Loading

Loading...

මහාද්වීප හතක කඳු මුදුන් හතක්.. The Seven Summit Challenge

ඔබත් කඳු නගින්නෙක්ද? අභියෝග වලට මුහුණ දීමට කැමතිද?

එසේනම් ඔබට මුහුණ දීමට හැකි විශාලතම අභියෝගය හා ලබාගත හැකි විශාලතම ජයග්‍රහණය මෙයයි; “සෙවන් සමිට්ස් චැලෙන්ජ්”.

..

1 රූපය (මූලාශ් : www.ukclimbing.com)

..

ලෝකයේ මහාද්වීප හතෙහි ඇති උසම කඳු ශිඛර 7 (1 රූපය) තරණය කිරීමේ අභියෝගය “The Seven Summits Challenge” ලෙස හැඳින්වේ. මේ කඳු සියල්ලම තරණය කිරීම කඳු නගින්නෙකුගේ විශාලතම ජයග්‍රහණයක් ලෙස සැලකේ. මේ අභියෝගය ප්‍රථමයෙන් ජයගනු ලැබුවේ 1985 අප්‍රේල් 30 වෙනි දින රිචඩ් බාස් මහතා විසිනි. එතැන් සිට මෙය ආදර්ශයක් කර ගනිමින් ලොව පුරා දහස් සංඛ්‍යාත කඳු නගින්නන් මේ අභියෝගය ජයගැනීමට උත්සාහ කරමින් සිටින අතර 2016 වසර වනවිට පුද්ගලයන් 416 දෙනෙකු එය සාර්ථකව ජයගැනීමට සමත් වී ඇත.

..

1. කිලිමන්ජාරෝ - Mount Kilimanjaro (5895m)

..

2 රූපය (මූලාශ් : Unsplash වෙබ් අඩවියෙහි David Magalhaes විසිනි )

..

ටැන්සානියාවේ පිහිටා ඇති කිලිමන්ජාරෝ කඳු මුදුන (2 රූපය) අප්‍රිකා මහාද්වීපයේ ඇති උසම කඳු මුදුන වේ. මෙම කඳු තරණය ආරම්භයේදී ඔබ සමකාසන්නයේ සිටින බවද, මුදුනට නැගි පසු ඔබ උත්තරධ්‍රැවයේ සිටින බවක්ද හැඟී යනු ඇත. (3 රූපය) එපමණක් නොව මෙම කඳු මුදුනේ ලී පෙට්ටියක දැමූ පොතක් ඇති අතර, මෙහි මුදුනටම නැගීමට සමත් වන සෑම කඳු නගින්නෙක්ම ඔවුන්ගේ ජයග්‍රහණය පිළිබඳ ඔවුන්ට හැඟෙන දෑ එම පොතේ ලියනු ලබයි.

කඳු මුදුන් 7 නැගීමේ අභියෝගය මෙම කන්දෙන් ඇරඹීම වඩාත් යෝග්‍ය වේ. මන්ද කඳු නැගීම සඳහාම උචිත මනරම් හැඩයකින් යුතු මෙම කඳු වැටිය එල්බ්‍රස් හෝ ඇකොන්කාගුවා වැනි අසීරු කඳු මුදුන් තරණයට පෙර ට්‍රෙකින් (trekking) සහ කඳවුරු බැඳීම (camping) පිළිබඳ පෙරහුරුවක් ලබාගැනීමට උපකාරි වේ.

..

3 රූපය (මූලාශ් : www.followalice.com)

..

කිලිමන්ජාරෝ කඳු මුදුන තරණය කිරීමට හැකි ගමන් මාර්ග 7කි. ඒවා අතරින් ‘විස්කි රූට්’ ලෙස හැඳින්වෙන ගමන් මාර්ගය වඩාත් සුදුසුම සහ සුන්දර දර්ශන සහිත ගමන් මාර්ගය ලෙස සැලකේ. එමෙන්ම ගමන් වියදම්ද අනෙත් මාර්ගයන්ට සපේක්ෂව සාමාන්‍ය අගයක් ගනී. මෙම ගමන් මාර්ගය ඔස්සේ තරණය කිරීමට දින 6-7 අතර කාලයක් ගතවනු ඇත.

තරණය කිරීමට වඩාත් උචිත කාලය : වසර පුරාම හැකි නමුදු අගෝස්තු සහ ජනවාරි මාස වඩාත් උචිත වේ.

..

2. එල්බ්‍රස් කඳු මුදුන - Mount Elbrus (5642m)

..

4 රූපය (මූලාශ් : Unsplash වෙබ් අඩවියෙන් Ivan Lukyanov විසිනි )

..

