Loading

Loading...

Hiking Safety | Episode 1 | සර්පයන්ගෙන් ආරක්ෂා වෙමු, දෂ්ටන වළක්වා ගමු.

ඔබ ගවේශකයෙක්නම්, නැතහොත් කඳු තරණය කරන්නෙක්නම් ඔබට නිතතින්ම විවිධ විෂකුරු සහ විෂකුරු නොවන සර්පයන් දක්නට ලැබෙනු ඇත. එමෙන්ම ගෘහාශ්‍රිතවද සර්පයන් හමු වන අතර සර්ප දෂ්ටන මඟින් මිනිසුන්ට අනතුරු සිදුවන අවස්ථාද ඇත. සර්පයන් පිළිබඳ පවතින විවිධ වැරදි මතිමතාන්තර හේතුවෙන් සර්පයන් මරා දැමීමටද මේ නිසා පෙලඹවීමක් මිනිසුන් අතර දැකගත හැකි වේ. මෙම ලිපිය මගින් සර්පයන්, සර්ප දෂ්ටනයකදි ලබා දිය හැකි ප්‍රථමාධාර සහ සර්ප දෂ්ටන වළක්වා ගන්නා ආකාරය පිළිබඳව ඔබට දැනගත හැක.

සර්පයින් යනු අප අවට පරිසරයේ සිටින ඉතා වැදගත් සත්ව කොට්ඨාසයක්. නමුත් අනියත බිය හේතුවෙන් අප අවට පරිසරයේ සිටින සර්පයින් ඉතා අමානුෂික ලෙස ඝාතනය කිරීමට ඇතැමුන් පෙලඹෙනවා. ශ‍්‍රී ලංකාවේ සර්පයින් කුල 11 කට සහ විශේෂ 108 කට අයත් වෙනවා. ඔවුන් ගොඩබිම වෙසෙන විශේෂ, සාගරයේ වෙසෙන විශේෂ සහ කිවුල්දියේ වෙසෙන විශේෂ ලෙස වර්ග කල හැකිය. ඔවුන් අතරින් විශේෂ 57ක් (~53%) පමණ ශ‍්‍රී ලංකාවට ආවේණික වේ. අප සර්පයින්ට කොතරම් බියක් දැක්වුවත් මෙරට වෙසෙන මාරාන්තික විෂ සහිත සර්ප විශේෂ 21න් 15ක්ම සාගර වාසීන්ය. ගොඩබිම වෙසෙන්නේ මාරාන්තික විෂ සහිත සර්ප විශේෂ 6ක් පමණය. මෙයින් මරණයක් සිදුකළ හැකි අධික විෂ විශේෂ 5 ක් හමුවේ. ඊට අමතරව සුළු විෂ සර්ප විශේෂ16 ක් වාර්තා වන අතර ඉතිරි විශේෂ නිර්විෂ සර්පයින් බව බොහෝ දෙනා නොදන්නා කරුණකි.

..

සර්පයින්ගේ ලක්ෂන

..

