Loading

Loading...

නකල්ස් රජදහනේ Five Peaks

මෙය නුවර සහ මාතලේ දිස්ත්‍රික්ක මායිමට යාබදව පිහිටා ඇති සොබාදහමේ අපූර්ව නිර්මාණයක් වන දුම්බර කඳු පන්තියට නොහොත් නකල්ස් කඳු පන්තියට අයත් වන අලංකාර කඳු පහකි .මෙම 5 peaks කඳු පන්තිය ඈතට දිස්වන්නේ අත මිට මෙළවූ විට ඇඟිලි පිහිටන ආකාරයටයි. ඒ නිසා නකල්ස් කඳු පන්තියට එම නම ලැබී ඇති අතර, එය මෙහි ඇති සුවිශේෂත්වයකි.


එය සියැසින් දැක බලා ගැනීමට අප විශ්වවිද්‍යාලයීය Mora Hiking Club විසින් ඔක්තෝම්බර් මස කඳු තරණය සඳහා මෙම සුන්දර 5 peaks තෝරා ගන්නා ලදී. 2023 ඔක්තෝම්බර් මස පළවෙනි වෙනි ඉරු දින අප 53 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පෙ.ව. 2 ට පමණ විශ්වවිද්‍යාලයෙන් පිටත් වුනු අතර උදෑසන ආහාරය සඳහා පෙ.ව. 6 ට පමණ බස් රථය කුණ්ඩසාලේ දී නවත්වන ලදී. උදෑසන අහාරය ලබා ගැනීමෙන් පසු නැවතත් ගමන් ආරම්භ කළ අපි පැය දෙකකට පමණ පසු බස් රථයෙන් බැස 5 peaks බලා ගමන් ආරම්භ කළෙමු. 2 km ක් පමණ ගමන් කිරීමෙන් අනතුරුව වෙනදා මෙන්ම සංගමයේ ජ්‍යෙෂ්ඨයන් වගේම අනෙක් සාමාජිකයන් හඳුනාගැනීම සිදු විණි. අනතුරුව කෙටි ශරීර යෝග්‍යතා සැසියක් ද 5 peaks කඳුපෙළ පිළිබඳ කෙටි හැඳින්වීමක් ද සිදු කිරීමෙන් පසු අපි පළමු කඳු මුදුන බලා නැවතත් ගමන් ඇරඹුවෙමු.

සිත් ඇදගන්නා සුළු සුන්දර පරිසරයකින් යුත් මෙම ගමන් මාර්ගය කාගේත් ගමන් මහන්සිය නිවීමට සමත් විය. ගමන් මාර්ගයේ ඇති සුන්දරත්වය මෙම අඩවිය UNESCO ව මඟින් ලෝක උරුමයක් බවට පත් කිරීමට හේතුව නිරායාසයෙන්ම අපට පහදා දෙයි. මෙම දැකුම්කළු මාර්ගය ඔස්සේ මිටියාවත්, දිය පහරවල් පසුකරමින් 6 km ක් පමණ පසු කර අපි 5 peaks පළමු මුදුනට ලඟා වුණෙමු.


එදින දුම්බර කඳුවැටිය යන නමෙහි අරුත පසක් කිරීමට මෙන් මුළු වටපිටාවම මීදුමෙන් වැසී තිබිණි. පළමු කඳු මුදුනේ ටික වේලාවක් හිඳ විඩා නිවා ගත් අපි අනතුරුව නකල්ස් කඳු පන්තියේ දෙවන උසම සහ 5 peaks හි උසම කඳු මුදුන වන 1864m උස දෙවන කඳු මුදුන බලා ගමන් ඇරඹුවෙමු. එහි මද වේලාවක් ගත කිරීමෙන් පසු අපි අනෙක් කඳුමුදුන් බලා ගමන් යාමට පිටත් වුණෙමු.

යන අතරමග ලබාදුන් දහවල් ආහාරය ද ලබා ගැනීමට අප අමතක කළේ නැත. තුන්වන හා හතරවන කඳුමුදුන් අතර තිබූ සුළං කපොල්ල තරණය කිරීම අපට තරමක අභියෝගයක් වුණි. හතරවන කඳුමුදුනට අලුගල්කන්ද, ගොම්බානිය, යකුන්ගේහෙල, ලකේගල, කෙහෙල්පත්දෝරුව වැනි කඳු රාශියක් දක්නට ලැබෙන නමුත් එදින අපට දැක ගත හැකි වුණේ එම දැවැන්තයන් වෙලාගෙන සිටි මීදුම් සේලයයි. හතරවන මුදුනේ සිට සමූහ ඡායාරූපය ගෙන නැවත ආපසු ඒමට අප තීරණය කළේ පැවති සුළං තත්ත්වය හා මීදුම නිසා අවට දසුන් පැහැදිලිව දැක බලා ගැනීමට නොහැකි වීම හේතුවෙනි.



ආපසු එන අතර මග වර්ෂාව පැවති හෙයින් මාර්ගය මඳක් ලිස්සන සුළු විය. නමුත් වර්ෂාව හා මීදුම හේතුවෙන් අවට පරිසරය ඉතා සුන්දර විය. සුන්දරත්වය විඳිමින් පහලට එන මාර්ගය අතරමග අපට නකල්ස් ඇල්ල හමුවිය. ඒ වන විට අඳුර අවට පරිසරය වෙලා ගනිමින් තිබුණු බැවින් හා අපගේ සංචාරයට කාලය හරස්ව තිබූ බැවින් නකල්ස් ඇල්ල සමීපයේ මඳ වේලාවක් හිඳ නැවත බස් රථය වෙත පැමිණීමට අපි පිටත් වුණෙමු. ප.ව. 8 ට පමණ කඳු තරණය අවසන් කර බස් රථයට පැමිණීමට අපට හැකියාව ලැබිණි. ගමන පුරාවටම කූඩැල්ලන්ගෙන් අඩුවක් නොතිබුණු නමුත් අප සියල්ලන්ම එයට පෙර සූදානම්ව පැමිණීම මගින් කූඩැල්ලන් හේතුවෙන් ගමනට වන බාධා අවම කර ගැනීමට අපට හැකියාව ලැබිණි. රාත්‍රී 11ට පමණ ආහාර ලබා ගැනීම සඳහා බසය නවතන ලදී. අලුයම 2.30 ට පමණ සියලු දෙනාම නැවත ආරක්ෂිතව විශ්ව විද්‍යාලයට පැමිණියේ අපූර්ව අත්දැකීම් රාශියක් පොදිබැඳ ගෙනයි.

423 1
Created : Oct 9, 2023 04:32pm
Last updated : May 2, 2024 05:45am

Champa Heenkende

October 10th, 2023 - 6:46AM

Woow...what else can I say? It's a mesmerizing hike.