Loading

Loading...

Explore the World | Episode 02 | 10 Most Deadliest Mountains in the World

ඔබත් කඳු නැගීමේ සුන්දරත්වය වසාගෙන සිටින ත්‍රාසජනකත්වය විඳීමට කැමති අයෙක්ද?
එසේනම් ඔබ තරණය කළයුතුම, අභියෝගාත්මකම ලොව වඩාත්ම මාරාන්තික කඳු දහය පිළිබඳව සොයා බලමු.

..

01. Annapurna (අන්නාපූර්ණ)

..

..

මුහුදු මට්ටමේ සිට 8091m (අඩි 26545) ක් උසින් පිහිටි අන්නපූර්ණ ලොව දහවන උසම කන්ද වේ. අන්නපූර්ණ කඳුවැටියේ මීටර් 7,200 (අඩි 23,620) උන්නතාංශයට වඩා වැඩි කඳු මුදුන් හයක් අඩංගු වේ. නේපාලයේ සංචාරකයින්ගෙන් තුනෙන් දෙකක් පමණ අන්නපූර්ණ කලාපයට පැමිණෙන්නේ ප්‍රවේශ වීම පහසු බැවිනි. අන්නපූර්ණ, උතුරු-මැද නේපාලයේ අන්නපූර්ණ කඳු පන්තියට අයත් කන්දක් වේ. මොරිස් හර්සොග් විසින් 1950 දී උතුරු මුහුණත හරහා එහි කඳු මුදුනට ප්‍රංශ ගවේෂණයක් මෙහෙයවූ අතර , එය එතෙක් සාර්ථකව තරණය කළ පළමු මීටර් අටදහසේ කඳු මුදුන බවට පත් විය. ඔහු Louus Lachenal සමග ජූනි 3 වෙනිදා ඉහළම ස්ථානයට ළඟා වී ඇත.
වසර් ගණනාවක් තිස්සේ සියලුම ප්‍රධාන අටදහස් කඳු මුදුන් අතරින් ඉහළම මරණ අනුපාතය අන්නපූර්ණ තරණයෙන් වා‍ර්තා වේ. 2014 ඔක්තෝම්බර් මාසයේදී නේපාලය, ඊශ්‍රායලය, කැනඩාව, ඉන්දියාව, ස්ලෝවැකියාව සහ පෝලන්තය යන රටවල කඳු නගින්නන් ද ඇතුළුව, අන්නපූර්ණ සහ ඒ අවට හිම කුණාටු හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 43 දෙනෙකු මිය ගිය අතර 175 දෙනෙකු පමණ තුවාල ලැබූහ. පුද්ගලයන් 10 ත් 50 ත් අතර සංඛ්‍යාවක් අතුරුදන්ව ඇතැයි සැලකේ. නේපාලයේ මෙතෙක් සිදු වූ දරුණුතම කඳු නැගීමේ ව්‍යසනය එය විය.
කෙසේ වෙතත්, එය මෑත වසරවල විශාල කඳු නැගීමේ සාර්ථකත්වයක් අත්කර ගෙන ඇති අතර මරණ අනුපාතය 2012 සිට 2022 දක්වා 32% සිට 20% දක්වා පහත වැටී ඇත. හිම කුණාටු අවදානම, අනපේක්ෂිත කාලගුණය සහ එහි කඳු නැගීමේ මාර්ගවල ඇති අතිශයින්ම බෑවුම් ස්වභාවය හේතුවෙන් කඳු නගින්නන්ට බරපතල තර්ජන එල්ල වේ. විශේෂයෙන් එහි මීටර් 3,000 (අඩි 9,800) දකුණු මුහුණත, ලෝකයේ වඩාත්ම දුෂ්කර කඳු නැගීම් වලින් එකක් ලෙස ප්‍රසිද්ධය. 2022 වන විට පුද්ගලයින් 365 දෙනෙකු අන්නපූර්ණ I කඳු මුදුනට ළඟා වී ඇති අතර එම උත්සාහයේදී 72 දෙනෙකු මිය ගොස් ඇත. 1970 දී ඩොන් විලින්ස් සහ ඩගල් හැස්ටන් විසින් ප්‍රථම වරට අන්නපූර්නණ හි දකුණු මුහුණත තරණය කළේ ඔක්සිජන් භාවිතා නොකර වීම විශේෂ වේ.

..

02. K2

..

..

මෙම කඳු මුදුන භයානක බවින් දෙවැනි වන්නේ එවරස්ට් කඳු මුදුනට පමණි. මුහුදු මට්ටමේ සිට 8611m (අඩි 28251) උසින් යුතු පෘථිවියේ දෙවන උසම කන්ද K2 වේ. මෙම කන්ද පිහිටා ඇත්තේ කරකෝරම් කඳුුවැටියේ, අර්ධ වශ‍යෙන් පකිස්තාන පාලිත කාශ්මීරයේ ගිල්ගිට් බල්ටිස්තාන් ප්‍රදේශයේ සහ අර්ධවශයෙන් සින්ජෑන් හී ටැක්ස්කෝර්ගම් ටජිග් ස්වයං පාලන ප්‍රාන්තයේ ඇතුළත් කාශ්මීර කලාපයේ චීනයේ පාලිත ප්‍රදේශයකය. The king of mountain, the mountain of mountain සහ the mountaineers mountain යන අන්වර්ථ නාම වලින් ද K2 තරණයෙහි ඇති භයානක බව පසක් කරයි.

