඉඩක් ඇත.

..

දීප්තිමත් ඇඳුම් ඇඳිමෙන් වළකින්න.

කඳු නැගීම සඳහා සූදානම් වන විට ඔබ මතක තබා ගතයුතු තවත් දෙයක් වන්නේ ඔබේ ඇඳුම්වල වර්ණයයි. දීප්තිමත් හෝ මල් සහිත ඇඳුම් කිසිවක් ඇඳීමෙන් වැළකී සිටින්න. මොවුන් ඔබ පැළඳ සිටින ඇඳුම්වල දීප්තිමත් වර්ණ, මල්වල දීප්තිමත් වර්ණ සමඟ වරදවා වටහා ගත හැකිය. හැකි සෑමවිටම ලා පැහැයෙන් යුත් ඇදුම් ඇඳීමට යොමු වන්න.

..

  • ඔබට යම් ප්‍රහාරයක් සිදුවන විට ක්‍රියාකළ යුත්තේ කෙසේදැයි විමසා බලමු.

..

  1. ආරක්ෂිත ස්ථානයක් කරා ඉක්මනින් ඉවත් වන්න.

ඔබේ ප්‍රධාන ඉලක්කය විය යුත්තේ ආරක්ෂිත ස්ථානයකට දිව යෑමයි. මොවුන් ඔබව තර්ජනයක් සේ සැකකරන විට ඔබට මුලින්ම අනතුරු අඟවයි. ඉතිරි සමූහය ඔබව වට කර ගැනීමට පෙර හැකිතාක් ඉක්මනින් අනිවාර්‍යයෙන්ම එම ස්ථානයෙන් ඉවත් විය යුතුමය.

ඔවුන්ව එලවා ගැනීමට හෝ ඔවුන් සමඟ සටන් කිරීම නොකළ යුතුය. මන්ද රංචුවකටම ඔබව වටකර ගැනීමට ගතවන්නේ ඉතා සුළු කාලයක් නිසා හැකිතාක් ඉක්මනට ආරක්ෂිත ස්ථානයකට යා යුතුය. ඔබට එවැනි තැනකට යා නොහැකි නම් කළහැකි හොඳම දෙය වන්නේ සිරුර හැකි පමණ ආවරණය කරගෙන බිම දිගාවීමයි. හැකියාවක් තිබේ නම් ඇගෙහි මඩ තවරා ගැනීමෙන් ද දෂ්ටන අවම කර ගතහැක.

..

  1. වියළි බිමෙහි රැඳී සිටින්න

ඔබේ මාර්ගය ජල කඳක් අසල තිබේ නම්, මොවුන්ගෙන් මිදීමට හැකිවන පරිදි ඔබ ජලයට පැනීමට පෙළඹෙනු ඇත. කෙසේවෙතත්, ඔබ මෙම ක්‍රියාවෙන් වැළකී සිටිය යුතුමය. මෙම සත්ත්වයින් ඉතා ඉවසිලිවන්ත වන අතර ඔබ නැවත මතුවන තෙක් ඔවුන් බලා සිටිනු ඇත. ඔබ ජලයෙන් ඉවතට පැමිණෙන සෑම අවස්ථාවකම ඔවුන් ඔබට නැවත දෂ්ට කරනු ඇත. එබැවින් දිගටම වියළි බිමක රැඳී සිටින්න.

..

  1. නිරාවරණය වූ සම ආවරණය කරන්න

ඔබට ආරක්ෂිත ස්ථානයක් සොයාගත නොහැකි නම්, ඔබ දුවන විට හැකිතාක් නිරාවරණය වූ සම ආවරණය කිරීමට වග බලා ගන්න. මේ ආකාරයෙන්, සම ආවරණය කරගත් පසු දෂ්ටනයෙන් වන ප්‍රතිඵල එතරම් දරුණු නොවනු ඇත.

..

මී මැස්සන්, දෙබරුන් සහ බඹරුන් සොබාදහම් මාතාව සුන්දර කිරීමට මහඟු කාර්යයක් ඉටුකරන සත්ත්ව කොට්ඨාස බැවින් ඔවුන්ව ආරක්ෂා කිරීම අපගේ යුතුකමයි. අපගේ ආරක්ෂාව සලසාගනිමින් අපත් ආරක්ෂා වෙමින් මෙකී සතුන් ද ආරක්ෂා කරමු.

..
..
සටහන:

දිනිති වීරසිංහ

21 කණ්ඩායම

ඉංජිනේරූ පීඨය

4743 6
Created : Sep 14, 2022 01:17pm
Last updated : Apr 25, 2024 03:50am

Mariogligo

April 4th, 2024 - 8:44AM

Bitcoin (BTC) might just be the golden opportunity of our era, poised to skyrocket to $200,000 in the upcoming year or the one following. In the past year alone, BTC has witnessed a staggering 20-fold increase, while other cryptocurrencies have surged by an astounding 800 times! Consider this: a mere few years ago, Bitcoin was valued at just $2. Now is the time to seize this unparalleled chance in life. Join Binance, the world's largest and most secure digital currency exchange, and unlock free rewards. Don't let this pivotal moment slip through your fingers! Click the link below to enjoy a lifetime 10% discount on all your trades. https://swiy.co/LgSv

HAVMK WIJERATHNE

September 9th, 2022 - 2:36PM

good

WA SHAMINDA

September 9th, 2022 - 2:36PM

Well done

Kevin Chamod

September 9th, 2022 - 7:14AM

Much helpful❤️

Y .Rajapakshe

May 5th, 2023 - 2:01AM

There is a wasp nest in one of our rooms in our home ,could u please instruct me to get them ,removed from that place Tanks

අශාන්

January 1th, 2024 - 8:44AM

අපිට අනිනකොට ඔය සුන්දර කතා අදාල නෑ. කෙලින්නමයි හිතෙන්නේ