සර්පයින් වසර මිලියන සියයක පමණ පෙර සිට මිහිතලයේ වෙසෙන ජීවී විශේෂයකි. ලොව පුරා විවිධ වර්ගයේ සර්ප විශේෂ රැසකට අයත් සාමාජිකයෝ විශාල ප්‍රමාණයක් ජීවත් වෙති. සර්පයින්ගේ ශරීරය, හිස් කබල, කොඳු ඇට පෙළ හා ඉල ඇට වලින් නිර්මාණය වී ඇති අතර වියළි ‍කොරපොතු වලින් වැසී පවතී. බාහිරව ශ්‍රවණේන්ද්‍රියක් පිහිටා නොමැති නිසා වාතය හරහා එන ශබ්ද තරංග ග්‍රහණය කර ගැනීම දුර්වලය. නමුත් ගමන් කරන පෘෂ්ඨය හරහා එන කම්පන ග්‍රහණය කර ගැනීමට සමත්ය. මොවුන්ගේ දිව ඉතා සංවේදී අවයවයකි. අවට වාතයේ ස්වභාවය අවබෝධ කර ගන්නේ උඩු ඇන්දේ නාස් පුඩු හා ඇස් අතර පිහිටි සිදුරක් සහිත ඉන්ද්‍රියක් ආධාරයෙනි. ඇසි පිය වෙනුවට විනිවිද පෙනෙන තුනී පටලයක් පිහිටා තිබේ. ඇහි බැම නොපිහිටයි. සර්පයින් ශරීර හැඩයේ සහ ව්‍යුහය අනුව විවිධත්වයක් දක්වයි. දිගු හා සිහින් සිරුරක් ඇති සර්පයන් මෙන්ම, කෙටි හා මහත ශරීරයක් ඇති සර්පයින්ද දැකගත හැක. මුහුද අසල ජීවත් වන සර්පයන්ගේ වලිගය පාර්ශ්විකව පැතලි වන අතර පීත්ත පටියකට සමානය. එය පිහිනීම සදහා යොදාගැනීමට සැකසී ඇත.

..

..

සර්පයින්ගේ පොදු ලක්‍ෂණ

  • ශරීරයේ එක් කෙළවරක පැතලි වූ හිසක් දැරීම
  • කශේරුවක් සහ කපාලයක් සහිත අස්ථි සැකිල්ලක් දැරීම
  • සිරුර මතුපිට අපිචර්මීය කොරළ වලින් වැසී තිබීම
  • පෘෂ්ඨයට සමීපව ශරීරය තබාගෙන ගමන් කිරීම
  • ග්‍රන්ථි රහිත වියළි සමක් දැරීම
  • කුටීර තුනකින් යුත් හෘදයක් පැවතීම
  • ඇස, දිව, නාසය සහ සම යන සංවේදී ඉන්ද්‍රියයන් පැවතීම
  • බාහිර කන් සිදුරු නොමැති නිසා ශබ්ද නොඇසීම
  • කවච වලින් වටවූ බිත්තර දැමීමෙන් වර්ගයා බෝ කිරීම
  • චලතාපී සතුන් වීම
  • පෙනහළු තිබීම
  • බහිස්‍රාවයට වෘක්ක දැරීම

..

සර්පයන් ගැන මිත්‍යා මත කිහිපයක්

..

1) මිත්‍යාව : හබරලා යනු නාගයා සහ ගැරඬියා එකතු වීමෙන් සෑදෙන සර්පයෙක් වන අතර උග්‍ර විෂම සර්පයා වේ.

එහි නිවරදිතාවය

හබරලා / හබරලියා යන නම් ප්‍රදේශය අනුව වෙනස් වන නමුත් මෙම මිත්‍යාවට පාදක වී ඇත්තේ නිර්විෂ කටකළුවා නම් සර්පයාය.

..

2) මිත්‍යාව : ඇහැටුල්ලා ඇස් වලට පහරදී ඇස් උගුල්ලන බව.

එහි නිවරදිතාවය

ඉතා සියුම් චලනයන් වලට පවා සංවේදී වේ. නමුත් මේ වන විටත් එවැනි පහර දීම් ගැන වාර්තා වී නැති නිසා මේ පිළිබඳ බිය විය යුතු නැත.

..

3) මිත්‍යාව : ලේ මාපිලා (ලේ මාපිලා නමින් හදුන්වන්නෙ රත්පැහැය හේතුවෙන්) නිදා සිටින මිනිසුන්ගේ ලේ උරාබොන බව

එහි නිවැරැදිතාවය

මෙම මිත්‍යා මතය පිළිබඳව බිය විය යුතු නැත. සර්පයන්ගේ දළ මගින් ඔවුන් ජලය ඇතුලු කිසිදු දියරයක් උරා බොන්නේ නැත. උරාබීමක් සිදු කිරීමටද දළ සැකසී නැත.

