Loading

Loading...

Survive in the Woods! | වනයක අතරමං වුනොත් මොකද කරන්නේ?

සාමාන්‍යයෙන් කඳු නගින්නන් ගමන් කරන මාවත් බොහෝවිට පහසු මාර්ගයන් වන්නේ නැත. මාර්ගෝපදේශයක් නොමැතිව, හරි අඩිපාරක් නොමැතිව තරණය කිරීමට බොහෝ අවස්ථා වලදී සිදු වේ. එමෙන්ම අධික වර්ෂාව, මීදුම වැනි සාධක මධ්‍යයේ තරණය කිරීමේදී, අප නිවැරැදි මාවතින් ඉවත්ව වෙනත් වැරදි මාර්ගයක ගමන්කිරීමට ද ඉඩකඩ පවතී.

..

කඳු තරණයකදී අතරමං වීම යනු, අපට මුහුණදීමට සිදුවන තරමක් භයානක අත්දැකීමක් වේ. මේ සිදුවීම අපට ඕනෑම මොහොතක ඕනෑම තැනක සිදුවීමේ හැකියාවක් ඇත. එමනිසා, එවැනි අවස්ථාවකදී අපි ක්‍රියා කළයුතු ආකාරය පිළිබඳව මෙම ලිපියෙන් ඉගෙනගනිමු.

..

කඳු නගින්නෙකු ලෙස අප දැනුවත් වියයුතුම සහ කඳු තරණයකදී දිශාව දැනගැනීමට ඉවහල් වන ප්‍රධානම ක්‍රම තුනක් වන සිතියම්(Map) , මාලිමාව(Compass) හා වන මං සලකුණු(Trail Signs) පිළිබඳව මීට පෙර ලිපියක් මගින් විස්තර කරඇත.

..

නමුත්, කඳු හෝ කිසියම් තරණයකදී ඔබ අතරමං වුවහොත් කුමක් සිදුකළ යුතු ද ??

..

ඔබේ කණ්ඩායමෙන් ඔබව මගහැරුණේ නම්, මුලින්ම ඒ පිළිබඳව දැනුණු විගසම කළයුත්තේ ඔබ අතරමං වුණු බව හා ඔබ සිටින ස්ථානය ඔබේ කණ්ඩායමට දැනුම් දීමයි. ඒ සඳහා අවට ඇති උස් හෝ එළිමහන් ස්ථානයක් තෝරාගැනීම මෙම පියවර සාර්ථක වීමට හේතුවනු ඇත.

..

මෙවන් අවස්ථාවක දී,

      • හඬනගා කෑගැසීම,
      • ඔබ ළඟ Whistle එකක් තිබේ නම්,එය නාදකිරීම,
      • ඒ කිසිවකින් ඵලක් නොමැතිනම් ඔබේ බෑගයේ ඇති කුමන හෝ විශාල ශබ්දයක් ඇති දෙයකින් ශබ්දය ඇතිකිරීම,

මගින් ඔබ අතරමං වී ඇති බව ඔබේ කණ්ඩායමට දැනුම්දීමට ඔබට හැකිවනු ඇත.

..

නමුත් සමහරවිට, මෙම කිසිදු ක්‍රමයකින් ඔවුන්ට ඔබව නොඇසී යාමට ද ඉඩකඩ පවතියි. එවිට ඔබේ ළඟ ඇති ආලෝකය පරාවර්තනය කළහැකි,

    • කණ්ණාඩියක්,
    • Mobile Phone Screen හෝ
    • Aluminium foil එකක් සහිත ආහාර ඇසුරුමක් වැනි යමක්..

පවතී නම් එය මගින් සූර්‍යාලෝකය පරාවර්තනය කරමින් ඔබ සිටින ස්ථානය සංඥා කළහැක. රාත්‍රී කාලයකදී නම්, මේ සඳහා විදුලි පන්දමක් හෝ වෙනත් ආලෝක ප්‍රභවයක් භාවිතා කළහැකිය.