..

..

1953 ජෝජ් බේල් නම් ඇමරිකානු ගවේෂණයේ කඳු නගින්නෙකු පැවසුවේ "එය ඔබව මරාදැමීමට උත්සාහ කරන ම්ලේච්ඡ කන්දක් " ලෙසය. එසේ පැවසීමෙන් පසුව K2 “Savage mountain” ලෙසද ජනප්‍රිය විය. 1954 දී ardito desio විසින් මෙහෙයවන ලද ඉතාලි ගවේෂණයේදි ඉතාලි කඳු නගින්නන් වන ලීනෝ lacedelli සහ achille compagnoni ප්‍රථමවරට මෙම කඳු මුදුනට ළඟා විය. මෙම කන්ද 1856 දී ඉන්දියාවේ කර්නල් T. G. Montgomari විසින් නම් කරන ලද අතර එය කරකෝරම් කඳුවැටියේ මනින ලද දෙවන කඳු මුදුන වූ බැවින් එයට “K2” යන නාමය ලබා දී ඇත.
සාමාන්‍යයෙන් වසරේ උණුසුම්ම කාලයක් වන ජූලි සහ අගෝස්තු මාස වලදී K2 තරණය කිරීම සිදු කරයි. K2 වඩාත් දුෂ්කර සහ භයානක කදු තරණයක් වන අතර එහි අයහපත් කාළගුණය හේතුවෙන් 2021 පෙබරවාරි වන විට K2 හි මුදුනට නැගීම සම්පූර්ණ කර ඇත්තේ පුද්ගලයන් 377ක් පමණී. කඳු නැගීමේ උත්සාහයේදී මරණ 91ක් සිදු වී ඇත. කඳු මුදුනට ළඟාවන සෑම හතරදෙනෙකුටම ආසන්න වශයෙන් එක් පුද්ගලයෙකු කන්ද මතදී මිය යයි. එසේ මිය යෑමට තරම් මෙම කඳු තරණය මාරාන්තික වේ.

..

03. Nanga purbath (නංග පර්බත්)

..

..

මුහුදු මට්ටමේ සිට 8123m ( අඩි 26660 ) උස මෙම කන්ද පෘථිවියේ නවවන උසම කන්ද වේ. කාශ්මීරයේ ගිල්ගිට් -බල්ටිස්තාන් ප්‍රදේශයේ ඉන්දු ගඟේ උතුරු දෙසින් පිහිටා ඇති නන්ගා පර්බත් යනු හිමාලයේ බටහිර දෙසින් පිහිටි ප්‍රධාන කඳු මුදුන යි. Nanga parbat යන්න හින්දු භාෂාවෙන් " නිරුවත් කන්ද " යනුවෙන් අදහස් වන අතර එය කඳුකරයේ දකුණු මුහුණතෙහි ඇති පාෂාණ කොටස් වලට අදාළ වේ. උතුරු මුහුණත ද ඒ හා සමානව බිය උපදවන සුලුය. දකුණු මුහුණතෙහි ප්‍රපාතාකාර පාෂාණ හා අයිස් මෙන් නොව, හිම සහිත උතුරු මුහුණත කන්දේ පළල තෙක් විහිදෙන පුළුල් අයිස් බාධකයක් (seracs) මගින් ආරක්ෂා වී ඇත.
20 වන ශතවර්ෂයේ මුල් හා මැද භාගයේ සිදු වූ කඳු නැගිමේ මරණ ගණනාවක් හේතුවෙන් එම කන්දට "ඝාතක කන්ද" යන අන්වර්ථ නාමය ලබා දී ඇත. නංග පර්බත් වෙත පළමු ජර්මානු ගවේෂණය 1932 දී විලී මර්කල් විසින් මෙහෙයවන ලදී. එහි කඳු නගින්නන් අට දෙනා අතරට ඇමෙරිකන් පුරවැසියෙකු වන Rand Herron සහ Fritz Wiessner ඇතුළත් වූ බැවින්, එය සමහර අවස්ථා වලදී ජර්මානු-ඇමරිකානු ගවේෂණයක් ලෙස ද හැඳින්වේ.

..

..

ජර්මානු-ඔස්ට්‍රියානු කණ්ඩායමක සාමාජිකයෙකු වූ ඔස්ට්‍රියානු කඳු නගින්නෙකු වන හර්මන් බුල් විසින් ජර්මානු-ඔස්ට්‍රියානු නංගා පර්බත් ගවේෂණයේදී 1953 ජූලි 3 වන දින රඛියොට් ෆ්ලෑන්ක් (නැගෙනහිර රිජ්) හරහා නංගා පර්බත් ප්‍රථම වරට තරණය කරන ලදී. 1984 දී ප්‍රංශ කඳු නගින්නෙකු වන ලිලියාන් බැරාඩ් ඇගේ සැමියා වන මොරිස් බැරාඩ් සමඟ නන්ගා පර්බාත් තරණය කළ පළමු කාන්තාව බවට පත්විය. වෙනත් කදු මුදුන් මෙන් එකිනෙක හා එක්ව ස්ථානගත නොවූ මෙම කදු මුදුන වෙන්ව පවතී. එමෙන්ම සිරස් බෑවුමක් සහිත වීම එනම් පෘථිවියේ විශාලතම කඳු මුහුණත වීම මෙම කන්දේ මාරාන්තික බව තව තවත් වැඩි කිරීමට සමත්වේ. මෙහි මරණ අනුපාතිකය 22.3% වේ.

