Loading

Loading...

රාවණා රජුගේ දොළොස්බාගේ යකඩ කම්මල සොයා

2024 නව අවුරුද්දක ආරම්භය, සුන්දර කඳු තරණයකින් සනිටුහන් කරමින් මෙවර Mora Hiking Club කඳු තරණය සඳහා තෝරාගෙන තිබුණේ දොළොස්බාගේ ඉතාමත් අලංකාර පෞරාණික වස්තු විෂයකට උරුමකම් කියන්නා වූ රාස්සාගල කන්දයි.මෙය කිණිහිරිගල, කිණිහිරි කන්ද, වංගෙඩි මෝල්ගස් කන්ද ආදී නම් වලින් ද හඳුන්වයි.ශ්‍රී ලංකාවේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ දොළොස්බාගේ පිහිටා ඇති කඳු පන්ති අතරින් උස අනුව දෙවැනි තැන ගන්නා රාස්සාගල කන්ද උසින් 1438 m ක් පමණ වේ.දොළොස්බාගේ සිට ගම්පොළ මාර්ගයේ 3km ක් පමණ පැමිණි විට තේ කර්මාන්ත ශාලාවක් හමුවේ. එතැන් සිට පවතින මාර්ගයේ තේ වතු මැදින් රාස්සාගල කඳු පාමුලට ළඟාවීමට හැකිය.


කඳු තරණය සඳහා විශ්වවිද්‍යාලය අසළින් පිටත්ව යන සියලු දෙනාම බස් රථයට නැගීමෙන් අනතුරුව උදෑසන 3.30 ට පමණ ගමන ආරම්භ කළ අපි උදෑසන 7.30 ට පමණ උදෑසන ආහාර ගත්තෙමු.උදෑසන 11.00 ට පමණ කන්ද පාමුලට ළඟා වී,කන්ද නැගීම සඳහා සූදානම් වුණෙමු.එහිදී පෙර කඳු තරණයන් සේම සාමාජිකයන් 50 කට ආසන්න පිරිසක් සිටි කණ්ඩායම, රාස්සගල කන්ද පිළිබඳව දැනුවත් කිරීම, තම ආරක්‍ෂාව සලසා ගන්නා ආකාරය, හදිසි අවස්ථාවකදී පිළිපැදිය යුතු දේවල් ආදී කඳු තරණය කරන්නෙකුට අවශ්‍ය උපදෙස් සමූහයකින් දැනුවත් කෙරිණි.ඉන් පසුව පැවැත්වූ සුළු ශාරීරික ව්‍යායාම් මාලාව කඳු තරණය පහසු කිරීමට උපකාරී විය .


කඳු තරණයේ මුල් අදියරය පැහැදිලි මාර්ගයකින් ගමන් කිරීමට හැකියාව ලැබුණත් වනාන්තරයට ඇතුළුවනවාත් සමඟම පිහිටා ඇති මංමුලා වැල් කඳු තරණය සමහර තැනක වෙනස් කිරීමට උත්සාහයක් ගැනීම තරමක් දුරට අභියෝගාත්මක විය. සමහර තැනක සිතියම් කියවීම ඔස්සේ ගමන් කිරීම මාර්ගයේ අතරමන් වීම වළක්වා ගැනීමට උපකාරි විය.රාස්සාගල කඳු පන්තිය නැගීමේදී අභියෝග ලෙස විශේෂයෙන්ම දැකගැනීමට හැකි වූයේ ලිස්සන සුළු පාරවල්,සීත දේශගුණය,වර්ෂාපතනය වැනි කාලගුණික තත්ත්වයන්ට මුහුණ දෙමින් ගමන් කිරීමයි.දේශගුණික තත්ත්වයන්ට අමතරව රාස්සාගල කඳු තරණයේදී කූඩැල්ලන් ද අභියෝගයක් විය.එය යම්තාක් දුරට ගමන ප්‍රමාද වීමක් සිදු කළද, කූඩැල්ලන්ගෙන් ආරක්ෂාවීම සඳහා Leech socks පැළැඳ යාම වටී. ලිස්සන සුළු මාර්ගයන් ඔස්සේ ගමන් කිරීමේ දී කඹයක් ආධාර කර ගනිමින් ගමන් කිරීම කඳු තරණයේ ත්‍රාසජනක අත්දැකීමක් විය. කෙසේ නමුත් සියලු දෙනාගේ එකමුතුකම අනෙක් කඳු තරණයන් සේම මෙහිදී ද දැකගැනීමට හැකි විය.

රාස්සාගල කන්ද ඓතිහාසික කතා පුවත් රැසකින් සමන්විතය. විශේෂයෙන් රාවණා රජු වටා මෙම කන්ද නිර්මාණය වී ඇත.අතීතයේදී රාවණ රජු මෙම කන්දේ යකඩ වැඩපළක් පවත්වාගෙන ගොස් ඇති බව ජනප්‍රවාදවල සඳහන් වේ .