..

එමෙන්ම මෙම අවස්ථාවේ දී ඔබ පැළඳ සිටින ඇඳුම සුදු හෝ තරමක් වර්ණවත් තද පැහැ ඇඳුමක් නම්, කණ්ඩායමට ඔබව සොයාගැනීම පහසුවීමට ඉඩ ඇත.

..

මේ පියවර කිසිවක් සාර්ථක නොවූයේ නම්, ඔබට අවස්ථාව අනුව දුම මගින් පණිවිඩයක් නිකුත්කළ හැකිය. මේ සඳහා ගිනිමැළයක් සාදාගෙන එම දුම භාවිතා කළහැක.

..

මේ ක්‍රම කිසිවකින් ඔවුන්ට ඔබව සොයාගත නොහැකි වූයේ නම් හෝ ඔබ තනිවම ගමන් කරන්නෙක් හෝ ඔබ කණ්ඩායමක් ලෙස අතරමං වූයේ නම්,

..

    • මුලින්ම ඔබ ඔබව සොයා පැමිණෙන තවත් කණ්ඩායමක් සිටියි නම්, ඔවුන්ට ඔබ මේ මාවතේ ගමන් කළ බවට ඇඟවීමක් කළයුතුය.

..

    • ඒ සඳහා ඔබ ගමන් කරන මාර්ගය දිගේ කොළ අතු කඩාදැමීම සිදුකළ හැක. එසේම ඔබේ ළඟ වර්ණවත් රෙදි කැබැල්ලක් තිබේ නම් එය ඔබ ගමන් කරන මාර්ගයේ ඇති කොළ අතුවල ගැටගැසීම වැනි ක්‍රම භාවිතා කළහැක.

..

එසේ නොමැතිනම්, ගැළවීමේ මෙහෙයුම සැළසුම් කළයුත්තේ ඔබ විසින්ම වේ.

..

මුලින්ම ළඟින්ම ඇති එළිමහන් බිමකට හෝ උස් බිමකට ගමන්කර හෝ නැගීමට හැකි ගසක් සොයාගෙන තමා සිටින ස්ථානයේ පිහිටීම පිළිබඳව දළ අදහසක් ලබාගත යුතුය. ඔබ අතරමං වූ පසු ගමන් කිරීමට තීරණය කලහොත් තෝරගත් දිශාවක් ඔස්සේ එක එල්ලේ ගමන් කිරීම වඩාත් උචිත වේ. මක්නිසාද යත් ශ්‍රී ලංකාව තුල පිහිටි බොහෝ වනාන්තර තුල එක් දිශාවකට දවසක් වැනි කාලයක් ගමන් කල විට මිනිස් ජනාවසයක් සහිත පෙදෙසකට ලඟා වීමේ වැඩි ඉඩකඩක් ඇති බැවිනි. එසේත් නැතිනම් ඔබට ගමන් කරන දිශාව පිලිබඳව පහත පරිදි තීරණය කල හැක.

..

..

ඔබ සතුව මාලිමාවක් හා සිතියමක් තිබේනම්,

..

මාලිමාව හා සිතියම් භාවිතය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් පහත සබැඳි මගින් ලබාගත හැක.

..

Mora Hiking Club | Navigation Techniques

..

මුලින්ම තමාගේ පිහිටීම සිතියමෙන් සොයාගැනීමට උත්සාහ කරන්න. මේ සඳහා අවට ඇති භූ විෂමතා ලක්ෂණ හා සමෝච්ඡ රේඛාවල පිහිටීම භාවිතා කළහැක. හුදෙකලා කඳු, නෙරු, තැන්නේ ස්වභාවය හෝ බෑවුමේ ස්වභාවය ඔබට ඔබේ ස්ථානය පිළිබඳව සොයාගැනීමට උපකාරී වනු ඇත. ඉන්පසු මාලිමාවේ උතුරු දිශාව හා සිතියමේ උතුරු දිශාව සමපාත කර, සිටින ස්ථානය තවත් තහවුරු කරගැනීමට උත්සාහ කරන්න. ඒ අතරම ඔබගේ පිහිටීම සොයාගෙන, ගමනාන්තය ද සිතියමේ ලකුණු කරගන්න.

