Loading

Loading...

ලෝක වැසි වනාන්තර දිනය

මිහිකත දෙව්ලිය රැකගන්නා තවත් එක් සුවිශේෂී වූ සහ වටිනාම කොටසක් ලෙස ලෝකයේ තිබෙන්නා වූ වැසි වනාන්තර දැක්විය හැකිය. මුළුමහත් ජීවීන් සියල්ලන්ගේම පණ නල වැසි වනාන්තර සමග ඒකාබද්ධ වී ඇත. ඒ අනුව සොබාදම් මාතාවට ඉමහත් සේවයක් කරන්නාවූ වැසි වනාන්තර සහ එහි වෙසෙන සියලුම සත්ත්වයන් පිළිබඳ ලෝකය දැනුවත් කිරීම උදෙසා ජුනි මස 22 වැනි දිනට ලෝක වැසි වනාන්තර දිනය නම් කර තිබේ. 2023 වර්ෂය සඳහා ලෝක වැසි වනාන්තර දිනයේ තේමාව ලෙසින් හඳුන්වා දී ඇත්තේ "සංරක්ෂණය, ප්‍රතිස්ථාපනය, ප්‍රතිජනනය " යන්නයි.

වැසි වනාන්තර යනු ඉතා ඉහළ වර්ෂාපතනයක් සහිත පරිසර පද්ධතියක් වන අතර වාර්ෂික වර්ෂාපතනය 2,000 mm - 10,000 mm ක් දක්වා අගයක් ගනී. එසේම උෂ්ණත්වය 20°C - 25°C අතර ප්‍රමාණයක් පවතී. තුරුලතා සහ සතා සිවුපාවුන් ඇතුළු ජීවයේ ම පැවැත්ම තහවුරු වී ඇත්තේ වැසි වනාන්තර මතයි. නමුත් වැසි වනාන්තර වලින් පෘථිවියේ ආවරණය වී ඇත්තේ 6% ක් පමණ වූ ඉතාමත් කුඩා කොටසකි. විවිධ වූ ශාක වර්ග, පක්ෂීන්, මත්ස්‍යයන්, උරගයින්, ක්ෂීරපායින් ආදී විවිධ වූ සත්ව විශේෂ දහස් ගණනකින් වැසි වනාන්තරයක් යුක්ත වේ.

ලෝක වැසි වනාන්තර දිනය පිළිබඳව අවධානය යොමු කිරීමේදී මෙය ඇමෙරිකාවේ ටෙක්සාස්හි පිහිටි වැසි "වනාන්තර හවුල්කාරීත්වය" නම් ආයතනය මූලිකත්වය ගෙන ‍ප්‍රථම වරට 2017 ජුනි මස 22 දින ලෝක වැසි වනාන්තර දිනය ලෙස නම් කරනු ලැබීය. එතැන් සිට සෑම වර්ෂයකම බොහෝ රටවල් වැසි වනාන්තර දිනය සැමරීම සිදු කරනු ලැබේ. එමගින් දෛනිකව විනාශයට පත්වන්නා වූ ශාක විශේෂ ආරක්ෂා කර ගැනීම, විවිධ වූ ජෛව පද්ධති සුරැකීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ආදිය සෑම වසරකටම පොදු වූ තේමාවක් මුල් කර ගනිමින් සැමරීම සිදු කරනු ලබයි.

වැසි වනාන්තර, නිවර්තන වැසි වනාන්තර සහ සෞම්‍ය කලාපීය වැසි වනාන්තර ලෙස ප්‍රධාන කොටස් දෙකකට බෙදා දැක්විය හැකිය. නිවර්තන වැසි වනාන්තර සමකයට ආසන්නයෙන් පිහිටා ඇති වනාන්තර වර්ගයක් වන අතර මෙය ප්‍රමාණයෙන් ඉතා විශාල වනාන්තර වර්ගයකි. මෙයට හොඳම උදාහරණය ලොව විශාලතම වැසි වනාන්තරය වන ඇමසන් වනාන්තරයයි. එසේම ලංකාවේ නිවර්තන වැසි වනාන්තර වලට උදාහරණ කිහිපයක් ලෙස සිංහරාජ වනාන්තරය, නකල්ස් කඳුවැටිය ආදිය හඳුනාගත හැකිය. සෞම්‍ය කලාපීය වැසි වනාන්තර සාපේක්ෂව කුඩා වපසරියකින් යුක්ත වේ. විශේෂයෙන් වෙරළබඩ කලාපයේ සහ ශීත දේශගුණයක් පවතින කලාප වල පිහිටා ඇත.