..

04. Kanchenjunga (කන්චෙන්ජුන්ගා)

..

..

හිමාලයේ 8586m ( අඩි 28169 ) උසක පිහිටා ඇති මෙම කඳු මුදුන ලොව තුන්වන උසම කඳු මුදුනයි. බටහිරින් තමූර් ගඟින්, උතුරින් ලොනක් චූ සහ ජොංසාං යන ගංඟාවන්ගෙන් ද, නැගෙනහිරින් ටීස්ටා ගඟෙන්ද මායිම්ව කන්චෙන්ජුන්ගා පිහිටා ඇත. 1852 වන තෙක් ලොව උසම කන්ද ලෙස කන්චෙන්ජුන්ගා කන්ද උපකල්පනය කලද, 1849 ඉන්දියාවේ මහා ත්‍රිකෝණමිතික සමීක්ෂණය විසින් කරන ලද ගණනය කිරීම් වලින් එවරස්ට් කඳු මුදුන වඩාත් උස බව නිගමනය කර ඇත.
බ්‍රිතාන්‍ය කන්චෙන්ජුන්ගා ගවේෂණයේ කොටස්කරුවන් වූ ජෝ බ්‍රවුන් සහ ජෝජ් බෑන්ඩ් විසින් 1955 මැයි 25 දින ප්‍රථම වරට කන්චෙන්ජුන්ගා තරණය කරන ලදී. නේපාලයේ දුරස්ථ පිහිටීම සහ ඉන්දියාවෙන් එයට ප්‍රවේශ වීමට ඇති දුෂ්කරතා නිසා, කන්චෙන්ජුන්ගා කලාපය කඳු තරණය කරන්නන් විසින් එතරම් ගවේශණය නොකෙරේ.

..

..

සිකිම්හි ද, කන්චෙන්ජුන්ගා කලාපයට ගමන් කිරීමට මෑතදී අවසර ලබා දී ඇත. හිමාල කඳුවැටියේ ගමන් මාර්ගයක් වන Goecha La ගමන් මාර්ගය ද සංචාරකයින් අතර ජනප්‍රිය වෙමින් පවතී. එය කන්චෙන්ජුන්ගා හි දැවැන්ත ගිනිකොණ දෙසින් පිහිටි Goecha La Pass වෙත යයි. එක්සත් ජනපදයේ විස්කොන්සින් හි ග්‍රීන් ලේක් ප්‍රාන්තයේ පිහිටි නගරයක් වන ග්‍රීන් ලේක් බේසින් හරහා තවත් ගමන් මාර්ගයක් මෑතකදී කඳු නැගීම සඳහා විවෘත කර ඇත. මෙම ගමන සුප්‍රසිද්ධ සෙමු ග්ලැසියරය ඔස්සේ කන්චෙන්ජුංගා හි ඊසාන දෙසට ගමන් කරයි. කන්චෙන්ජුන්ගා කඳු මුදුන යෝධ කුරුසයක ස්වරූපයෙන් පිහිටා ඇති අතර, එහි හතර කොණ උතුර, දකුණ, නැගෙනහිර සහ බටහිර දෙසට විහිදේ. ගිම්හාන මෝසම් සමයේදී කඳුකරයට සහ එහි ග්ලැසියරවලට අධික හිම වැටෙන අතර ශීත ඍතුවේ දී සැහැල්ලු හිම පතනයක් ලැබේ. තනි කඳු මුදුන් ප්‍රධාන කඳු වැටි හතරකින් අසල්වැසි කඳු මුදුන් වලට සම්බන්ධ වන අතර, එයින් ග්ලැසියර හතරක් ගලා යයි. මෙම කඳු නැගීම වඩාත් මාරාන්තික කඳු නැගීමක් වේ. එනම් 1955 දී සිදූ වූ සාර්ථක කඳු තරණයට පෙර බොහෝ දෙනෙක් මෙම භයානක කන්ද තරණය කිරීමට උත්සාහ කළ නමුත් එම උත්සාහයන් අසාර්ථක වෙමින් බොහෝ පිරිසක් මිය ගියහ. මෙම කන්දේ පළමු මරණය සිදු වූයේ 1905 දී ෂර්පා සහ ස්විට්සර්ලන්ත කඳු නගින්නෙකු වූ ඇලෙක්සිස් පචේ, හිම කුණාටුවකින් මියගිය විට ය. මෙම කන්ද නැගීමේදී ද සිදූ වන මරණ ප්‍රමාණය 22% ක අගයක් ගනී. එයට හේතුවනම් මෙම කඳු මුදුන තුළ ද විවිධ දේශගුණික රටාවන් දක්නට ලැබීමයි. විවිධ හදිසි කාළගුණික තත්ත්ව යටතේ සිදුවන හිම කුණාටු තත්ත්වයන්, ගල් පෙරලීම් මේ අතර ප්‍රධාන ව්‍යසනයන් වේ.