..

මෙහිදී ගමනාන්තය යනුවෙන් අදහස් කරන්නේ ඔබට ගැළවීමට හැකි ඕනෑම ස්ථානයක් වේ. මේ සඳහා ගම්මානයක්, තේ වගාබිමක්, හේන් වගාබිමක් හෝ එවැනි යම් වගාබිමක් සොයාගෙන යාමද සුදුසු වේ. මක්නිසාද යත් එවිට උදව් සඳහා පුද්ගලයින් සොයාගත හැකි බැවිනි. මෙවැනි අවස්ථාවකදී විදුලි වැටවල්, සතුන්ට බැඳ ඇති තුවක්කු යනාදිය පිළිබඳව සැලකිලිමත් වීමද අත්‍යාවශ්‍ය වේ.

..

අප සිටින ස්ථානයේ සිට ගමනාන්තයට සුදුසු මාවතක් තීරණය කිරීම ඉන්පසු සිදුකළ යුතු වේ. සිතියම මගින් මාවත තීරණයේදී වඩාත්ම සැළකිලිමත් වියයුත්තේ දැඩි බෑවුම් ආදිය මගහැර, ඈතින් ඈතින් සමෝච්ඡ රේඛා පවතින, එනම් වඩාත් තැනිතලා මාර්ගයක ගමන සැලසුම් කරගැනීම වේ.

..

ගමනේ දුර ගැනද සැලකිලිමත් විය යුතුය. දැනට ඔබ සතුව පවතින ආහාර හා ජල ප්‍රමාණය, ඔබේ වෙහෙස හා කාලගුණ තත්ත්ව, සතුන්ගෙන් සිදුවිය හැකි අනතුරු වැනි කරුණු මේ අවස්ථාවේදී අනිවාර්‍යයෙන්ම සැලකිල්ලට ගතයුතු වේ.

..

ගමන අතරතුරදී නිතරම තමාගේ පිහිටීම තහවුරු කරගැනීමට, ඉහත පියවරවල් නැවත අනුගමනය කිරීම අනිවාර්‍යයෙන්ම සිදුකළ යුතු වේ. නැතිනම් ඔබ නැවත නැවතත් අතරමං වීම සිදුවිය හැක.

..

ආරක්ෂිත ගමනාන්තයක් සොයායාමට හැකි තවත් ක්‍රමයක් නම්, ගලායන ජල පහරක් සොයාගෙන ඒ ඔස්සේ පහළට ගමන් කිරීමයි. බොහෝවිට මෙවැනි ජල පහරවල්, අසළ ඇති මිනිස් වාසයක් හරහා ඇදී යයි.

..

ඔබ අතේ මාලිමාවක් නැතිනම්, මෙවන් අවස්ථාවක අපට නිවැරදිම දිශාව නිර්ණය කිරීමට අපහසු බැවින් ආසන්න වශයෙන් දිශාව සොයාගැනීමට පහත ක්‍රම භාවිතා කළහැක.

..

    • හොඳින් සූර්‍යාලෝකය තිබෙන අවස්ථාවක සෙවණැල්ලේ දිශාව භාවිතා කරගෙන දිශාව සොයාගත හැක. මෙහිදී උදෑසන කාලයක නම් සූර්‍යයා පවතින්නේ නැගෙනහිර දිශාවේ නිසා සෙවණැල්ල යොමුවන්නේ බටහිර දිශාවට වේ. එසේම සවස් වේලාවක නම් සෙවණැල්ල නැගෙනහිර දිශාවට යොමුවේ.

..

