Loading

Loading...

සැලගම වතුයායේ ආඩම්බරය - හුලංගල පුංචි ලෝකාන්තය

මොරටු විශ්ව විද්‍යාලයේ කඳු තරණය කරන්නන්ගේ සංගමයේ මතක දිනපොතට තවත් එක් සොඳුරු සටහනක් එක්කිරීමටයි මේ සූදානම.

බක් මහේ නව අවුරුදු උණුසුම අවසන් වන්නටත් මත්තෙන් 23 වන ඉරුදින අලුයම 2.30 සිට මොරටු විශ්ව විද්‍යාල ඉදිරිපිට නවතා තැබූ බසය දෙසට තරුණ තරුණියන් විටින් විට ඇදෙන ආකාරය වටේපිටේ ඇතැමෙකුගෙ ඇහැ ගැටෙන්නට ඇත. පෙ.ව. 3.15 ට පමණ පිරිස රැගත් බසය කහතුඩුවෙන් අධිවේගී පිවිසුම හරහා කඩවත, අඹේපුස්ස, කුරුණෑගල, ඉබ්බාගමුව හරහා සැලගම වතුයාය කරා ගමන් ඇරඹුවේ හුලංගල කන්ද තරණය කර පුංචි ලෝකාන්තය හඹා යාමේ අභිලාෂය පෙරදැරි කරගෙන වේ.

හෝර්ටන් තැන්න මහාලෝකාන්තයට අමතරව පිටමාරුවේ මඩොල්සිම, රිවස්ටන් පිටවල පතන, හුන්නස්ගිරියේ ඩීන්ස්ටන් සහ සැලගම හුලංගල යන සිව්ස්ථානයන්හි කුඩා ලෝකාන්ත පිහිටා ඇත. ඒ අතරින් ඉතා අලංකාර පරිසර පද්ධතියකින් සමන්විත වූ සැලගම හුලංගම කුඩා ලෝකාන්තය මෙවර මොරටු විශ්ව විද්‍යාලීය කඳු තරණය කරන්නන්ගේ අවධානයට ලක්විය. හුලංගල පුංචි ලෝකාන්තය නකල්ස් කඳු පද්ධතියේ දකුණට වන්න කුරුණෑගල සහ මාතලේ දිස්ත්‍රික් මායිමේ සැලගම වතුයායේ පිහිටි සොඳුරු නවාතැන්පලකි. නකල්ස් කඳු පන්තියේ හුලංගල පිහිටි මෙම කොටස ඈතින් දිස්වන රුවල් නැවක ආකාරයේ කඳු මුදුන් දෙකකින් සමන්විත බැවින් "නැව්ගල" යන නාමයෙන් ද පැරැන්නන් විසින් හඳුන්වා ඇත.

හුලංගල කඳු ශිඛරය කුරුණෑගල දිස්ත්‍රික්කයේ මායිමට වන්නට පිහිටා තිබුණද පුංචි ලෝකාන්තයේ බෑවුමේ පහළ කොටස මාතලේ දිස්ත්‍රික්කයට අයත් වේ. එබැවින් සංචාරකයෙකු හට කුරුණෑගල හෝ මාතලේ සිට හුලංගල පුංචි ලෝකාන්තය කරා ලඟා විය හැකිය. කුරුණෑගල සිට ගමන් ගන්නා අයකුට මුලු දුර වන 40km ක දුරක් ගෙවමින් දඹුල්ලේ සිට තල්ගොඩපිටිය හන්දියෙන් යටවත්ත මාර්ගය හරහා ද, මාතලේ සිට මුලු දුර වන 25.5km දුර ගෙවමින් මහනුවර, යාපනය, පලාපත්වෙල හරහා යටවත්ත මාර්ගයට ලගා විය හැකි අතර, එතැන් සිට යටවත්ත හරහා සැලගම වතුයායට ලඟා විය හැකිය. කඳු තරණය කිරීමේ අත්දැකීම හොඳින්ම ලබාගැනීමට නම් කුරුණෑගල මදුරාගොඩ සිට හුලංගල තරණය කළ හැකිය. නමුත් රාත්‍රියේ ගමන් කරන්නේ නම් එම මාර්ගය භාවිතා කිරීම සුදුසු නොවේ.