..

05. Daulagiri (ධෞලගිරි)

..

..

මුහුදු මට්ටමේ සිට මීටර් 8,167 (අඩි 26,795) උස මෙම කන්ද ලෝකයේ හත්වන උසම කන්ද වන අතර, ගන්දකී ගංගා ද්‍රෝණියේ උසම ස්ථානය ද, තනි රටක (නේපාලයේ) මායිම් තුළ ඇති උසම කන්ද ද වේ . 1960 මැයි 13 වන දින ස්විට්සර්ලන්ත-ඔස්ට්‍රියානු-නේපාල ගවේෂණ කණ්ඩායමක් විසින් එය ප්‍රථම වරට තරණය කරන ලදී. අන්නපූර්ණ I කඳුකරය පිහිටා ඇත්තේ (මීටර් 8,091 (අඩි 26,545)) ධෞලගිරි සිට නැගෙනහිරින් කිලෝමීටර් 34 (සැතපුම් 21) දුරකිනි. ලෝකයේ ගැඹුරුම ගංගාව යැයි කියනු ලබන කාලිගන්දකී ගිරි දුර්ගයේ කාලි ගන්දකී ගංගාව මේ දෙක මැදින් ගලා යයි. පැහැදිලි කාළගුණික රටාවක් තුළ දී ධෟෙලගිරියේ උතුරු බිහාරි සිට උතුරු ප්‍රදේශයෙහි ගෝරක්පූර් දක්වා පැහැදිලිව දැකබලා ගැනීමට හැකිවේ. 1808 දී, සමීක්ෂණ ගණනය කිරීම් පෙන්නුම් කළේ එය එතෙක් සමීක්ෂණය කර ඇති උසම කන්ද බවයි. බොහෝ තරණයන් ඊසානදිග මාර්ගය අනුගමනය කර ඇත, නමුත් බොහෝ දිශා වලින් කඳු නැගීම සිදුකර ඇත. 2007 වන විට, සාර්ථක නැගීම් 358 ක් සහ මරණ 58 ක් සිදු වී ඇති අතර, එය 16.2% ක මරණ අනුපාතයක් ලෙස සඳහන් වේ. ඒ සඳහා ප්‍රබල වශයෙන් ඇති වන හිම කුණාටු මෙන්ම මුල් මීටර් 8000න් පසු දැඩි ලෙස අඩුවන ඔක්සිජන් මට්ටම ද බලපායි.

..

..

06. Everest (එවරස්ට්)

..

නේපාලයේ එවරස්ට් කන්ද තරණය කිරීම මුළු ලෝකයේම කඳු නැගීමේ ක්ෂේත්‍රයේ මිනුම් ලකුණක් බව ප්‍රකට කරුණකි. එවරස්ට් කන්ද යනු හිමාලයා කදු වැටියේ පිහිටි උසම කදු මුදුන වේ. චීන-නේපාල දේශසීමා මෙම කඳු මුදුන හරහා දිව යයි. පෘථිවියේ උසම ස්ථානය ලෙස නම් ලද මෙම කදු මුදුන මුහුදු මට්ටමේ සිට මීටර් 8849m (අඩි 29032 ) උසින් පිහිටා ඇත. 19 වන ශතවර්ෂයේ විසූ, ඉන්දීයාවේ හිටපු සර්වෙයර් ජෙනරාල් වරයෙකු වූ ජෝජ් එවරස්ට්ගේ නමින් “එවරස්ට්” යන නාමය සෑදී ඇත.
නවසීලන්ත කඳු නගින්නෙකු වූ එඩ්මන්ඩ් හිලර් එවරස්ට් තරණයෙහි ප්‍රථම වාර්තාගත පුද්ගලයා වේ. ඒ 1953 දීය. මෙම කඳුකරයේ බොහෝ නිම්න වල ශර්පා ජනතාව වාසය කරනු ලබන අතර ඔවුන් මාර්ගෝපදේශකයන් ලෙස කඳු නගින්නන් විසින් යොදාගැනේ. මොවුන්ගේ විශේෂත්වය නම් කඳු නැගීම සම්බන්ධව මොවුන් සතු විශාල අත්දැකීම් ප්‍රමාණයත්, මොවුන්ගේ ආධාර රහිතව මෙම කන්ද තරණ‍ය කිරීමට අපහසු වීමත්, මොවුන් අඩු ඔක්සිජන් මට්ටමකට හුරු වී සිටීමත් වේ.
මෙම එවරස්ට් කඳු තරණය යනු කඳු පාමුල තම ජීවිතය උකසට තබා ගමන් කිරීමක් බඳුය. මේ සඳහා කඳු තරණයේ පළපුරුදු බව, හොඳ සෞඛ්‍ය තත්ත්වය, අවශ්‍ය උපකරණ මෙන්ම පුහුණු මාර්ගෝපදේශකයෙකු නිතැනින්ම අවශ්‍ය වේ. එවරස්ට් හි ප්‍රධාන කඳු නැගීමේ සමය සෑම වසරකම අප්‍රේල් සහ මැයි මාස වේ. කඳු නගින්නන් බහුල ලෙස දකුණු කෝල් (col) මාර්ගය හා ඊසානදිග රිජ් (Ridge) මාර්ගය හරහා කන්ද තරණය කිරීම සිදු කරයි. මුදුනට ගමන් කිරීමත් සමඟ ඉහළ උන්නතාංශය සහ ඔක්සිජන් මට්ටම අඩු වීම හේතුවෙන් එවරස්ට්හී උස 8000m සිට ඉහළ ප්‍රදේශය " මරණ කලාපය " ලෙස හැඳින්වීමට තරම් මාරාන්තික වේ. එම කලාපය තුල බොහෝ වේලා රැඳී සිටියහොත් උන්නතාංශ රෝග සහ මොලයේ ඉදිමීම් වැනි රෝග තත්ත්වයන්ට පවා ගොදුරු වේ. මෙම තත්වයන් හේතුවෙන් එවරස්ට් තරණය කරන බොහෝ දෙනා අමතර ඔක්සිජන් සැපයුමක් (Supplementary Oxygen) භාවිතා කරයි. එමෙන්ම මෙම මරණ කලාපය නිතරම පාහේ කඳු නගින්නන් ගැවසෙන බැවින් ජනාධික කලාපක් වේ. මෙම කඳු තරණයේ භයානක බව කොතරම්ද යත්, ඔබට එවරස්ට් කඳු තරණය අතරමගදී සැලකිය යුතු තරමේ මළ සිරුරු ප්‍රමාණයක් පසු කරමින් ගමන් කිරීමට සිදු වේ. ඒ කඳු නගින්නන් අතරමගදී මියගොස් ඇති නිසාත්, ඔවුන්ගේ සිරුරු ගොඩගැනීමට නොහැකි නිසාත්‍ ය.

