Loading

Loading...

කඳුනැගීමේ ත්‍රිත්ව ඔටුන්න - Explore the World | Episode 3 | Triple Crown of Hiking

කඳු තරණය වනාහී දුෂ්කරතා, බාධක රැසකට ම අභියෝග කරමින් තෘප්තිය ලබාගැනීමකි. කඳු නැගීමේ උමතුවෙන් පෙළෙන්නන්ට ලුහුබැඳීමට හැකි එක්තරා ජයග්‍රාහී කඩඉමක් ලෙස කඳු නැගීමේ ත්‍රිත්ව ඔටුන්න සැලකිය හැකිය.

කඳු නැගීමේ ත්‍රිත්ව ඔටුන්න යනු, එක්සත් ජනපදයේ ප්‍රමුඛතම සහ දීර්ඝතම කඳු නැගීමේ මාවත් තුන වන ඇපලචියන් ට්‍රේල්(Appalachian Trail) ,පැසිෆික් ක්‍රෙස්ට් ට්‍රේල්(Pacific Crest Trail) හා කොන්ටිනෙන්ටල් ඩිවයිඩ් ට්‍රේල්(Continental Divide Trail) යන ත්‍රිත්වයයි. මෙම ත්‍රිත්ව කිරුළ සම්පූර්ණ කිරීම පහසු කාර්යයක් නොවේ. නිල නොවන වාර්තා වලට අනුව ත්‍රිත්ව කිරුළ තරණය කර ඇත්තේ 600 ක පමණ පිරිසක් බව වාර්තා වේ. නමුත් නිල වශයෙන් ත්‍රිත්ව කිරුළ තරණයට හිමිකම් කියනුයේ පුද්ගලයන් 334 ක් බව දැක්වේ. මෑත වසර වල වඩාත්ම කැපීපෙනෙන ත්‍රිත්ව කිරුළ තරණයේ හිමිකාරිත්වයක් ඇත්තේ තෙවතාවක් ත්‍රිත්ව කිරුළ තරණය සම්පූර්ණ කළ ප්‍රථම කාන්තාව වන හෙදර් අනිෂ් ඇන්ඩර්සන් (HEATHER "ANISH" ANDERSON) ට ය.

දැන් අපි මෙම එක් එක් මංමාවත් පිළිබඳව දැනගනිමු.

..

..

ඇපලචියන් ට්‍රේල් (Appalachian Trail - AT)

..

මෙය රුක් වියනකින් ආවරණය වූ ලිස්සන සුළු ගස් මුල් වලින් වැසී ඇති භූමි ප්‍රදේශ ද, කඳු බෑවුම් සහිත භූමි ප්‍රදේශ ද තුළින් ගමන් ගන්නා මාර්ගයකි. එමෙන්ම මෙය ඉහත මාර්ග තුන අතරින් වැඩිම උන්නතාංශයක් (අඩි 6,643) හරහා ගමන්ගන්නා මාර්ගය වේ. ඇතැම්විට කඳු නැගීමට හා බැසීමට ඉණිමඟ භාවිතා කිරීමට සිදුවන අවස්ථා ද වේ. ගස් සහ ගල් මත පහසුවෙන්ම අනුගමනය කළහැකි සලකුණු යොදා ඇති බැවින් ගමන් කිරීමට පහසුම මාර්ගයක් බවට මෙය පත්වී ඇත. මෙම මාර්ගයේ ප්‍රධාන අවාසිය නම් බොහෝ දින/සති ගණන් වනාන්තර ආශ්‍රිතව ගමන් කිරීමට සිදුවීම යි.

..

..