මෙහි පැමිණීමට Google Map භාවිතා කරන්නේ නම් ගමනාන්තය ලෙස "යටවත්ත වීරපරාක්‍රම ද්විතීයික පාසල" සලකුණු කළ යුතු අතර එම පාසල වටා හැරී සැලගමට පැමිණිය හැකිය. එසේ නොමැතිව හුලංගල ගමනාන්තය ලෙස භාවිතා කර Google Map භාවිතා කළහොත් අතරමං වීමේ ප්‍රවණතාවය වැඩිය. පොදු ප්‍රවාහන සේවයෙන් මෙහි ගමන් කිරීමට සිතන්නේ නම්, මාතලේ බස් නැවතුමට පැමිණ මාතලේ බසයක නැගී, සැලගම වතුයාය අසලින් බසයෙන් බැස, හුලංගල තරණය පා ගමනින් ආරම්භ කළ හැකිය.

හුලංගල පුංචි ලෝකාන්තය මුහුදු මට්ටමේ සිට 760m (අඩි 2500) ක උසකින් පිහිටා ඇති අතර දකුණු පසින් හුලංගල කන්ද මුහුදු මට්ටමේ සිට 1025m (අඩි 3360) ක උසකින් පිහිටා ඇත. එබැවින් හුලංගල පුංචි ලෝකාන්තය දක්වා කඳු තරණය නවක කඳුතරණය කරන්නෙකුට හොඳ ඇරඹුමක් වෙයි.

අප බසය කුරුණෑගල කරා ගමන් ගන්නා අතරවාරයේ දී ද කිහිපදෙනෙකු බසයට ගොඩවූ අතර උදෑසන ආහාරය සඳහා කුරුණෑගල පිහිටි සස්මිත සොයුරාගේ නිවස කරා ගමන් කළෙමු. එහිදී දහවල් ආහාරය ද පිරිස අතර බෙදාදුන් පසු නැවත ගමන ආරම්භ කරන ලදී. පෙ.ව. 11.00ට පමණ බසයෙන් යාහැකි දුර ගමන් කර සැලගම වතුයාය අසලින් අපේ hike එක ආරම්භ කළෙමු.

ඊට මත්තෙන් සුපුරුදු පරිදි සභාපති තිළිණ අයියා සහ හුලංගල ගවේෂණයේ ප්‍රධාන සංවිධායක වූ මංජිත අයියා සංගමය ගැන මෙන්ම hike එක අතර වාරයේ වියහැකි දේවල් ගැනද කෙටි සඳහනක් තැබීමට අමතක නොකළේ එදින නව සාමාජිකයන් බොහෝ දෙනෙකු සහභාගි වී තිබූ නිසාවෙනි.

ඉන්පසුව සාමාජිකයින් එකිනෙකා හඳුනා ගත් අතර R&D එකේ සාක්‍යා සොයුරිය විසින් හුලංගල ගැන කෙටි සඳහනක් ද තබන ලදී. ඉන් මත්තෙන් කුඩා warm-up session එකක් සිදු කල අතර එය hike එක අතරවාරයේ දී ඇතිවන ශාරීරික අපහසුතා මඟහරවා ගැනීමට පිටිවහලක් විය. Hike එක ආරම්භ කිරීමට මත්තෙන් සාමාජිකයන්ගේ ආරක්ෂාව හා පහසුව තකා කණ්ඩායම් නායකයින් සිව් දෙනෙකු යටතේ පිරිස කාණ්ඩගත කෙරූ අතර ගමන අතරවාරයේ සෑමවිටම මුල් කණ්ඩායම සහ අවසාන කණ්ඩායම (head and tail) අතර ගමන් කරනා මෙන් අවධාරණය කරන ලදී.

කන්ද තරණයට මත්තෙන් අපට 2.5km ක පමණ දුරක් සැලගම වතුයාය කරා පා ගමනින් යාමට වූයේ, අපගේ බලාපොරොත්තු සුන් කරමින් බසය ඒ ආසන්නයට රැගෙන යාමට වූ අපහසුතාවය නිසාවෙනි. වතු පිවිසුමේදී දෙස් විදෙස් සංචාරකයෙකුට හෝ කඳු නගින්නෙකුට රු.100ක අවසරපතක් ලබාගත යුතුව ඇත. එහිදී වාහනයක් සඳහා රු.250ක් අය කෙරේ. පුංචි ලෝකාන්තයේ කඳවුරු බැඳීමට මෝටර් රථයෙන් යනවා නම්, ඒ සඳහා රු.2000 ක අවසරපතක් ද යතුරුපැදියකට රු.50 ක අවසරපතක්ද වෙනම ලබාගත යුතුය.