..

..

එමෙන්ම සමහර මළ සිරුරු එවරස්ට් උතුරු ගමන් මාර්ගයේ මං සළකුණු ලෙසද භාවිතා කර ඇත. තවද කාලගුණික වෙනස් වීම මත මෙවැනි මළ සිරුරු ගමන් මාර්ගය දෙපසින් මතුවීමක් ද දක්නට ලැබේ. කන්ද නැගීමේදි බිම දිගාවෙමින් ගමන් කිරීමට ද සිදුවන අතර එහිදී මෙවැනි මළ සිරුරු හමු වීමෙන් කඳු නගින්නන් දැඩි ලෙස බියට පත් වී ඇති බවද වාර්තා වේ. "ලොව විශාලතම එළිමහන් සොහොන් බිම" ලෙස විරුධාවලිය ලැබීම තුළින්ම මෙහි ඇති මාරාන්තික බව මනාව අවබෝධ කරගත හැකිය. තවමත් හඳුනා නොගත් ප්‍රසිද්ධම මළ සිරුර ලෙස geen boots ගේ මළ සිරුර ප්‍රසිද්ධ විය. කඳු මුදුනට ළඟා වීමට ඇති දුර පිළිබඳව දැන ගැනීමට භාවිත කරන ලද දරුණු සළකුණක් ලෙසද මෙම සිරුර ඉවත් කිරීමට ප්‍රථම භාවිතා කර ඇති බවද වාර්තා වේ. එවරස්ට් කඳු තරණය සියලු කඳු නගින්නන්ගේ ආකර්ෂණයට පත් වුවද, කඳු මුදුනට ළඟා වීමේදී කඳු නගින්නන්ගෙන් 300කට අධික පිරිසක් තම ජීවිත වලින් සමුගෙන ඇති අතර මරණ අනුපාතිකය 14% වැනි ඉහළ අගයක් ගනු ලබයි. මෙම මරණ වලට මානව ක්‍රියාකාරකම් වලට අමතරව හිම කුණාටු ඇති වීම, හිම කුට්ටි කඩා වැටීම, වැනි ස්වාභාවික ක්‍රියාවලීන්ද හේතු වී ඇත. 2014 වසරේදී පුද්ගලයන් 16කට මරු කැදවමින් ඇති වූ අයිස් කඩාවැටීම මෙම ස්වාභාවික විපත් සිදුවන බවට ඇති ප්‍රබලම සාක්ෂියක් වේ.

..