මෙම ගමන් මාර්ගයේ දුර සැතපුම් 2194 වන අතර දකුණු දෙසින් ජෝර්ජියාවේ ස්ප්‍රින්ගර් කන්දෙන් (Springer Mountain, Georgia) ආරම්භ වී උතුරු දෙසින් මේයින් හී කටාහ්ඩින් (Mount Katahdin, Maine) කන්දෙන් අවසන් වේ. ඒ සඳහා ප්‍රාන්ත 14 ක් හරහා ගමන්කළ යුතුව ඇත. ඇපලචියන් ට්‍රේල්(AT) නිර්මාණය කර ඇත්තේ කඳු නැගීමේ මාර්ගයක් ලෙස බැවින් මෙම මාර්ගයේ බොහෝ ප්‍රදේශවල දී බයිසිකල් සහ අශ්වයන් යොදාගෙන ගමන් කිරීම තහනම් කර ඇත. මෙම මාර්ගයේ ගමන් ආරම්භ කරන පිරිස අතුරින් සැතපුම් 2190ක දුර ගෙවාගෙන අවසානය කරා ළඟාවෙන්නේ ඉතා සුළු පිරිසකි. වාර්ෂික Thru-Hiker (2017) දත්ත වලට අනුව 3,377ක කඳු නගින්නන් ප්‍රමාණයක් Springer Mountain වලින් ගමන ආරම්භ කර ඇති අතර ඉන් 685ක ප්‍රමාණයක් Katahdin හිදී ගමන අවසන් කර ඇත. ඒ අනුව එම දිශාව ඔස්සේ 19%ක ගමන් අවසන් කිරීමේ අනුපාතයක් වාර්තා වේ. එසේම 497ක කඳු නගින්නන් ප්‍රමාණයක් Katahdin වලින් කඳු නැඟීම ආරම්භ කර ඇති අතර 133 ක ප්‍රමාණයක් ජෝර්ජියාවේ Springer Mountain වලින් ගමන අවසන් කර ඇත. ඒ අනුව එම දිශාව ඔස්සේ 27%ක ගමන් අවසන් කිරීමේ අනුපාතයක් වාර්තා වේ.

..

..

ත්‍රිත්ව කිරුළ මංපෙත් අතරින් වැඩිපුරම මිනිසුන් ගමන්කර ඇති මාර්ගය වන්නේ ද මෙම මාර්ගයයි. තවද, එය ඝන පතනශීලි වනාන්තර, පාෂාණ හා රළු ඇල්පයින් කඳු වලින් යුක්ත නිසා පරිසර විවිධත්වයක් දැකගත හැකි වේ. ඇපලචියන් ට්‍රේල් (AT) බොහෝ විට "හරිත උමඟ" ලෙස හඳුන්වනු ලබන්නේ ඝන වනාන්තරය නිසා ගමන් කරන්නන් හට උමගක ඇවිදිනවා වැනි හැඟීමක් ඇතිකරන බැවිනි.

මෙම ගමන් මාර්ගය පුරාවට මධ්‍යස්ථ උෂ්ණත්ව තත්ත්වයක් පවතින අතර වර්ෂාව ද ඇත. කෙටිකාලීන ශීත කාලගුණ තත්වයක් පැවතිය ද එය දිගුකාලීන ව දැකිය නොහැකිය. බොහෝ අය වසන්ත කාලය මුලදී ශීත කාලගුණ ආම්පන්න සමඟ ගමන ආරම්භ කළද, ගමන් ආරම්භ කර ටික කලකට පසු ඒවා ඔවුනට අවශ්‍ය නොවේ. ඇපලචියන් ට්‍රේල් (AT) පොදු ප්‍රවාහන මාර්ග 500කට වැඩි ප්‍රමාණයක් හරහා ගමන් කරන අතර, මෙසේ මුණගැසෙන මංසන්ධි වලට ආසන්නව නගර පිහිටා ඇති අතර ඒවා මගින් ගමන් කරන්නන්ට අවශ්‍ය පහසුකම් සපයනු ලැබේ. එබැවින් කඳු නගින්නන්ට දින 5කට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර රැගෙන යාමට සිදුවන්නේ කලාතුරකිනි. එමෙන්ම ගමන් මාර්ගය ආශ්‍රිතව ජල මූලාශ්‍ර බහුල බැවින් ජලය සපයාගැනීමේ ගැටලු ද අවම වේ.

..

..

වනාන්තර හරහා ගමන් කරන බැවින් මෙම මාර්ගයේ වන සතුන් බහුලව දක්නට ලැබේ. වලසුන්, මුවන් මේ සතුන් අතරින් විශේෂ වේ. එමෙන්ම, කඳු නගින්නන්ගේ ආහාර සොරකම් කිරීමට උත්සාහ කරන නවාතැන් වල සිටින මීයන් ද දැකිය හැකිය. කිනිතුල්ලන් ද බහුලව දක්නට ලැබෙන අතර, කඳු නගින්නන් දිනපතා කිනිතුල්ලන් සඳහා තම සිරුරු පරීක්ෂා කළයුතු වේ. එමෙන්ම වසන්තයේ සහ ගිම්හානයේ මුල් කාලයේදී, කඳු නගින්නන්ට උතුරු දෙසට ගමන් කරන විට මදුරු රංචු සහ දෂ්ඨ කරන මැස්සන්ගේ කරදර වලට ද භාජනය වීමට සිදු වේ. සාමාන්‍යයෙන් මෙම ඇපල්චියන් මාර්ගය තරණය කිරීමට ගතවන කාලය මාස 5-7 ක් පමණ වේ.