..

4)මිත්‍යාව : හෙනකඳයා නම් සර්පයෙක් වනාන්තර තුල සිටින අතර එම සර්පයාගේ හෙවණැල්ල වැටුන මිනිසුන්ගේ කොන්ද වකුටු වන බව හා මිය යන බව.

එහි නිවැරැදිතාවය

මෙම සර්පයා සාමාන්‍ය ඇහැටුල්ලාගේ ගණයේම සිටින දුඹුරු පැහැයට හුරු සර්ප විශේෂයකි. මෙම සර්පයා බිය විය යුතු සර්පයෙකු නොවන අතර සත්වයෙකුගේ හෙවණැල්ලකට බියවිය යුතු නැත.


..

සර්පයින්ගේ විෂ

..

සර්ප කාණ්ඩ කිහිපයක් ඔවුන්ගේ ගොදුරු අල්ලා ගැනීමට විෂ යොදා ගනු ලැබේ. ඒ හැරුණු විට අනතුරකදී ආරක්ශාව සදහාත් ඔවුන් විෂ යොදාගනී. සර්පයන්ගේ විශේෂිතව සැකසුණු ඛේට ග්‍රන්ත්‍රය තුල මෙම විෂ නිපදවෙන අතර බොහෝ විට ඒවා රුධිරවාහිනී පද්ධතියට හෝ ස්නායු පද්ධතියට බලපෑමෙන් විෂ ඇතුලු වූ සත්වයාගේ මරණය සිදුවේ. සර්පයන්ගේ විෂ දළ යනු දිගු කුහරමය අංගයකි. මෙතුලින් ඔවුන්ගේ විෂ ග්‍රන්ථ තුල නිපදවෙන විෂ ගෙන යනු ලබයි.

සර්පයින්ගේ ඛේට ග්‍රන්ථ තුල නිපදවෙන ප්‍රෝටියෝලිටික් එන්සයිම, ස්නායුක විෂ සහ විවිධ එන්සයිම මත විෂෙහි ඇති ප්‍රබලතාවය රදා පවතී. සර්ප විෂෙහි ඇති එන්සයිම වර්ග විෂාල ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඒවායේ ක්‍රියාකාරීත්වය අනුව ප්‍රධාන කාණ්ඩ 3කට බෙදා වෙන් කර තිබේ.

..

  1. හයිලුරොනිඩේස් - විෂ ශරීරය පුරා පැතිරීමට සලස්වන එන්සයිම මෙයට අයත්වේ.
  2. පොස්පොලිපේස් - සෛලවල සිවිය විනාශ කරන එන්සයිම මෙම කාණ්ඩයට අයත් වේ.
  3. ප්‍රෝටිනේස් - තුවාලය අවට කුණුවීම හා ලේ ගැලීම සිදු කරන එන්සයිම මෙම කාණ්ඩයට අයත්වේ.

..

..

සර්පයින් අපට ප්‍රයෝජනවත් වෙන්නේ ඇයි

..

සෑම සත්ව කොට්ටාසයකින්ම අවට පරිසරයට කිසියම් හෝ මෙහෙයක් වන බව අප කවුරුත් දන්නා කාරණාවක්. සර්පයින්ගෙන්ද පරිසරයේ පැවැත්මට ලැබෙන්නේ සුවිශාල දායකත්වයකි. එසේම ඕනෑම සතෙක් කිසියම් ආහාර දාමයක පුරුකකි. සර්පයන් විසින් මීයන්,විවිධ කෘමින් ආහාරයට ගැනීම නිසා එම සතුන්ගෙන් බෝවීම පාලනයක් සිදු වේ. මෙය කෘෂිකාර්මික ජීවන රටාවක් ඇති අප වැනි රටකට ඉතා වැදගත් දෙයකි. මීයන්, විවිධ කෘමීන් වැනි සතුන්ගෙන් වගාවන්ට විශාල ලෙස පාඩු සිදුවීම එයට හේතුවයි. එමෙන්ම මී උණ වැනි රෝග පාලනයටද මෙය උපකාරයක් වේ.