07. Manaslu (මනස්ලු)

මුහුදු මට්ටමේ සිට මීටර් 8,163 (අඩි 26,781) උසින් පිහිටි ලෝකයේ අටවන උසම කන්ද වේ. එය නේපාලයේ බටහිර-මධ්‍යම කොටසේ නේපාල හිමාලයේ කොටසක් වන මන්සිරි හිමල් හි පිහිටා ඇත. මනස්ලු යන නමේ තේරුම "ආත්මයේ කන්ද" වන අතර මෙම කන්ද මුලින්ම තරණය කළේ 1956 මැයි 9 වෙනිදා ජපන් ගවේෂණ කණ්ඩායමක සාමාජිකයින් වන Toshio Imanishi සහ Gyalzen Norbu විසිනි. Manaslu යනු Gorkha දිස්ත්‍රික්කයේ උසම කඳු මුදුන වන අතර එය Annapurna සිට 64 km (40 mi) පමණ නැගෙනහිරින් පිහිටා ඇත.
මනස්ලු කන්ද තරණයට අමතරව, නේපාලයේ කඳු තරණය කරන්නන්ගේ කැපී පෙනෙන මාර්ගයක් වන මනස්ලු ගමන් මාර්ගයේ කොටසක් ලෙසද මෙම කඳුකර ප්‍රදේශයේ කඳු නැගීම ජනප්‍රිය වේ. ජාත්‍යන්තර වනෝද්‍යාන සහ වනජීවී සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශයට පත් කරන ලද මනස්ලු සංරක්ෂණ ප්‍රදේශය ව්‍යාපෘතිය (MCAP) 1997 දී පිහිටුවන ලද්දේ මනස්ලු ඇතුළු සීමා කළ ප්‍රදේශයේ සංරක්ෂණය සහ තිරසාර කළමනාකරණය සාක්ෂාත් කර ගැනීමේ මූලික අරමුණ ඇතිවය. මනස්ලු සංරක්ෂණ ප්‍රදේශය ලෙසද හැඳින්වෙන මෙම කලාපය උපනිවර්තන හිමාල කඳු පාමුල සිට ටිබෙටයට මායිම්ව ඇති ශුෂ්ක ට්‍රාන්ස්-හිමාලියානු උස් තණබිම් වලින් සමන්විත වේ. සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය මිලිමීටර් 1,900 (අඟල් 75) පමණ වේ. දේශගුණික කලාපය අනුව ප්‍රදේශයේ උෂ්ණත්වය ද පුළුල් ලෙස වෙනස් වේ. අනෙකුත් බොහෝ ප්‍රදේශ මෙන් නොව, මෙම මිටියාවත හිම දිවියන් සහ රතු පැන්ඩා ඇතුළු වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බොහෝ සතුන්ට අභයභූමියක් ද වේ. ප්‍රදේශයේ ප්‍රධාන වෘක්ෂලතා කාණ්ඩ තුනක් ද හඳුනාගෙන ඇත.

..

..

කඳු නැගීමේ මාර්ගය මෝසම් වර්ෂාපතනය, නාය යෑම් සහ ගල් කඩා වැටීම් වැනි අවදානම් වලට ගොදුරු විය හැකි කඳුකර ප්‍රදේශ හරහා වැටී තිබේ. මෙම කඳු තරණයේ දී ඇතිවන Hyposmia (ගඳ සුවඳ දැනීමේ හැකියාව සම්පූර්ණයෙන් නැති වීම නොව, ගඳ සුවද දැනීමේ හැකියාව අඩු වීම) සහ උන්නතාංශ අසනීප සාමාන්‍ය දෙයක් ලෙස සැලකෙන අතර එහි මරණ අනුපාතය 9.9%ක් වේ. මනස්ලු වෙත ගමන් කිරීම අපගේ දරාගැනීමේ ශක්තිය කෙබඳුද යන්න මැන බැලීම සඳහා වූ පරීක්ෂණයක් මෙනි.
ඔබ මනස්ලූ තරණය කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබ සතුව විශාල අත්දැකීම් ප්‍රමාණයක් මෙන්ම ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයක් තිබීම ද අතිශය වැදගත් වේ.

..

..

08. Mont blanc massif (මොන්ට් බ්ලන්ක් මැසිෆ්)

..

..

මොන්ට් බ්ලැන්ක් මැසිෆ් යනු ඇල්ප්ස් කඳු වැටියේ එක් කඳු පන්තියක් වන අතර එය වැඩි වශයෙන් ප්‍රංශයේ සහ ඉතාලියේ දේශසීමා හරහා විහිදී තිබුනද, ඊසානදිග කෙළවර ස්විස්ටර්ලන්තයේ පිහිටා ඇත. බටහිර යුරෝපය සහ යුරෝපීය සංගමය විසින් මොන්ට් බ්ලැන්ක් හී උස (මීටර් 4,808 (අඩි 15,774)) අනුව ඇල්ප්ස් කඳු වැටියේ ඇති ප්‍රධාන ස්වාධීන කඳු මුදුන් එකොළහේ උස ද, නිගමනය කර ඇත. මෙම මැසිෆ් හී මුදුන වැඩි වශයෙන් ග්‍රැනයිට් සහ ග්නයිස් (Gneiss) පාෂාණ වලින් සමන්විත වන අතර, ඉහළ උන්නතාංශයේ දී ආක්ටික්-ඇල්පයින් වෘක්ෂලතාදිය හමු වේ.
මොන්ට් බ්ලැන්ක් කඳු තරණයේ ආරම්භය සනිටුහන් කරමින් 1778 දී Jacques Balmat, Michel-Gabriel Paccard යන අයවලුන් විසින් මෙම කඳු පන්තිය තරණය කරන ලදී. මෙම කලාපය දැන් ප්‍රධාන සංචාරක ගමනාන්තයක් වන අතර වසරකට සංචාරකයින් මිලියන හයකට වඩා පැමිණේ. එමෙන්ම වසර 250 කට වැඩි කාලයක් පුරා දඩයම්කරුවන් සහ ඛනිජ නිදර්ශක සඳහා මැසිෆ් වැදගත් මූලාශ්‍රයක් වී ඇත. එය එළිමහන් විනෝදාස්වාදය සහ දර්ශන නැරඹීම, කඳු නැගීම වැනි ක්‍රියාකාරකම් සඳහා පුළුල් පරාසයක අවස්ථා සපයයි. රෝන් සහ පෝ යන ගංගාවන් අතර ජල පෝෂක ප්‍රදේශයේ පිහිටා ඇති මොන්ට් බ්ලැන්ක් කඳුකරය උතුරු සහ බටහිර ඇල්ප්ස් ද, දකුණු ඇල්ප්ස් කඳුකරයේ විවිධ දේශගුණික කලාප දෙක අතර ද පිහිටා ඇත.