    • බොහෝ යාත්‍රිකයන් උතුරු දිශාව සොයාගැනීමට උතුරු තරුව (Polaris) යොදාගනී. මෙම තරුව සෑමවිටම පෘථිවියේ උත්තර ධ්‍රැවයට ඉහළින් පවතියි. එහෙත් ලංකාවේ දී නම් මෙම තරුව ක්ෂිතිජය ආසන්නව දර්ශනය වීම නිසා එය උපයෝගී කරගැනීම තරමක් අපහසු වේ.

..

    • එවැනි අවස්ථාවක දී දකුණු කුරුසිය තරු රටාව ද භාවිතා කළහැක. කෙසේ නමුත් රාත්‍රී කාලයේ ගමන් කිරීම බෙහෙවින් අනතුරුදායක ද වියහැක.

..

    • ඔබ සතුව චුම්භකයක් පවතී නම්, චුම්භකය ඉඳිකටුවක් වැනි දිග ලෝහ කූරක පිරිමැද එය නිදහසේ එල්ලා තබන්න. එවිට එය දිශාගත වන්නේ පෘතුවියේ උතුරු-දකුණු දිශාවට වේ. මෙම ක්‍රමය මගින්ද, තාවකාලික චුම්භකයක් සාදාගත හැකි අතර දිශාව ගැන අදහසක් ලබාගැනීමට ද හැකි වේ.

..

    • මෙම සියළු උත්සාහයන් නිෂ්ඵල වූයේ නම්, සිතියම මගින් අවට භූ විෂමතා ගැන අධ්‍යනයෙන් ද අපට දිශාව ගැන දළ අදහසක් ලබාගත හැක. ආසන්න උස්බිම්, රැළිබිම්, කඳු, පල්ලම්, නෙරු, නිම්න ආදී විශේෂ පිහිටීම් මේ සඳහා යොදාගත හැක.

..

මෙම පියවර අනුගමනය කළද, ගැළවීයාමක් පිළිබඳ බලාපොරොත්තුවක් නොමැති අවස්ථාවක අනුගමනය කළයුතු ප්‍රධාන පියවර කිහිපයක් පහත සඳහන් කර ඇත.

..

..

  1. මුලින්ම ගැළවීයාමේ මෙහෙයුම සැලසුම් කිරීමට හෝ රාත්‍රියේ රැඳී සිටීමට සෙවණක් සහිත ස්ථානයක් තෝරාගත යුතු වේ.

ගල් වලින් වටවූ සෙවණක්, ගල්ගුහාවක් (අනතුරුදායක සතුන්ගේ වාසස්ථානයක් දැයි විපරම් කිරීමෙන් අනතුරුව), හෝ ගස් අතර සෑදුණු සෙවණ සහිත ස්ථානයක් තෝරාගැනීම වඩාත් සුදුසු වේ. එසේ සුදුසු තැනක් හමු නොවූයේ නම් ඔබේ ගමන් මල්ලේ ඇති දේවල් භාවිතා කරමින් හෝ එවැන්නක් සාදාගැනීම සුදුසු වේ.

දරුණු කාලගුණ තත්වයන්ගෙන් ආරක්ෂා වීමට, රාත්‍රියේ සිදුවන උවදුරු වලින් ආරක්ෂා වීමට මෙන්ම මෙවැනි අවස්ථාවක අවශ්‍යම ශරීර ශක්තිය ඉතිරි කරගැනීමට මෙම තාවකාලික සෙවණ ඔබට උපකාරයක් වනු ඇත.


..

  1. ගිනිමැළයක් සාදාගැනීම.

රාත්‍රියේ ශරීරය උණුසුම්ව තබාගැනීමට, වන සතුන්ගෙන් ආරක්ෂා වීමට මෙන්ම ආහාරයක් සාදාගැනීම වැනි කාර්‍යයන් සඳහා ද ගිනිමැළයක් සාදාගැනීම ප්‍රයෝජනවත් වියහැක. එසේම ඒ මගින් ඔබ මෙහි සිටින බව තවකෙකුට සංඟා කිරීමද සිදුකළ හැක.