එසේම ජෛව විවිධත්‍වය වැඩි කිරීමටද සර්පයින් සමත් වන අතර බොහෝ ප්‍රතිවිෂ නිෂ්පාදනයටද සර්ප විෂ යොදාගනී. සර්පයින් පිළිබඳ දැනුමක් ඇති පුද්ගලයින් සර්පයින් සුරතලුන් ලෙස ඇති කරනු දැක ඇත.


..

ශ්‍රී ලංකාවේ හමුවන උග්‍ර විෂැති සර්පයන්

..

  • නයා (නාගයා)
  • තෙල් කරවලා (මග මරුවා)
  • මුදු කරවලා
  • තිත් පොළඟා (දාර පොළඟා)
  • කුණකටුවා (පොළොං තෙලිස්සා)..
  • ..

..

සර්ප දෂ්ට කිරීමකදී කල යුත්තේ කුමක්ද?

..

..

සර්ප දෂ්ටනයන් සිදු වන්නේ නොහිතූ මොහොතක බැවින් ඔහුව වෛද්‍යවරයෙක් වෙත රැගෙන යාමට පෙර අපට ලබා දීමට හැකි බොහෝ ප්‍රථමාධාර ඇත ඒවා නිසි ලෙස ලබා දුනහොත් අනතුරට ලක් වූ පුද්ගලයාගේ ජීවිතය බේරාගැනීමට වැඩි හැකියාවක් ලැබෙනු ඇත.

..

  • සර්පයා දෂ්ට කිරීමට ලක්වූ තැනැත්තාගේ සිතෙහි බිය නැතිවන සේ කතා කරන්න.
    • බොහොමයක් සර්පයන් විෂ රහිත බව පවසන්න.
    • විෂ සහිත සර්පයෙක් දෂ්ට කළද, විෂ ඇතුළු නොවීමට හැකියාව ඇති බව පවසන්න.
    • දෂ්ට කල ස්ථානයේ දළ පහරවල් තිබූ පමණින් විෂ ශරීරගත වී ඇතැයි අදහස් නොවන බව පවසන්න.
    • විෂ ශරීරගත වුවත්, ඵලදායී ප්‍රතිකර්ම රෝහල් වල පවතින බවත්, සම්පූර්ණයෙන්ම සුවවීමට හැකියාවක් ඇති බවත් පවසන්න.
  • දෂ්ට කල ස්ථානය සබන් සහ ජලයෙන් මදක් සෝදා, පිරිසිදු සහ වියළි ගෝස් කැබැල්ලකින් හෝ රෙදි කැබැල්ලකින් ආවරණය කරන්න.
  • හැකිනම්, දෂ්ට කරන ලද ප්‍රදේශය, හදවත පවතින මට්ටමේ තබන්න.
  • සර්ප දෂ්ට කිරීමට ලක්වූ ප්‍රදේශය හැකිතරම් සෙලවීමෙන් වලකින්න. එමගින්, තවදුරටත් විෂ ශරීරය පුරා පැතිරීම වළකින අතර, වේදනාව අඩුවේ. එමනිසා, රෝගියාට ඇවිදීමට ඉඩ නොදෙන්න.
  • දෂ්ට කිරීමට ලක්වූ අත හෝ පාදය ඉදිමීමට ඉඩ ඇති බැවින්, මුදු , වළළු, නූල්, තද ඇඳුම්, ඔරලෝසු ආදිය ගලවා ඉවත්කරන්න.
  • රෝගියාට වේදනාව ඇත්නම්, පැරසිටමෝල් (Paracetamol) පමණක් ලබාදෙන්න.
  • ඉක්මනින් රෝගියා ළඟම ඇති රජයේ රෝහලට රැගෙන යන්න

..

සර්ප දෂ්ට කිරීමකදී නොකල යුතුදේ කුමක්ද?

