Loading

Loading...

නකල්ස් කඳු පන්තියේ ආඩම්බරය : කොට ගඟ දිය ඇලි තරණය

කොටගඟ දිය ඇලි තරණය මොරටුව විශ්ව විද්‍යාලයීය කඳු නගින්නන්ගේ මතක සටහන් ගොන්නට එකතු කර ගැනීමට හීන දැකපු තවත් සුන්දර සටහනකි. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය ලද නකල්ස් කඳු පන්තියට අයත් භූමියේ ඇති කොටගඟ, මධ්‍යම පළාතට සුන්දරත්වයක් ගෙන එන දිය ඇලි හතකින් යුත්, දිය ඇලි සමූහයකි. නකල්ස් කඳු පන්තිය මුහුදු මට්ටමේ සිට මීටර් 1400-1450 ක උසින් පිහිටි ලෝක උරුම ස්ථානයක් ලෙස නම් කරන ලද රක්ෂිත වන භූමියකි. මෙම කලාපය විවිධ තුරුලතා වර්ග, ආවේණික සත්ත්ව වර්ග, ආවේණික පක්ෂීන් වර්ග, ආවේණික මල් වර්ගවලින් සමන්විත අධි සංවේදී කලාපයක් වුවද, මෙයට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ලද අවසර පත්‍රය සහිතව ඇතුල් විය හැක. මොරටුව විශ්ව විද්‍යාලීය කඳු නගින්නන්ගේ දින පොතේ 2022 /2023 වර්ෂයේ අවසාන ගමනාන්තය ලෙස කොටගඟ දිය ඇලි හත දඩයම් කිරීමට වෙන් වුණි.

කොටගඟ දිය ඇලි දඩයම සඳහා පිටත් වීමට මොරටු විශ්ව විද්‍යාලයීය කඳු නගින්නන් සූදානම් වූයේ ඉරුදින පාන්දර 2.30ට පමණය. මීදුම් වළලු සිඹිමින් එදින උදෑසන අප රැගත් බස් රථය විශ්ව විද්‍යාල භූමියෙන් ගමන් ඇරඹුවේ පෙර මෙන් තවත් එක් සුන්දර මතක සටහනක් දින පොතට එක් කරගැනීමට ඉඩ හසර වෙන් කරමිනි. පෙර පුරුදු පරිදි කමිටු සාමාජිකයින්ගේ උපදෙස් රැගත් අප ගමන් ඇරඹුවේ ගමන අතරමගින් ද සාමාජිකයින් කීපදෙනෙක් එකතු කරගනිමිනි. විශ්ව විද්‍යාල භූමියෙන් පිටත් වූ අප අධිවේගී මාර්ගය ඔස්සේ කඩවතට පැමිණ කොළඹ-මහනුවර මාර්ගය ඔස්සේ මහනුවරට ගමන් කළහ. මහනුවරට පැමිණි අප ඉන්පසු තෙල්දෙණිය මාර්ගයේ ගමන් කොට තැන්නෙකුඹුර ප්‍රදේශයෙන් උදෑසන ආහාර වේල ගත් අතර නැවත ගමන් ඇරඹුවේ රංගල ප්‍රදේශය කරා ලඟාවීමේ අරමුණ ඇතිවය. උදෑසන 8.30 පමණ වන විට අපට රංගලට ලඟා වීමට හැකි විය. රංගල සිට කොටගඟ දිය ඇලි තරණය සදහා ගමන් මාර්ග දෙකක් පවතී. එයින් එකක් රංගල ඔස්සේ ගෝනවල ගම්මානයට ලඟා වී, එතැන් සිට දිය ඇලි පාමුල සිට ඉහළට ගමන්කොට දිය ඇලි දාමයේ මුදුනට ලඟා වන මාර්ගයයි. දෙවැන්න නම් රංගල ඔස්සේ තංගප්පුව ගම්මානයට ලඟා වී, එතැන් සිට තංගප්පුව නක්ල්ස් පිවිසුම් මාර්ගය ඔස්සේ නකල්ස් වනපෙත හරහා දිය ඇලි දාමයේ මුදුනට ලඟා වීමයි. දෙවැනි මාර්ගය හරහා ගමන සැලසුම් කර තිබූ අප රංගල සිට තංගප්පුව ගම්මානයට එම මාර්ගයේ ගමන් කරන ලංගම බස් රථයකින් ගමන් කළේ ගමන් මාර්ගයේ ඇති අපහසුතා නිසාවෙනි.