..

පැසිෆික් ක්‍රෙස්ට් ට්‍රේල් (Pacific Crest Trail - PCT)

..

උස් කඳුවලින් සහ ආකර්ෂණීය වටපිටාවකින් යුත් සිත් ඇදගන්නා සුළු ගමන් මාර්ගයක් ලෙස මෙය හැඳින්විය හැක. පැසිෆික් ක්‍රෙස්ට් ට්‍රේල් හී දුර සැතපුම් 2653 ක් වන අතර මෙය දකුණු දෙසින් කැලිෆෝනියාවේ කැම්පෝ (Campo, California) වලින් ආරම්භ වී උතුරු දෙසින් බ්‍රිතාන්‍ය කොලොම්බියාවේ මැනිං උද්‍යානය (Manning Park, British Columbia) දක්වා ප්‍රාන්ත 3 ක් හරහා විහිදී යයි. වාර්ෂික Thru-Hiker (2017) දත්ත වලට අනුව මෙම කඳු තරණය සඳහා 4000ක පමණ බලපත්‍ර සංඛ්‍යාවක් නිකුත්කර ඇති නමුදු, පැසිෆික් ක්‍රෙස්ට් ට්‍රේල් සංගමයට අනුව 491ක පුද්ගල ප්‍රමාණයක් පමණක් තරණය සම්පූර්ණ කර ඇති බවට වාර්තා වේ.

..

..

මෙම මාර්ගයේ ගමන් කරන්නන් හට සියෙරා නෙවාඩා (Sierra Nevada) ආශ්‍රිත ප්‍රදේශ වලදී සමහර අවස්ථා වල අධික හිම පතනයන්, ලැව්ගිනි ඇතිවීම් ආදියට මුහුණදීමට සිදුවීමේ සම්භාවිතාවක් පවතියි. මෙම ප්‍රදේශයේ වේගයෙන් ගලායන ගංගා ද, කාන්තාර වල ජල හිඟ තත්ත්වයන් ද මෙම මාර්ගයේ කඳු නගින්නන්ට මුහුණදීමට සිදුවන තවත් අභියෝගයන් වේ. නමුත් මෙම මාර්ගය හිතාමතාම හැකිතාක් ආරක්ෂිත ප්‍රදේශ සහ උතුරු ඇමරිකාවේ පරිසර කලාප නවයක් ආවරණය වන පරිදි සකසා ඇත. කඳු නගින්නන් සඳහා මෙන්ම අශ්වයන් යොදාගෙන ගමන් කිරීම ද නිර්දේශ කර ඇති හෙයින් මෙය ඇපලචියන් ට්‍රේල් (AT) තරම් දරුණු ලෙස බෑවුම් නොවුණු මාර්ගයක් ලෙස සැලකිය හැකිය. නමුත් එය පහසු බව ද මින් අදහස් නොවේ. කාන්තාර තරණයකින් ද යුක්තවන මෙම මාවත දර්ශනීය පෙදෙස් පසුකරමින් කැස්කැඩ් කඳුකරයේ (Cascade Range) සශ්‍රීක වනාන්තර වලින් අවසන් වේ.

බොහෝ පැසිෆික් ක්‍රෙස්ට් ට්‍රේල් (PCT) මාර්ග හොඳින් සලකුණු කර ඇත. නමුත් එය ඇපලචියන් ට්‍රේල් (AT) තරම් හොඳින් නඩත්තු කර හෝ අධික ලෙස ගමන්කර නැත. කඳු නගින්නන් සංචාරයේදී යොදාගැනීම සඳහා සිතියම්, මාලිමා යන්ත්‍ර, GPS උපාංග හෝ අත්‍යවශ්‍ය දුරකථන යෙදුම් සමඟ ඔවුන්ගේ දුරකථනයන් සූදානම් කරගෙන පැමිණිය යුතුය.

..

..

සමස්තයක් වශයෙන්, පැසිෆික් ක්‍රෙස්ට් ට්‍රේල් (PCT) හි ගමන් මාර්ගය පුරාවට බොහෝසෙයින් වෙනස්වන කාලගුණික තත්වයන්ට මුහුණදීමට සිදු වේ. එය නිදා ගැනීමට සහ කඳු නැගීම සඳහා උචිත සිසිල් රාත්‍රීන්ගෙන් මෙන්ම දිවා කාලයේ ඉහළ උෂ්ණත්වයෙන් යුත් පාරිසරික කලාප වලින්ද සමන්විත වේ. සෘතුමය හිම පතනය මත පදනම්ව, සියෙරා නෙවාඩා (Sierra Nevada) ආශ්‍රිත කලාපයේ සහ වයඹදිග පැසිෆික් කලාපයේ අයිස් සහ හිම පතනයන් ඇතිවිය හැක.