..

  • සර්ප දෂ්ටනයට ලක්වු පුද්ගලයා ළඟට එකවර නොයන්න. මක් නිසාද දෂ්ටනය එල්ල කරනු ලැබු සර්පයා මගින් ඒ අසලට යන අනෙක් පුද්ගලයන්ටද දෂ්ටනයට ලක්විය හැක.
  • පළපුරුදු වෛද්‍යවරයෙකුට, දෂ්ට කල සර්පයා නොමැතිව වුවද රෝගියාගේ ලක්ෂණ අනුව, දෂ්ට කරන ලද සර්පයා හඳුනාගත හැකි බැවින්, දෂ්ට කරන ලද සර්පයා මැරීමෙන් වලකින්න. මන්ද එමගින් තවත් අයෙකුද සර්ප දෂ්ටනයට ලක්විය හැකිය. දුරකතනයකින් පින්තූරයක් ගැනීම සිදුකල හැකි පහසුම දෙයකි.
  • කලබල නොවන්න.
  • රෝගියාට කිසිවිටෙකවත් මත්පැන් හෝ කෝපි, තේ වැනි කැෆේන් (Caffeine) අඩංගු පානයන් දීමෙන් වළකින්න. එමගින්, සර්ප විෂ ශරීරගතවන වේගය වැඩිවේ.
  • වේදනාව අඩුකිරීම සඳහා කිසිවිටෙකවත් ඇස්පිරින් (Aspirin) හෝ ඩයික්ලොෆෙනැක් (Diclofenac), ඉබියුප්‍රොෆන් (Ibuprofen), මෙෆෙනමික් ඇසිඩ් (Mefenamic acid) වැනි ස්ටෙරොයිඩ් නොවන ප්‍රතිප්‍රදාහ ඖෂධ (Non-steroidal anti-inflammatory drugs/ NSAIDs) දීමෙන වලකින්න.
  • නස්න කිරීමට යන්න එපා. එමගින්, පෙනහලු වල ආසාදන හෝ ස්ථිර බිහිරිබව ඇතිවිය හැකිය.
  • තැඹිලි, කුරුම්බා, හෝ පළතුරු යුෂ රෝගියාට දීමෙන් වලකින්න. එවැනි දියර වල පොටෑසියම් බහුලව අඩංගු බැවින්, සර්ප දෂ්ට කිරීමකට පසුව වකුගඩු වල ක්‍රියාකාරීත්වයට බලපෑමක් වුවහොත්, එය උග්‍ර වීමට ඉඩ ඇත.
  • පටක වලට හානි සිදුවිය හැකි බැවින්, කොන්ඩිස් වතුරෙන් තුවාලය සේදීමෙන් වළකින්න
  • ශරීරයේ දෂ්ට කල කොටස සෙලවීමෙන් වළකින්න. එමගින්, සර්ප විෂ ශරීරගතවන වේගය වැඩිවේ.
  • දෂ්ට කල ප්‍රදේශය හදවත පවතින මට්ටමට ඉහළින් හෝ පහළින් තැබීමෙන් වළකින්න. දෂ්ට කරන ලද ප්‍රදේශය ඔසවා තැබීමෙන්, විෂ ශරීරගතවන වේගය වැඩිවිය හැකි අතර, හදවත පවතින මට්ටමට වඩා පහළින් තැබීමෙන්, ඉදිමීම තවදුරටත් වැඩිවිය හැක.
  • දෂ්ට කල තුවාළය කපන්න හෝ විෂ උරා ඉවත්කරන්න උත්සාහ නොකරන්න. දෂ්ට කරන ලද තුවාළය කැපීමෙන්, විෂ ශරීරගතවන වේගය වැඩිවිය හැක. එමෙන්ම, විෂ උරා ඉවත්කිරීමට යාමෙන්, එසේ කරන්නාගේ මුඛයේ මෘදු පටක හරහා විෂ ශරීරගතවීම සිදුවිය හැක.
  • විෂ ඉවත්කිරීම සඳහා තුවාලය මිරිකා ලේ ඉවත් නොකරන්න. එමගින්, සර්ප විෂ ශරීරගතවන වේගය වැඩිවේ.
  • දෂ්ට කරන ලද තුවාළයට අයිස් තැබීමෙන් වළකින්න.
  • විෂ ශරීරගතවීම වැළැක්වීමට යැයි කියා දෂ්ට කරන ලද ස්ථානයට උඩින් ගැටගැසීමෙන් වළකින්න. එමගින් ඉදිමීම වැඩිවිය හැකි අතර, රුධිර සංසරණයට බාධා පැමිණීම නිසා දෂ්ට කරන ලද අත හෝ පාදය කපා ඉවත්කිරීමට සිදුවන අවස්ථාද ඇතිවිය හැක.
  • දෂ්ට කරන ලද සර්පයා මරා ඇත්නම්, කිසිවිටෙක සර්පයා ස්පර්ශ කරන්න එපා. ඇතැම්විට සර්පයා මිය නොගොස් සිටියහොත්, නැවත දෂ්ට කිරීමට හැකියාව ඇත. එමෙන්ම, සර්පයා මියගොස් පැයක් පමණ ගතවනතුරු ප්‍රතීක ක්‍රියාවක් මගින්, ඉබේ දෂ්ට කිරීමකට ලක්විය හැක.