ලෝකයේ පවතින ප්‍රධාන වැසි වනාන්තර ලෙස ,

> ඇමසන් වැසි වනාන්තරය (Amazon rainforest)
> කොංගෝ වැසි වනාන්තරය (Congo rainforest)
> ඩේන්ට්‍රි වැසි වනාන්තරය (Daintree rainforest)
> ගිණිකොන දිග ආසියානු වැසි වනාන්තරය (Southeast Asian rainforest)

දැක්විය හැකිය.
වැසි වනාන්තර සොබාදම් මාතාවට කරනු ලබන සේවය වචනවලින් විස්තර කළ නොහැක. ඒ අනුව,

> මුළු ජීවයටම අවශ්‍ය පිරිසිදු පානීය ජලය සැපයීම.
> සත්ත්ව විශේෂ ගණනාවකට අවශ්‍ය වන්නා වූ වාසස්ථාන සැපයීම.
> වායුගෝලයේ පවතින කාබන්ඩයොක්සයිඩ් ඇතුළු අහිතකර වායූ වර්ග අවශෝෂණය කරගනිමින් ඔක්සිජන් වායුව මුදාහැරීම.
> දේශගුණික සමතුලිතතාවය ආරක්ෂා කර ගැනීම.
> ආහාර සහ දුර්ලභ වූ ඖෂධ රැසක් ලබාදීම ආදිය ඉන් කිහිපයකි.

කෙසේ නමුත් දිනෙන් දින ඉහළ යන්නා වූ අයහපත් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් සොබාදම් මාතාව විනාශයට පත් වෙමින් පවතී. මෙහි අහිතකර ප්‍රතිඵල වැසි වනාන්තරවලට ද ඉමහත් බලපෑමක් ඇති කරයි. වැසි වනාන්තර අතරින් ප්‍රකට සහ ඉමහත් සේවයක් කරන්නාවූ වනාන්තරයක් ලෙස ඇමසන් වනාන්තරය හඳුනා ගත හැකිය.

නමුත් වර්තමානයේ මෙහි ඇති ශාක හා සත්ව විශේෂයන්ගේ ජාන විකිණීම සිදු කිරීම සඳහා වටිනා වූ ශාක විනාශ කිරීම ඉතා තර්ජනයක් වී ඇත. එසේම වනාන්තර එළි කිරීම, අවිධිමත් කසල බැහැර කිරීම්, අනවසර ඉදිකිරීම් හේතුවෙන් ජෛව විවිධත්වය හායනයට ලක් වී ඇත. මෙවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් වාර්ෂිකව හෙක්ටයාර මිලියන හයකට ආසන්න ප්‍රමාණයක් ලෝකයේ විනාශයට ලක්වන බව වාර්තා වේ.

එසේ නම් අප කළ යුත්තේ අපගේ හුස්ම රැක ගැනීම වෙනුවෙන් හෝ හැකි උපරිමයෙන් සොබාදම් මාතාව ආරක්ෂා කරමින් පරිසරය සුරැකීමට එකදු උත්සාහයක් හෝ ගැනීමයි; මිනිසුන්ට සේම ගහටකොළට, සත්ත්වයන්ට නිදහසේ ජීවත්වීමට අවැසි ඉඩකඩ ලබාදීමයි; පරිසරය සංරක්ෂණය කිරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සඳහා හැකි පමණින් දායක වීම මෙන්ම ජෛව විවිධත්වයේ පාරාදීසයක් කැටි කරගත් වැසි වනාන්තර ආරක්ෂා කිරීමට කටයුතු කිරීමයි.


සටහන: චමල්කා සඳමාලි
21 කණ්ඩායම
තොරතුරු තාක්ෂණ පීඨය










605 0
Created : Jun 23, 2023 09:39am
Last updated : May 3, 2024 08:16pm