එසේම යම් සිදුවීමකින් මෙම යකඩ කම්මල ගිනිබත් වූ බවත් එහි තිබූ යකඩ මෙහිදී දැකගැනීමට හැකි ගල් බවට පත් වූ බවත් ජනප්‍රවාදවල සඳහන් වේ.නැගුණු ගින්නෙන් හටගත් අළු සුළඟට ගසාගෙන ගොස් එම ප්‍රදේශයේම පවතින ගමකට වැටී ඇති බවත් අළු වැටුණු නිසාවෙන් එය අළුගොල්ල නමින් ප්‍රසිද්ධියට පත් වූ බවත් සඳහන් වේ. රාස්සාගල කන්දේ සමහර ගල්වල සෙල්ලිපි දැක ගැනීමටත් හැකියාව ඇත.අතීතයේදී රාවණා රජතුමා සීතා කුමරිය සැඟවීමට කන්ද භාවිතා කළ බව ද ජනප්‍රවාද වල සඳහන් වේ.

සාමාන්‍ය කාලගුණික තත්ත්වයන් ඔස්සේ, කඳු තරණය අතරතුරදී ජල පිපාසය නිවාලීමට ස්වභාවික ජල දහරාවන්ගෙන් ගමන් මාර්ගය සමන්විතය. එසේම සොබා දහමේ තුරුලතා, ලිස්සන සුළු මාර්ගයන් ඔස්සේ ගමන් කිරීමේදී අත්වාරුවක් සපයයි.රාස්සාගල කන්ද මුදුනට ගිය කල කෑගල්ල,මාවනැල්ල අවට කඳු පන්ති, මොණරගල, අලගල්ල,අම්බුළුවාවේ ඉහළ කොටස,කබරගල ආදිය දැක ගැනීමට හැකියි.කෙසේ නමුත් මේ සියල්ලම දැකගැනීමට හැකියාව ලැබෙන්නේ මීදුම තරමක් පහව ගිය පසුවය. නොයෙකුත් අභියෝග මැදින් දහවල් 3.30 පමණ වන විට කඳු මුදුනට ළඟාවීමට අපි සියලු දෙනාටම හැකියාව ලැබුණි. එහිදී දහවල් ආහාරය ලබාගත් අප සැවොම ඡායාරූප ගනිමින් කඳු මුදුනේ සුන්දරත්වය විඳගැනීමට කටයුතු කළේ ගමන් මහන්සිය ද අමතක කරමිනි. ඉන් පසුව සෑම කදු තරණයකදීම පාහේ Mora hiking Club මගින් සංවිධානය කරන ගමන සුන්දරත්වය විඳගැනීම පමණක් නොව දැනුමත් බෙදා ගැනීමට ද තෝතැන්නක් කරමින්, ප්‍රශ්න සහ ඒ සඳහා නිවැරැදි පිළිතුර ලබාදෙන මිතුර මිතුරියන්ට රසවත් ත්‍යාග ලබාදෙමින් කඳු තරණය අමතක නොවන මතකයක් බවට පත් කළේය.

ශ්‍රී ලංකාවේ සුන්දර ස්ථාන රැකගැනීම නිසැකවම අපි සතු වගකීමකි. මන්දයත් මෙවැනි කඳු තරණයකට හෝ අපිට ගමන් කළ හැක්කේ අපේ අතීත මිනිසුන් මෙම පරිසරය ආරක්ෂා කළ නිසාවෙනි. කෙසේ නමුත් කඳු මුදුනේ ගල් වල එහි ගිය මිනිසුන් විසින් විවිධ දේ ලියා තිබීම සහ ඒ අවට පරිසරය පොලිතින් වලින් අපවිත්‍ර වී ඇති බව සමහර තැනක දැක ගැනීමට හැකිවීම කණගාටුදායක සිදුවීමකි. කෙසේ නමුත් Mora Hiking Club සාමාජිකයන් ලෙස කිසිවිටෙක එම පරිසරය අපවිත්‍ර නොකොට පැමිණීමට අපි වගබලා ගත්තෙමු.


කඳු මුදුනේ සුන්දරත්වය විඳගැනීමෙන් අනතුරුව නැවතත් කඳු පාමුලට පැමිණීමේ බලාපොරොත්තුව ඇතිව ගමන ආරම්භ කළ අපි වර්ෂාපතනය බලපෑමක් කළද එය නොතකමින් සියලු දෙනාම ඉතාමත් පරිස්සමෙන් රාත්‍රී 7.00 පමණ වන විට කඳු පාමුලට ළඟාවීමට හැකියාව ලැබුණි. ඉන්පසුව අපි සියලු දෙනාම ගමන් විඩාව නිවා ගනිමින් නැවතත් බස් රථයට නැඟ විශ්ව විද්‍යාලය අසලට උදෑසන 4.30 පමණ වන විට ළඟා වුණෙමු. ඒ අනුව ඉතාමත් සුන්දර ,ඓතිහාසික කතා පුවත් රැසක අත්දැකීම ලබාගනිමින් තවත් එක් කඳු තරණයක් Mora Hiking Club මතක පිටුවට එක් කිරීමට හැකියාව ලැබුණි.


සටහන:
චමල්කා සදමාලි
තොරතුරු තාක්ෂණ පීඨය
21 කණ්ඩායම

258 0
Created : Jan 27, 2024 04:21pm
Last updated : May 2, 2024 02:09am