බස් රථ රෝද ප්‍රමාණයට පමණක්ම වන පටු මාවත දිගේ සුන්දර තේ වතු යායක් මැදින් අප තවත් කිලෝමීටර් ගනනාවක් ඉදිරියට ගමන් කළෙමු. තංගප්පුව ගම්මානයෙන් බස් රථයෙන් බැසගත් අප කඳු නගින්නන්ටම විශේෂ වූ සාමාජික ගණනයෙන් පසුව තවත් ටික දුරක් පයින් ඇවිද ගොස් නක්ල්ස් රක්ෂිතයේ පිවිසුම වෙත ලඟා වන විට උදෑසන නවය පසු වී විනාඩි කීපයක් ගත වී තිබුණි. තංගප්පුව ගම මැදින් ඇති කුඩා මාවත දිගේ තෛපොංගල් උත්සවශ්‍රීයෙන් ඒ හැඩ වී ඇති ගමේ සුන්දරත්වය විඳිමින් ඉදිරියට ගමන් ගත් අප එහි ජනතාවට සුබ පැතීමටද අමතක නොකළෙමු.

රක්ෂිතයට ඇතුල්වීමට පෙර, පුරුදු අයුරින්ම අප කණ්ඩායම් සාමාජිකයින් එකිනෙකා දැන හැඳින ගැනීම සිදු කර ගන්නා ලදි. එහිදී දවස ගත කළ යුතු ආකාරය ගැනත්, ගමන් මාර්ගයේ ඇති දුෂ්කරතා ගැනත්, කණ්ඩායම් සහයෝගීතාවයෙන් ගමන් කළ යුතු ආකාරය ගැනත්, ගමනාන්තයට ලඟා වන තුරු අප දකින දැකුම්කළු පරිසරය තවකෙකුහට දැක බලා ගැනීමට ආරක්ෂා කළ යුතු ආකාරය ගැනත් පෙර අත්දැකීම් බහුල අපගේ වැඩිමහල් සාමාජිකයින් අපට උපදෙස් දෙන ලදි. තවද මෙම දියඇලි තරණය කිරීම සඳහා නක්ල්ස් පිවිසුම් මාර්ගයක් භාවිතා කරන ලද බැවින් අවසර පතක් ලබා ගත යුතු අතර දෙස් විදෙස් ඕනෑම සංචාරකයෙකුට මෙම මනරම් පරිසරය විවෘතව ඇත.

සියලු උපදෙස් රැගත් මොරටුව විශ්ව විද්‍යාලයීය නගින්නන් උදෑසන 9.30 පමණ දිය ඇලි තරණය කිරීමේ අරමුණෙන්ම ගමන ආරම්භ කරන ලදි. ගමේ අවසානයත් කැළෑ පෙදෙසේ ආරම්භයත් සනිටුහන් කළ කුඩා අඩි පාර ඔස්සේ කොටගඟ දිය ඇලි දාමයට ජීවය සපයන ජල දහරාව සොයා අප ගමන් කළෙමු. ගමන ආරම්භයේ දිගු බෑවුමක් සහිත කඳු තරණයක් නොවූ බැවින් අප මදක් සැහැල්ලුවෙන් ගමන් කළෙමු. ආරම්භයේ වූ සැහැල්ලු බව කෙමෙන් කෙමෙන් මිදී යද්දී, අප කඳු නගින්නන් එකිනෙකාට උදව් වෙමින් ඉදිරියට ගමන් කළේ ගමන් මහන්සිය නිවා ගැනීමට ගමන් මාර්ගය අතර මැද නැවතෙමින්, ආහාර පාන හුවමාරු කරගනිමිනි.

මෙසේ විවිධ කඳු පල්ලම් ඔස්සේ ගමන් කරමින්, ගිමන් හරිමින් ඉක්මන් ගමනින් ගමන් කළේ තවමත් ලඟා නොවූ ඒ අපූරුතම ගමනාන්තය දැක බලා ගැනීමටයි. තේ වතු, වන ලැහැබ්, බට පඳුරු, සහ කඳුකර වනාන්තර ලක්ෂණ පෙන්වන ශාක ගොනු පසු කරමින් විවිධ ගමන් මං ඔස්සේ ගමන් කළ අපට ගත සිත හිරිවට්ටන මිහිරි සිසිලත්, ජලය ගමන් කරන දොළ පාරත් දිය ඇලි සමූහයේ පළමු ඇදහැලීම ලඟ බව දනවන පෙර ලකුණු විය. මෙතැන් සිට අප ආ කුඩා අඩි පාරෙන් වෙන්වූ අප දොළ පහර දිගේ පහලට ගමන් කිරීම ඇරඹුවෙමු. ඉතා ප්‍රවේසමෙන් ලිස්සන සුළු ගල්තලා දිගේ ගමන් කළ අප දිය ඇල්ලේ පලමු අදියර ඇදහැලීම වෙත පිවිසියේ ජයග්‍රාහී විලාශයෙනි.