..

සර්ප දෂ්ට කිරීම් වළක්වාගන්නේ කෙසේද?

..

..

වගාබිම්, ගොවිපල, සහ වතු ආදී මිනිස් වාසස්ථාන වල මෙන්ම කඳු නගින්නන් ගමන් කරන කැලෑබද ප්‍රදේශවල මෙන්ම ගමන්මාර්ග වලදීද සර්පයන් ගැවසිය හැක. එමනිසා, සර්ප දෂ්ට කිරීම් වලින් වැළකීම සඳහා පහත සඳහන් ක්‍රියාමාර්ග නිර්දේශ කල හැක.

..

  • වැඩි වශයෙන් සර්ප දෂ්ට කිරීම් සිදුවන්නේ පාදවලට බැවින්, සර්පයන් බහුල ප්‍රදේශ වල ගැවසෙන විට, සපත්තු හෝ බූට් සපත්තු පැළඳීම කලහැක. එයට අමතරව, දිග කලිසම් (ඝනකම් රෙද්දකින් මසන ලද ඒවා නම් වඩා උචිත වේ) හැඳීමද කළ හැක. කඳු නගින්නන් වශයෙන් අපද මෙය අනුගමනය කල යුතුය.
  • රාත්‍රී කාලයේ ගමන් කරන්නේ නම්, සැමවිටම විදුලි පන්දමක් දල්වාගෙන ගමන් කරන්න. කඳු තරණය කරන්නෙක් ළඟ සෑම විටම විදුලි පන්දමක් තබාගැනීම සුදුසුය.
  • ගමන් කරන විට, ලී කැබැල්ලක් රැගෙන ගමන් කරන මාවතේ බිමට සහ පඳුරු වලට තට්ටු කරමින් ගමන් කරන්න. එමෙන්ම, පාද පොළොවේ හොඳින් ගැටෙන සේ, අඩි තබමින් ගමන් කරන්න. සර්පයන් බිහිරි වන මුත්, කම්පන හොඳින් දැනේ. එබැවින්, එසේ කිරීමෙන්, සර්පයන් ඔබ ගමන්කරන මාර්ගයෙන් ඉවත්වීම සිදුවේ.
  • කූඹි ගුල්, වේ හුඹස්, ගස් බෙන, ඝන පඳුරු, ලී කොට හා ගල් තුළට හෝ යටට අත දැමීමෙන් වළකින්න.
  • ඔබේ වත්තේ ඇති කූඹි ගුල්, වේ හුඹස් ආදිය ඉවත්කරන්න. ගස් බෙන වසා දමන්න. වත්තේ තැන තැන ලී කොට, දර, හෝ ඇද වැටුණු ගස් ආදිය තිබෙන්නට ඉඩ හරින්න එපා. ලී කොට, දර, ගල් ආදිය ඉවත්කිරීමේදී, සැමවිටම ප්‍රවේශම් වන්න.
  • ගොවිතැන් කරන විට විමසිලිමත්ව, ප්‍රවේශමෙන් කටයුතු කරන්න. අවසන් ලියැදි වල වැඩ කිරීමේදී විෂේශයෙන් සැලකිලිමත් වන්න. මක්නිසාද, මුලින් අස්වනු නෙළන ලද ලියැදිවල සිටි සර්පයන්, අවසන් ලියැදි වලට ගොස් තිබීමට ඉඩ ඇත.