සැලගම වතුයායේ ලයින් හවුස් වලින් 2.5km ක පමණ වූ පා ගමනකින් අනතුරුව හුලංගල පුංචි ලෝකාන්තය නැරඹුම් ස්ථානයට ළඟා විය හැකිය. සැලගම වතුයාය හරහා නැරඹුම් ස්ථානය දක්වා දිවෙන ගල් බහුල මාර්ගයේ යතුරුපැදි, ත්‍රීරෝදරථ හෝ රෝද හතරේ වාහනද ගමන් කිරීමේ හැකියාවක් තිබූ බැවින් දෙස් විදෙස් සංචාරකයින් බොහෝ දෙනෙකුගේ ආකර්ශනයට මෙන්ම අවධානයට ලක් වූ හුලංගල, පරිසරවේදීන් යැයි සිතාසිටි ඇතැම් පිරිස් විසින් විනාශකර ඇති දසුන් තැනින් තැන දක්නට ලැබීම ශෝකයට කරුණකි.

මෙසේ ඇරඹි හුලංගල ගවේෂණය අතරවාරයේදී කණ්ඩායම් නායකයින් මෙන්ම පැරණි සාමාජිකයින් විසින් සෙසු පිරිසට කඳු තරණයේදී උපකාරී වන ගැට වර්ග සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් සිදුකල අතර ලණු 2 ක් ආධාරයෙන් එම ගැට ගසන ආකාරය ද කියාදෙන ලදී.

එමෙන්ම R&D එකේ රවිඳු සොයුරා විසින් ඈතින් දිස්වන කඳුපන්ති ගැනද සඳහනක් තැබීමට අමතක නොකළේ ය. මෙම පුංචි ලෝකාන්තය මුදුනට වයඹ හා මධ්‍යම පළාත් මැනවින් දිස්වන අතර නකල්ස් කඳු පන්තිය, බිසෝගල, දොලුකන්ද, රිදී විහාරය මෙන්ම පැහැදිලි කාලගුණයක් ඇති විටදී රම්බඩගල්ල වැනි ස්ථාන බොහෝමයක් එම දර්ශන පථයට හසුවෙයි. එමෙන්ම බතලගොඩ වැව ද ඊට ටිකක් එහායින් වන්නට පුරාවෘත කතාවකට හිමිකම් කියන බිසෝ ඇල්ල ද පිහිටා ඇති ආකාරය මනරම් ව දිස්වේ. බිසෝ ඇල්ල වෙත ළඟා වීමට වතුයායේ ලයින් නිවාස වලින් දකුණට හැරී යටවත්ත හින්දු කෝවිල දක්වා යා යුතුය. මෙහිදී වාහනවලින් බැස කුඹුරු කිහිපයක් හරහා ගොස් දිය ඇල්ල මුදුනට යා හැකිය.

ඉර මුදුන් වීමත් සමගම පුංචි ලෝකාන්තය කරා ලඟා වූ අප ඊට පහළින් දිස්වූ මනස්කාන්ත වූ දර්ශන පථය මැනවින් විඳගනිමින් ඡායාරූප ද ලබා ගනිමින් සිහිවටන එක් කරගැනීමට උත්සුක විය. ඒ අතරතුරදී දහවල් ආහාරය ද ලබාගත්තෙමු. ඉන් අනතුරුව සමූහ ඡායාරූපයට පෙනී සිටි අප, සෑම hike එකක් පාහේම සිදුකරන Q&A session එකටද සහභාගි වීමු.

එහිදී Health and Safety Committee එක නියෝජනය කරමින් සඳරුවන් අයියා විසින් "Hike එකක් අතරතුරදී පුද්ගලයෙකු සිහිසුන්ව වැටී සිටින විටදී අනුගමනය කළ යුතු සෞඛාරාක්ෂිත වැඩපිළිවෙළ" ගැන පිරිසට මැනවින් පැහැදිලි කර දුන්නේය. Q&A session එක අවසන නිවැරදි පිලිතුරු ලබා දුන් අය හට චොක්ලට් ලබා දුන් අතර එය පිරිස අතර බෙදාහදා ගනිමින් සහෝදරත්වය ද වර්ධනය කරගන්නා ලදි.