කොටගඟ දිය ඇලි දාමයේ මුදුනත වෙත ලඟා වූ කඳු නගින්නන් එහි වූ කුඩා ප්‍රමාණයේ ගස්වලින් හා පඳුරුවලින් ගහන වූ දිය දහරේ සුන්දරත්වයට වශී වූවා දැයි සිතුනේ කඳු නගින්නන් ඔබ මොබ සැරිසරමින් අයෙක් ඡායාරූප ගැනීමෙන්ද, අයෙක් සීතල ජලය පානය කිරීමෙන්ද, අයෙක් වාඩි වී සුන්දරත්වය නිහඬව විදිමින්ද, තම මතක පොතට නැවුම් අත්දැකීමක් එක් කරගනිමින්ද කාලය ගත කරනු දැකීමෙනි.

බොහෝ වේලා පරිසරයේ සුන්දරත්වයෙන් මත්ව හුන් අප මෙම පළමු ඇදහැලීමේ මුදුනට වී පැයක පමණ කාලයක් ගත කළද, දෙවන අදියර සොයා ගමන් ඇරඹීමට තරම් කිසිම සූදානමක් නම් දැකගැනිමට තිබුනේද නැත. එම ගල්තලාවේ රිසි ලෙස හිඳිමින් ප්‍රනීත දිවා ආහාරය ලබා ගත් අප වැඩිමහල් සාමාජිකයින්ගේ උපදෙස් පරිදි කිසිම විදියක දිරන කසල කොටසක්වත් පරිසරයට මුදා නොහැරීමට වග බලා ගත්තෙමු.

පසුව කමිටු සාමාජිකයින්ගේ උපදෙස් පරිදි සාමාජික ගණනයෙන් අනතුරුව අපි ඉක්මන් ගමනින් ගමන් ඇරඹුවේ දිය ඇලි දාමයේ දෙවන ඇද වැටීම සොයා යෑමටයි. පෙර මෙන් සැහැල්ලු ගමන් මගක් නොවූ මෙම මාර්ගය බට පඳුරු සහ කුඩා ගස්වලින් ගහන කුඩා අඩි පාරක් ඔස්සේ වැටී තිබුණු අතර, ඉතා වෙහෙසකර වූත්, පටු මාර්ගය දිගේ දෙවන අදියරය සොයා ගමන් කළේ ගත සිත කුල්මත් වන සිසිලස ද රැගෙනය. අප පහළට බැසීම ආරම්භ කල අඩිපාරෙන් වෙනත් පටු මගකින් පහළට බැසීමෙන් ගමන් කළ යුතු වූ දෙවන වැටීම පළමු වැටීම තරම් උස් නොවූවද තරමක දර්ශනීය ස්වභාවයක් පරිසරයට එක් කර තිබුණි.


දෙවන වැටීම අසල වැඩි වේලා රැඳී නොසිටි අප ඉක්මන් ගමනින් තෙවන අදියර ඇද වැටීම සොයා පිය නැගුවේ කාල වේලාව වේගයෙන් ගමන් කරනා බැවිනි. පෙර මෙන්ම තවත් දුෂ්කර පටු ගමන් බැස්මකින් තෙවන වැටීම සොයා පිය නැගුවේ ගමන් මාර්ගය පුරාවට අප සමග පොරබැදූ කූඩැල්ලු සගයන් ද ඉවත් කරමිනි. කාල වේලාවනම් කොතරම් ඉක්ම ගියත් කඳු නගින්නන් තුළ වූ ආශාවන් නම් මැඩ පැවැත්විය නොහැකි විය.