  • වත්තේ සහ නිවසේ කුණු කසල නිසි පරිදි බැහැර කරන්න. නැතහොත්, සර්පයන්ගේ ගොදුරු වන ගෙම්බන්, කටුස්සන්, මීයන් ආදී සතුන් බෝවීම සිදුවේ.
  • කිසිවිටෙක, නිවස තුළ වී ගබඩා කර තබන්න එපා. එමගින්, මීයන් බෝවීම වැඩිවන බැවින් සර්පයන් ආකර්ෂණය වීම සිදුවිය හැක.
  • හැකි සෑමවිටම, බිම නිදාගැනීමෙන් වළකින්න. කඳු නගින්නන් වශයෙන් කඳවුරු භූමි වලදි බිම හෝ කුඩාරම් තුළ නිදාගන්නේ නම් හැකි සෑම විටම අවට ගැන විමසිලිමත් විය යුතුවේ.
  • සැමවිටම, භාවිතයෙන් පසු ඔතන ලද පැදුරු බිම තිබෙන්නට හරින්න එපා. ඒවා ඉහළින් එල්ලා තබන්න. නැතහොත්, කරවලුන් වැනි සර්පයන් පැදුරු තුළට හෝ යටට ඇතුළුවීමට පුළුවන. කදු නැගීමේදී භාවිතා කරන ලද පැදුරු කූඩාරම් වැනි දෑ උඩකින් එල්ලා තැබීම සහ නැවත පරිහරණය කිරීමේදී හොදින් ගසා පරීක්ෂා කර භාවිතා කිරීම
  • කිසිවිටෙක මියගොස් ඇති හෝ සජීවී සර්පයෙකු ඇල්ලීමට නොයන්න.
  • සර්පයන් ගැවසීමට ඉඩ ඇති පරිසර වල කුඩා දරුවන්ට සෙල්ලම් කිරීමට හෝ ගැවසීමට ඉඩනොදෙන්න...

..

මෙම ලිපිය මගින් කඳු නගින්නන්, ගවේශකයන් ඇතුලු සියලු දෙනාටම සර්පයින් යනු කවුරුන්ද, ඔවුන්ගේ ලක්ෂණ, සර්ප විෂ, මිත්‍යා මත, ප්‍රථමාධාර, සර්ප දෂ්ටනයකදී නොකළ යුතු දෑ මෙන්ම සර්ප දෂ්ටනයෙන් වැළකීමට කළ හැකි දෑ පිළිබද අවබෝධයක් ලබා ගන්නට හැකි වනු ඇතැයි අපේක්ෂා කරමු.

..

සටහන: චාමිකා රන්සරණි

1146 3
Created : Jul 16, 2022 10:14am
Last updated : Apr 25, 2024 10:41pm

KBH NAVODYA

July 7th, 2022 - 3:00PM

It's a valuable article.Keep it up.

Ashmika Shehan

July 7th, 2022 - 6:19AM

wow! very interesting article.

Janani Kannangara

July 7th, 2022 - 1:26PM

It is very important article.all the best