මෙම කන්ද නැගීම සඳහා හොඳම කාලගුණය වන්නේ ජුනි අග සිට ඔක්තෝබර් මුල දක්වා කාලය වේ. නමුත් ඇල්ප්ස් කඳුකරයේ උසම කොටස වන මොන්ට් බ්ලැන්ක් කඳුකරයට තමන්ගේම කාලගුණ රටාවන් නිර්මාණය කළ හැකිය. මොන්ට් බ්ලැන්ක් කඳු මුදුන ස්ථිර අයිස් තට්ටුවකින් සැකසී ඇති අතර -20 °C පමණ උෂ්ණත්වයක් ඇත. මෙම කදුකරය දැඩි සුළං සහ හදිසි කාලගුණ වෙනස්වීම් වලටද ගොදුරු වේ. වර්ෂාපතනය වසරේ සෑම මාසයක් පුරා ම ඒකාකාරව බෙදී යන අතර, බොහෝ දුරට බටහිර වායු ප්‍රවාහයකින් ආරම්භ වේ. කෙසේ වෙතත්, උන්නතාංශය සමඟ වර්ෂාපතනයේ සැලකිය යුතු වෙනසක් ඇත. මොන්ට් බ්ලැන්ක් තරණයේදී ආසන්න වශයෙන් වසරකට මරණ සියයක් පමණ වාර්තා වන අතර, ඇතැම් අවස්ථා වලදී මළ සිරුරු දශක ගණනාවක් තිස්සේ එහි ග්ලැසියරවල තැන්පත්ව තිබී හමුවී ඇත. යුරෝපයේ වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වූ කදුකරය මෙයයි. කඳුවලට ප්‍රවේශ වීමට කේබල් කාර් , කඳුකර දුම්රිය මාර්ග තිබීම සහ කඳු නගින්නන්ට සහ හිම මත ලිස්සා යන්නන්ට තම රාත්‍රිය ගත කිරීම සදහා කඳුකරයේ ඇති පැල්පත් මගින් පහසුකම් සැපයීම විශේෂ වේ. මෙම කදුකරය තරණය කිරීම පහසු දිගු ඇවිදීමක් ලෙස මාර්ගෝපදේශක සංගම් විසින් පැවසුවද, මාරාන්තික කදුකරයක් වීමට බොහෝ ඉඩකඩ ඇත. නිවැරදිව මාර්ගෝපදේශකයන් අනුගමනය නොකිරීම, දිගු ඇවිදීමක් පමණක් නිසා කඳු නැගීමට නවකයන් වුවත් කඳු තරණයට එක් වීම මෙන්ම ප්‍රබල හිම කුණාටු ඇති වීම, අයිස් සහිත සුළං ඇති වීම වැනි ස්වාභාවික ක්‍රියාකාරකම්ද ඉහළ මරණ අනුපාතිකය සඳහා බලපා ඇත.

..

..

..

09. Eiger (අයිගර්)

Eiger යනු ප්‍රධාන ජල පෝෂක ප්‍රදේශයට උතුරින් සහ Valais සමඟ මායිම්ව ස්විට්සර්ලන්තයේ Bernese Oberland හි Grindelwald සහ Lauterbrunnen ගම්මාන දෙසට වන්නට Bernese Alps කඳුකරයේ පිහිටි මීටර් 3,967 (අඩි 13,015) උස කන්දක් වේ. එය ස්විට්සර්ලන්ත ඇල්ප්ස් කඳුකරයේ වඩාත්ම සංකේතාත්මක දර්ශනවලින් එකක් වන, Monch හරහා මීටර් 4,158 (අඩි 13,642) දක්වා විහිදෙන කඳු වැටියක (King Jungfrau) නැඟෙනහිර දෙසින් පිහිටි කඳු මුදුනයි.

..

..