දිය ඇලි දාමයේ තෙවන වැටීම අධික සීතලෙන් යුත් ජලයද රැගෙන පහළ බසින්නේ, සුපුරුදු විශ්ව විද්‍යාල අධ්‍යාපන රටාවෙන් හෙම්බත් ව සිටින අපගේ ගත සිත නිවාලීමට මෙනි. රිස් සේ විනෝද වූ අප ගල් තලාව මත වාඩි වූයේ කමිටු සාමාජිකයින්ගේ උපදෙස් මතයි. පෙර මෙන් මේ ඇරඹෙන්නේ කඳු නගින්නන්ගේ දැනුම බෙදා ගන්නා අවස්ථාවයි. විනෝදයෙන් එම අවස්ථාවටද මුහුණ දුන් අප පැය භාගයකට වැඩි කාලයක් රැඳී සිට සිව්වන ඇල්ල සොයා පෙර පැමිණි දුෂ්කර කෙටි අඩි පාර ඔස්සේ බට පඳුරුවලින් ගහන වූ කැලෑව පීරමින් ගමන් කළෙමු. කෙසේ හෝ සිව්වන ඇල්ලට ගමන් ගත් අපි වැඩි වේලා රැඳී නොසිට පස්වන ඇල්ල සොයා ප්‍රධාන අඩි මාර්ගයෙන් අතුරු මාවතකට හැරී ගමන් කරන්නට විය. එම මාර්ගයේ විශාල බෑවුමකින් යුතු බැස්මවලින් ගමන් කළ යුතු වූ අතර, තරමක් අපහසු වුවත් එකිනෙකාගේ සහයෝගයෙන් අප ගමන් කළ බැවින් එම ගමන පහසු විය. පස්වන ඇල්ල පහළට වැටෙන ස්ථානයේ පාෂාණවල විශේෂත්වයක් ඇති බව අපට පහසුවෙන් නිරීක්ෂණය කල හැකි විය. එහි වූ පාෂාණ රටාවේ වර්ණ කිසියම් රිද්මයක් මත වෙනස් වෙමින් නිර්මාණය වී ඇත්තේ පරිසරයට චමත්කාර ජනක දසුනක් තිළිණ කිරීමටයි. පස්වන ඇල්ලෙන් නික්මුණ අප ඉන් අනතුරුව සයවන දිය ඇල්ල සෙවීමට වඩාත් දුෂ්කර ගමන් මාර්ගයක ගමන් කරන්නට විය.

මන්ද පෙර සියලු මාර්ගයන් අභිබවා මෙම මාර්ගය කඳු නගින්නන් වන අපට ත්‍රාසජනක අත්දැකීමක් ලබා දෙන ලදි. උණ බටවලින් වට වූ අඩි පාර දිගේ විටෙක පහත් වෙමින් ද විටෙක ඉස්සෙමින් ද ගමන් කළ අප සයවන වැටීම පාමුලට පැමිණියේ ඉතා ප්‍රවේසමෙනි. අපට පැමිණි ඊළඟ අභියෝගය නම් සයවන දිය ඇල්ල පාමුලට ලඟාවීමට එක මත එක ඇහිරුණු කුඩා සහ විශාල ගල් රැසක් තරණය කළ යුතු වීම. නමුත් අත්දැකීම් බහුල කමිටු සාමාජිකයින් සමඟ ගමන් කළ අපට ඔවුන්ගේ උපදෙස්ද, මනා ස්වයං විනයකින් හෙබි අප සාමාජිකයින්ගේ හික්මීමත් යන කාරණා හේතුවෙන් සයවන දිය ඇල්ල නැරඹීම පහසු අභියෝගයක් විය. තරමක වේලාවක් එහි රැඳි සිටි අපි ලිස්සන සුළු ගල් මතින් සෙමෙන් සෙමෙන් ගලෙන් ගලට පියවර මැන්නෙ ප්‍රවේසමෙනි. ගල් තලාවෙන් බැසගත් අප නැවත උණ බට පදුරු සහිත වන ලැහැබ තුලින් රිංගමින් ප්‍රධාන අඩි පාරට අවතීර්ණ වූයේ දිය ඇලි හයක් නරඹා ලබාගත් සුන්දර අත්දැකීම් හිතේ ගොනු කර ගනිමිනි. ගමන පුරාවටම ලැබුණු අවස්ථාවලින් උපරිම ප්‍රයෝජන ලබාගත් සාමාජිකයන් ජල දහරේ සුව විදීමටද උපරිමයෙන් සමත් විය.