මෙම මාර්ගය කාන්තාර, කඳු සහ වනාන්තර හරහා ගමන් කරන නිසා පැසිෆික් ක්‍රෙස්ට් ට්‍රේල් (PCT) හි විවිධ සතුන් දැකගත හැකි වේ. ගෝනුස්සන්, කටුස්සන් සහ රැට්ල්ස්නේක් (Rattlesnakes) කාන්තාරයේ බහුලව දක්නට ලැබෙන අතර සියරා සහ කැස්කැඩ් වල දෂ්ඨ කරන මකුණන් සහ මදුරුවන් බහුලව දක්නට ලැබේ. මාර්මෝට් (Marmot), මුවන්, ගෝනුන්, කොටළු මුවන්, කඳු එළුවන් සහ සමහරවිට වලසෙකු හෝ දෙදෙනෙකු මංපෙතේ උතුරු කොටසේ දැකගත හැකි වේ.

..

..

සෑම සැතපුම් පහකට හෝ අටකටම පාහේ කුඩා නගර හෝ ජල සැපයුමක් ඇති ඇපලචියන් ට්‍රේල් (AT) වලට වඩා පැසිෆික් ක්‍රෙස්ට් ට්‍රේල් (PCT) තරණය තරමක් වශයෙන් දුෂ්කර ය. පැසිෆික් ක්‍රෙස්ට් ට්‍රේල් (PCT) හි හමුවන කාන්තාරයේ ජලය හිඟය. එමනිසා කාන්තාරයේ දිගු, ජලයෙන් තොර ප්‍රදේශ හරහා ගමන් කිරීමේ දී වැඩිපුර ජලය ගබඩා කරගෙන රැගෙන යා යුතුය. සාමාන්‍යයෙන් මෙම පැසිෆික් ක්‍රෙස්ට් මාර්ගය තරණය කිරීමට ගතවන කාලය මාස 4-6 ක් පමණ වේ. කෙසේවෙතත් වඩාත් ක්‍රමානුකූල භූමි ප්‍රදේශ වල මෙන්ම කඳු වැටි සහිත ප්‍රදේශවල ද ඇවිදීමට සිදුවීම නිසා, කඳු නගින්නන්ට දිනකට සැතපුම් 20-30ක පමණ දුරක් ගමන් කර මාස 4-5ක් ඇතුළත ගමන අවසන් කළ හැකිය.

..

මහද්වීපික බෙඳුම් මාවත (Continental Divide Trail - CDT)

..

විවිධත්වයකින් යුත් පරිසර පද්ධතියක් ඔස්සේ ගමන් කිරීමට ලැබීම නිසා කඳු නගින්නන්ට වෙනස් වූ අත්දැකීමක් විඳගැනීමට මහද්වීපික බෙඳුම් මාවත තරණය කිරීමෙන් අවකාශය ලැබේ. ලොව ඇති දුෂ්කර ම තරණය කිරීම් වලින් එකක් ලෙස මෙය අර්ථකථනය කළ හැකිය. දුෂ්කර දින සහ⁣ දුෂ්කර මාර්ග කොටස් ඔස්සේ කඳු නගින්නන් තම ඉලක්කය කරා ඇඳේ. ජලය හිඟකම, භයානක හිම පතන තත්ත්ව හා ගිගුරුම් සහිත වැසි මෙහි ඇති අභියෝගාත්මක අදියරයන් වේ. බොහෝදුරට කඳු නැගීමේ මාර්ගයක් වුවද, සමහර කලාප අශ්වයන්, හිම රථ සහ මවුන්ටන් පාපැදි සඳහා ද විවෘත වේ.

..

..

මෙම මාර්ගයේ දුර සැතපුම් 3028 ක් වන අතර, ප්‍රාන්ත 5ක් හරහා ගමන් කරන මාර්ගය දකුණු දෙසින් එක්සත් ජනපද මෙක්සිකෝ මායිමේ පිහිටි නිව් මෙක්සිකෝවේ බිග් හැචෙට් කඳුකරයේ (Big Hatchet Mountains) ඇති ක්‍රේසී කුක් ස්මාරකයෙන් (Crazy Cook Monument) ද, උතුරු දෙසින් එක්සත් ජනපද කැනඩා දේශසීමාවේ පිහිටි ඇල්බර්ටා හී වෝටර්ටන් විල් ජාතික වනෝද්‍යානයෙන් (Waterton Lakes National Park, Alberta) සහ මොන්ටානා හී ග්ලැසියර් ජාතික වනෝද්‍යානයෙන් ද (Glacier National Park, Montana) සීමා වේ. වාර්ෂික Thru-Hiker (2017) දත්ත වලට අනුව ආසන්න වශයෙන් පුද්ගලයින් 300 ක් පමණ ගමන ආරම්භ කර ඇති අතර වාර්තා කර ඇති සම්පූර්ණ කිරීම් ගණන 81 ක් පමණ වේ.