ගිනිමැළයක් සාදාගැනීමට ඔබට අවට ඇති වියළි කොළ අතු, පයින් කොළ, කුඩා ලී කැබලි වැනි දෑ භාවිතා කළහැක.

..

  1. ප්‍රමුඛතා පිළිවෙලකට භාණ්ඩ සකසාගන්න.

බරින් වැඩි ගමන් මල්ලක් රැගෙන යාම ඔබ වැඩි වෙහෙසකට පත්කරයි. එමනිසා අත්‍යාවශ්‍ය ම මෙවලම් පමණක් ඔබ සමඟ රැගෙන යාම සිදුකළ යුතු වේ.

..

  1. ජලය සහිත ස්ථානයක් සොයාගැනීම.

බීමට පිරිසිදු ජලය මෙන්ම ආහාර පිසීම වැනි කටයුතු සඳහා ජල මූලාශ්‍රයක් සෙවීම අප සිදුකළ යුතු වේ. බොහෝවිට තෙත් කලාපීය වනාන්තර වල මේවා සුලබ වුවත්, වියළි කලාපයේ (ජලය සොයා යාමේදී සතුන්ගේ ගැවසීම ද පරීක්ෂා කළයුතුය.) අඩුය. සමහරවිට නිම්නයක් හරහා දියපහරක් පැවතිය හැක.

..

  1. ආහාරඔබ සතුව ඇති ආහාර පිරිමැසුම් සහිතව භාවිත කළයුතු වේ. එසේම හොඳින්ම දන්නා පලතුරු හා හතු වර්ග හැර වෙනත් වනයේදී හමුවන ආහාර භාවිතය අනතුරුදායක වියහැක...
  2. එමෙන්ම වනය තුළ ඇවිදීමේදී තුවාල සිදුවිය හැක. මේවාට විෂබීජ නොයන පරිදි ආවරණය කිරීම සිදුකළ යුතු අතරම තමාගේ පිරිසිදුකම ගැන සැලකිලිමත් වීමද සිදුකළ යුතුය.

..

  1. හැකි සෑම අවස්ථාවකම අන් අයට තමාගේ පිහිටීම දැනුම්දීමට පියවර ගන්න.

..

පෙර සඳහන් කළ පරිදි තමන් මෙම ගමන් මාර්ගයේ ගමන් කළ බවට සලකුණු තබමින් ගමන් කිරීම සිදුකළ යුතු අතර හැකි අවස්ථා වලදී එළිමහන් ස්ථානවල සංඟා කිරීම සිදුකළ යුතුය.

..

අතරමං වීමට පෙර සිටම සුදානම් වී යාමෙන්ද ඔබට මුහුණ දීමට සිදුවන අපහසුතා අවම කරගත හැක. මේ සඳහා ගමන අතරතුරදී මාර්ගය සලකුණු කිරීම වැනි ක්‍රම යොදාගත හැක. ගමන් කරන මාර්ගයේ කොළ අතු අගිසි කඩා දමමින් ගමන් කිරීම මේ සඳහා භාවිතා කළහැකි පැරණි ක්‍රමයක් වන අතර වර්තමානයේදී ඔබගේ ස්මාර්ට් ජංගම දුරකතනයෙහි භාවිතා කළහැකි Geo Tracker වැනි යෙදවුමක්ද මේ සඳහා යොදාගත හැක.

..
..



සටහන:

..


තුෂාන් චාමික

20 කණ්ඩායම

Department of Civil Engineering

977 1
Created : Dec 3, 2022 11:10am
Last updated : Apr 19, 2024 06:45pm

Duetibe

January 1th, 2023 - 3:11PM

Many researchers believe that cancer cachexia is an energy balance disorder that is linked to inflammation <a href=https://bestcialis20mg.com/>where to buy cialis online forum</a> Remember that about 90 of those with LASIK attain vision between 20 20 and 20 40 without using glasses or contact lenses