දිය ඇලි නරඹා සවස 6.30 පමණ වන විට ගෝනවල ගමට ලඟා වූ අපට එතැන් සිට තවත් කිලෝමීටර 4ක් පමණ අපගේ බස් රථය නවතා තිබූ රංගල නගරයට යාමට ඉතිරිව තිබුණි. මෙතැන් සිට අපට ගමන් කිරීමට සිදුව තිබුනේ කුඩා වාහනයකට ගමන් කල හැකි නමුත් බස් රථයක් වැනි විශාල වාහනයකට ගමන් කිරීමට නොහැකි මාර්ගයකය. මද වේලාවක් නැවතී ගිමන් හල අප නැවත ඉක්මන් ගමනින් පිටත් වූයේ ගමනාන්තයට තව දුර ගමන් කළ යුතු නිසාවෙනි. ගමනේ පහසුව සඳහා අපි කුඩා කණ්ඩායම් ලෙස බෙදී ගමන් කලෙමු. වට පිටාව කෙමෙන් කෙමෙන් අන්ධකාරය ගිල ගනිද්දි, අප කඳු නගින්නන්ගේ ආරක්ෂාව පිළිබඳ කමිටු සාමාජිකයික් සහතික විය. රාත්‍රි 8.30 පසුවන විටත් අප රංගල නගරය වෙත ලඟා වි නොතිබුණි. එසේ යන අතර මග අප විවිධ ආහාර පාන අනුභව කරමින්, දවස පුරා මුහුණ දුන් විවිධ අත්දැකීම් වල රසබර තැන් විස්තර කරමින් 4 km පමණ දුරක් දිය ඇලි පාමුල ගෝනවල ගම්මනයේ සිට ගමන් කොට බස් රථයට ලඟා වී අප සියළුම කඳු නගින්නන් එක් වන තෙක් විමසිලිමත්ව බලාගෙන සිටියෙමු. සියළුම සාමාජිකයින් එක් වූ පසු නැවත සාමාජික ගණනය සිදු කරමින් අනතුරුව බසයට නැග ගත් අප නැවත විශ්ව විද්‍යාලය කරා පැමිණීමට ගමන් කිරීම ආරම්භ කරන ලදී

අතර මගින් කිහිප දෙනෙක් සමුගත්තද, අනෙක් සියලුම දෙනා විශ්ව විද්‍යාලය කරා ගමන් ගන්න ලදී. තැන්නෙකුඹුර ප්‍රදේශයේ අප සමග එකට ගමන් කළ සොහොයුරියකගේ ගෙදරින් උණුසුම් ඇරයුමක් ලැබී තිබුණේ රාත්‍රී ආහාර ලබාගැනීමටය. එම ඇරයුම ඉතා ආදරණීයව භාරගත් අප සැම එම නිවැසියන්ගෙන් සමුගත්තේ බෙහෙවින් ස්තූතිවන්ත වෙමිනි. පසුව නැවතත් විශ්ව විද්‍යාලය කරා ගමන් ඇරඹි අපි බෙහෙවින් වෙහෙසට පත් වී සිටි බැවින් බොහොමයක් දෙනා බස් රථයට නැග ගත්වනම නින්දට වැටුනේ දවසේ වෙහෙසකර බව නිවා ගනු වස්ය. තවත් පිරිසක් දවසේ අත්දැකීම් බෙදා ගනිමින් බස් රථය ගීතවත් කළේ සුන්දර ගමන් අවසානයක් සඳහාමය. මෙසේ පැමිණි කඳු නගින්නන් බහුතරයක් සරසවි බිම ආසන්නයේදී නින්දට වැටී ගොස්ය. ගමනේ අවසානයට ලඟාවන විට පාන්දර 2 පසු වී ඇති බව බසයෙන් බැසගත් සියල්ලටම පසක් වූයේ තම ඔරලෝසුවේ සටහන්ව ඇති වේලාව දැකීමෙනි. සුන්දර වූත් , ත්‍රාසජනක වූත් අත්දැකීම් ගොන්නක් එකතු කරගනිමින් පිය සටහන් පමණක්ම ඉතිරි කළ මොරටුව විශ්ව විද්‍යාලයේ කඳු නගින්නන්ගේ දින පොතේ තවත් සුන්දර දිනයක් එසේ අවසන් වූයේ ලස්සන මතක රැසක් මෙසේ අකුරු කරවමිනි.

සටහන - ප්‍රියංගිකා පෙරේරා
20 කණ්ඩායම
වාස්තු විද්‍යා පීඨය

808 1
Created : Mar 18, 2023 06:51pm
Last updated : Mar 28, 2024 06:34pm

Priyani

March 3st, 2023 - 12:10AM

Wow nice