ඇපලචියන් ට්‍රේල් (AT) සහ පැසිෆික් ක්‍රෙස්ට් ට්‍රේල්(PCT) හි සම්පුර්ණ කරන ලද මංපෙත්, හොඳින් සලකුණු කර ඇති නමුත් සාපේක්ෂව මහද්වීපික බෙඳුම් මාවතෙහි (CDT) එවැන්නක් දැකිය නොහැකිය. එමනිසා මෙම මාර්ගය තරණය කිරීම ඉතා අපහසු වියහැකිය. කඳු නගින්නන් GPS උපාංගයක් ගෙන ආ යුතු අතර, විශේෂයෙන්ම කඳු තරණය හා මාර්ග සොයාගැනීම සඳහා මාලිමා යන්ත්‍රයක් සහ සිතියමක් භාවිත කරන්නේ කෙසේදැයි දැන සිටිය යුතුය.

..

..

මෙය ඇමරිකාවේ වඩාත්ම අභියෝගාත්මක මංපෙත ලෙස ද නම්කර ඇති මෙය නිව් මෙක්සිකෝ කාන්තාරයෙන් ආරම්භ වී කොලරාඩෝ හි රොකී කඳුකරයේ උස් කඳු සහ හිම කඳු දක්වා ගමන් කරයි. තවද ජාතික වනෝද්‍යාන කිහිපයක් ද මෙම මාවත හරහා පිහිටා ඇත. මෙම මාර්ගයේ ගමන් කරන්නන් හට විවිධ කාලගුණික පරාසයන් දැකිය හැකිවන අතර නිව් මෙක්සිකෝවේ උණුසුම් තත්ත්වයක් ද, කොලරාඩෝ කඳු මුදුන්වල සීතල තත්ත්වයක් ද අත්විඳිය හැකි වේ. අකුණු, හිම කැට පතනයන්, වැසි හා තද සුළං සමඟ බද්ධ වූ අභියෝගාත්මක තරණයක් වන බැවින් කඳු නගින්නන් තමන් ගමන් කරන කොටසේ කාලගුණික තත්ත්වයන් සමඟ අනුගත වීමට ප්‍රමාණවත් ආම්පන්න සහ ඇඳුම් රැගෙන ආ යුතු වේ.

නිව් මෙක්සිකෝ ප්‍රදේශයේ ගවයන්, කටුස්සන් සහ අනෙකුත් කාන්තාර ජීවීන් බහුලව දැකිය හැකිය. මෙම මාර්ගය ග්‍රාමීය කඳුකර ප්‍රදේශ ඔස්සේ විහිදී ඇති බැවින් වන සතුන් වැඩි වශයෙන් දැකිය හැකි වේ.

නගර අතර ප්‍රති සැපයුම් ස්ථාන පවතින්නේ ස්වල්ප වශයෙනි, එම නිසා ප්‍රතිසැපයුම් ස්ථානයකට ළඟාවීමට අවම වශයෙන් දින 5ක් 7ක් පමණ හෝ ඊටත් වඩා වැඩි කාලයක් ගතකිරීමට සිදු වේ. මහද්වීපික බෙඳුම් මාවතෙහි (CDT) සෑම ප්‍රාන්තයකම ජල මූලාශ්‍ර අතර දිගු දුර පරතරයක් පවතින බැවින් එය සාපේක්ෂව වියළි මාවතකි. පවතින ජල මූලාශ්‍ර හඳුනාගැනීමට මාර්ගෝපදේශ පොත් උපකාරී කරගත හැකි නමුත් සෘතුමය හිම පතනය සහ මෑතකාලීන කාලගුණික රටාවන් මත ජලය තිබීය හෝ නොතිබිය හැකිය. සාමාන්‍යයෙන් මෙම මහද්වීපික බෙඳුම් මාවත තරණය කිරීමට ගතවන කාලය මාස 4-6 ක් පමණ වේ.

..

..

සටහන - නිර්මලී දන්වත්ත

649 0
Created : Jun 26, 2022 02:01pm
Last updated : Apr 19, 2024 07:07am