1858 අගෝස්තු 11 වන දින බටහිර ඉවුර තරණය කළ ස්විට්සර්ලන්ත ජාතික මාර්ගෝපදේශකයන් වන Christian Almer , Peter Bohren සහ අයර්ලන්ත ජාතික Charles Barrington විසින් Eiger හි පළමු නැගීම සිදුකරන ලදි. කඳු නැගීමේ ගවේෂණ සම්බන්ධ බොහෝ ඛේදවාචක සඳහා Eiger ඉතා ප්‍රසිද්ධියට පත් වී ඇත. 1935 සිට, අවම වශයෙන් කඳු නගින්නන් හැට හතරක් උතුරු මුහුණතට යාමට උත්සාහ කර මියගොස් ඇති අතර, එයට ජර්මානු අන්වර්ථ නාමයක් වන මොර්ඩ්වන්ඩ්, වචනාර්ථයෙන් "මිනීමැරුම් (උතුරු) බිත්තිය" -එහි නිවැරදි වචනය වන නෝර්ඩ්වන්ඩ් (උතුරු බිත්තිය) යන පදය ලබා දී ඇත. Eiger කඳු මුදුනට ළඟාවිය හැක්කේ පළපුරුදු කඳු නගින්නන්ට පමණක් වුවද, කඳුකරය තුළ දුම්රිය උමං මාර්ගයක් දිවෙන අතර ඒ ඔස්සේ කවුළු සහිත නැරඹුම් ස්ථාන දෙකක් කරා පහසුවෙන් ළඟාවිය හැකි වේ.
බටහිර දෙසින් සංකීර්ණ මාර්ගයකින් වැඩි අපහසුවකින් තොරව කඳු මුදුනට ළඟාවිය හැකි අතර, උතුරු මුහුණත තරණය කිරීමේ සටන කඳු නගින්නන්ගේ සහ කඳු නගින්නන් නොවන අයගේ උනන්දුව සහ ආකර්ෂණය ළඟා කරගෙන ඇත. එය සාර්ථකව තරණය කිරීමට පෙර, බොහෝ උත්සාහයන් ඛේදජනක ලෙස අවසන් වී ඇත.
නමුත් ඔස්ට්‍රියාවේ සහ ජර්මනියේ තරුණ දක්ෂ කඳු නගින්නන් තුළ වූ උද්යෝගය හේතුවෙන් කඳු නගින්නන් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් “Heckmair” මාර්ගයෙන් 1938 දී සාර්ථකව කඳු මුදුනට ළඟා වූවද, අවසානයේදී ඔවුන් හිම කුණාටුවකින් ගසාගෙන ගිය අතර, එම හිම කුණාටුවේ ප්‍රබලත්වය කෙසේද යත් ඔවුන්ගේ හිස් කබල් කැඩී ගොස් කඹ වල එල්ලී තිබුණේය.

..

..

..

10. Baintha brack (බයින්ත බ්‍රැක්)

..

..

කරකෝරම් කඳුවැටියේ උප ප්‍රදේශයක් වන පන්මා මුස්තාග් හී පිහිටී මීටර් 7,285 (අඩි 23,901) උසින් යුත් මෙය බෑවුම් සහිත කන්දකි. එය පිහිටා ඇත්තේ පකිස්ථානයේ Gilgit -Baltistan වන අතර තරණය කිරීමට ලෝකයේ දුෂ්කරම කඳු මුදුන් වලින් එකක් ලෙස ප්‍රසිද්ධය. බයින්තා බ්‍රැක් එහි උන්නතාංශය, ප්‍රාදේශීය භූමියට වඩා උස සහ බෑවුම්වල සංකලනය තුළින් සුවිශේෂී වේ. සැකසී තිබෙන්නේ සංකීර්ණ ග්‍රැනයිට් පාෂාණයෙන් වන අතර අනෙකුත් බොහෝ කරකෝරම් කඳු මුදුන් වලට වඩා ප්‍රපාතයෙන් හා පාෂාණයෙන් වැඩිය.

..

බයින්ත බ්‍රැක් කන්ද නැගීම ඉතා දුෂ්කර වන අතර, අතිශයින් ඉහළ මට්ටමේ කඳු නගින්නන් සඳහා එතරම් ආකර්ෂණීය ඉලක්කයක් වී ඇත්තේ මෙම කන්දේ බෑවුම් සහිත පාෂාණමය ස්වභාවය නිසාය.1971 සහ 1976 අසාර්ථක උත්සාහයන් දෙකකින් පසුව, 1977 දී බ්‍රිතාන්‍ය ජාතිකයින් දෙදෙනෙකු වන ඩග් ස්කොට් සහ ක්‍රිස් බොනින්ටන් විසින් මෙම කඳු මුදුන තරණය කරන ලදී. 1977 දී පළමු නැගීම සහ 2001 දී දෙවැන්න අතර වසර විසි හතරක් ගතවිය. 2012 අගෝස්තු 21 වන දින ඇමරිකානුවන් වන කයිල් ඩෙම්ප්ස්ටර් සහ හේඩන් කෙනඩි විසින් කඳු මුදුනේ දකුණු මුහුණතෙහි නව රේඛාවකින් තෙවන නැගීම සිදු කරන ලදී. ජොෂ් වෝර්ටන් ද ඔවුන් සමඟ කඳු නැගීමේදී ගමන් කර ඇති නමුත් ආසන්න වශයෙන් මීටර් 6800දී (ආසන්න වශයෙන් අඩි 22,310) ඔහුට උත්සාහය අත්හැරීමට සිදුවිය. මෙම කන්දේ ඇති මාරාන්තික බව නම් එය නැගීමට සාපේක්ෂව බැසීම අපහසු වීමයි. එමෙන්ම බැසීමේ දී සිදු වූ මාරාන්තික අනතුරු නිසා යැයි සිතිය හැකි මිනිස් හිස් කබල් පවා හමුවී ඇත.

..

සටහන - ප්‍රියංගිකා පෙරේරා

.

.

819 0
Created : May 30, 2022 02:15pm
Last updated : Apr 20, 2024 12:57am