සෑම කඳු තරණය කරන්නෙක්ම කඳු ශිඛරයට එසේත් නැතිනම් view point එකට ලඟා වූ විට ඇතිවන මානසික සුවය විඳගැනීමටඕනෑම කටුක පරිසරයක් වුවද තරණය කොට කන්ද මුදුනටම ලඟා වෙයි. අපත් එම අරමුණ පෙරදැරිව පුංචි ලෝකාන්තය පසු කරමින් ඊට මත්තෙන් අහස්ගැබ අල්ලන්නාක් මෙන් නැගී සිටි ගල් පර්වතරාජයා තරණය කිරීම ආරම්භ කළෙමු. එහි මුදුනට 360° ක මනස්කාන්ත දර්ශන පථයක් දිස්වේ.

ගමනේ හොඳම කොටසට අවතීර්ණ වන්නේ මෙතැන් සිටය. ගමන ආරම්භ කිරීමට මත්තෙන් අහස්ගැබ කාලවර්ණ සලු දවටා ගනිමින් මේඝ ඝර්ජනා නංවමින් වැහි දෙවියන්ට ආරාධනා කරන බවක් දක්නට ලැබුණි. එබැවින් සියලු දෙන හනි හනිකට පුංචි ලෝකාන්තය මත්තෙන් වූ ගල් පර්වතය තරණය කිරීමට සැරසුනහ. එහි ආරම්භය පස් වලින් නිමැවූ දැඩි බෑවුමකි. ඉන්පසු තැනින් තැන මතුවූ ගල් පර්වත විය. ඉන් අනතුරුව මාන පඳුරු වලින් ගහණ මාර්ගයක් හමුවිය. සංචාරකයන්ගේ පහස ඉතා අල්ප වශයෙන් ලද අතිශය කැළෑබද මාර්ගයකට අවතීර්ණ වූ අප කූඩැල්ලන්ගේ රාජධානියකට ඇතුල් වූවා හා සමාන හැඟීමකින් යුතුව දුවමින් ගමන් කළෙමු. ආරම්භයේ සිටම පැවති කූඩැලි ප්‍රහාරය එම අවස්ථාව වනවිට දරුණු වතාවරණයක් ගෙන තිබුණි. එය විටෙක හාස්‍ය දනවන කරුණක් වුවද බොහෝවිට අප්‍රසන්න ගතියක් දැනවීමට සමත්විය. ඒ වනවිට අප ගල්පර්වතයේ අඩක් පමණ ආවරණය කල තිබුන ද අකුණු මිශ්‍රිත මේඝ ඝර්ජනා සමඟ පොද වැස්සක් පතිත වෙමින් තිබුණි.


අප නැවත පුංචි ලෝකාන්තය කරා ලඟා වන විට සුදෝසුදු ඝණ මීදුම් පටලයන්ගෙන් ගැවසීගත් හුලංගල කන්ද ඉතා රමණීය දසුන් විදහා පෑහ. අවසන සැවොම එක්රැස් වූ අතර පිරිස ගනන් කිරීමෙන් ආරක්ෂාව තහවුරු කරගැනීමෙන් අනතුරුව වර්ෂාව මධ්‍යයේ හනි හනිකට බස් රථය සොයා ගමන් ඇරඹුවෙමු. රාත්‍රී ආහාරය ලබාගැනීමෙන් අනතුරුව ප.ව.11.30 පමණ වන විට මොරටුව විශ්ව විද්‍යාලය කරා නැවත පැමිණීමෙන් හුලංගල පුංචි ලෝකාන්තය කරා පියමැනූ ගමන එසේ අවසන් කෙරිණි.

අවසන මෙවන් වූ මනරම් ස්ථාන කිසිඳු දූෂණයකින් තොරව නරඹා නිරුපද්‍රිතව ආපසු පැමිණීම අප සැමගේ පරම වගකීමක් බව මතකයේ රඳවාගෙන කටයුතු කළ යුතුවෙමු.

"ස්වභාදහම රකින්නා ස්වභාදහම විසින්ම රකිනු ලැබේ."

සටහන:
ඉසිවරණී ජයසේකර
20 කණ්ඩායම
තොරතුරු තාක්ෂණ පීඨය

652 0
Created : May 2, 2023 04:42pm
Last updated : Mar 29, 2024 10:45am