එල්බ්‍රස් කන්ද (4 රූපය) යුරෝපයේ උසම කඳු මුදුනයි. කඳු මුදුන තෙක් ගමන් මාර්ගය කුඩා ආනතියක් සහිත වුවත් තරමක තාක්ෂණික දැනුමක් අවශ්‍ය වේ. එම නිසාම මෙය ice axe, team rope travel වැනි කඳු තරණයේදී අවශ්‍ය වන තාක්ෂණික ක්‍රම පුරුදු පුහුණුව සඳහා ඉතා සුදුසුය. එසේම ඇකොන්කාගුවා, ඩෙනලි වැනි වඩා අසීරු කඳු තරණයේදී මෙයින් ලද පුහුණුව ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.

මෙම කඳු මුදුන තරණය කිරීමට හැකි මාර්ග 4ක් ඇති අතර ඒවා අතරින් උතුරු සහ දකුණු යන මාර්ග දෙක ප්‍රධාන වේ. එල්බ්‍රස් කඳු මුදුන තරණය කළ පළමු පුද්ගලයා වන Khillar Khachirov භවිතා කළ උතුරු මාර්ගයේ පාරවල් හෝ කේබල් කාර් නොමැති අතර ප්‍රධාන කඳවුරේ සිට මුලු දුරම ඇවිද යාමට සිදු වේ. ඒ සඳහා දින 6-8 අතර කාලයක් ගතවනු ඇත. නමුත් ඔබ දකුණු මාර්ගය භාවිතා කළහොත් එහි පාරවල් සහ කේබල් කාර් ද ඇති නිසා දින 3-5 පමණ කාලයකින් ගමන අවසන් කළ හැක.

තරණය කිරීමට වඩාත් උචිත කාලය : Caucasus කඳු පන්තියට ග්‍රීෂ්මය වන ජූලි සිට අගෝස්තු දක්වා මාස

..

3. ඇකොන්කාගුවා - Aconcagua (6961m)

..

5 රූපය (මූලාශ් : Unsplash වෙබ් අඩවියෙන් Florencia Chacon විසිනි )

..

කොන්කාගුවා කඳු මුදුන (5 රූපය) ආජන්ටිනාවේ අන්දීස් කඳු වැටියෙහි පිහිටා තිබේ. මෙය දකුණු ඇමරිකාවේ උසම කඳු මුදුන වන අතර ආසියාවෙන් පිටත පිහිටා ඇති උසම කන්ද ද වේ. ඇකොන්කාගුවා වනෝද්‍යානය නිසා මෙය කඳු නගින්නන්ගේ ආකර්ෂණය දිනාගනු ලබයි. කඳු මුදුන දක්වා ඇති ගමනට වින්සන් හෝ ඩෙනලි කඳු සඳහා තරම් තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවූවද ඉහළ ශාරීරික සුවතාවයක් සහ හොඳ කඳවුරු බැඳීමේ (camping) හා ගමන් මලු සැකසීමේ (backpacking skills) හැකියාවක් තිබිය යුතුය.

මෙම කඳු මුදුන තරණය කිරීමට හැකි ප්‍රධාන මාර්ග 3කි. ඒවා නම්; Normal Route, Polish Traverse Route සහ Polish Glacier Route ය. මේ අතරින් Normal Route එක අයිස් මත නැගීමට එතරම් අත්දැකීම් නොමැති කඳු නගින්නන් සඳහා වඩාත් යෝග්‍ය වේ. මන්ද යත් මෙහිදී අයිස් හෝ හිම මත ඇවිදීමට සිදු වන්නේ ගමනේ අවසන් දින වලදී පමණි. නමුත් නැරඹිය හැකි දර්ශන හා පරිසරික සුන්දරත්වය අතින් නම් අනෙකුත් මාර්ග දෙක Normal Route එකට වඩා ඉහළින් සිටියි. කඳු මුදුන තරණය සඳහා දින 18-20 පමණ කාලයක් ගතවන අතර එක් අයෙකුට ඩොලර් 6000 පමණ පිරිවැයක් දැරීමට සිදු වේ.

තරණය කිරීමට වඩාත් උචිත කාලය : නොවෙම්බර් සිට මාර්තු දක්වා

..

4. කාස්ටෙන්ස් පිරමිඩ් - Carstensz Pyramid (4884m)

..

6 රූපය (මූලාශ් : www.stringfixer.com)

..

පැපුවා නිව්ගිනියාවෙ පිහිටා ඇති කාස්ටෙන්ස් පිරමිඩ් (ඉන්දුනීසියානු භාෂාවෙන් පුන්කක් ජයා - Puncak Jaya ලෙස හඳුන්වයි - 6 රූපය ) ඔස්ට්‍රලේෂියාවේ උසම කඳු මුදුන වන අතර ලෝකයේ දූපතක පිහිටා ඇති උසම කන්ද ද වේ. එමෙන්ම ලෝකයේ ඉතා සුලු සංඛ්‍යාවක් වන ග්ලැසියර් සහිත නිවර්තන කඳු වලින් එකකි. කඳු මුදුන දක්වා ගමන් මාර්ගය දුෂ්කර වීම හේතුවෙන් මූලික ගැට, rappelling, fixed rope ascension වැනි කඳු නැගීමේ තාක්ෂණික ක්‍රමෝපායන් පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය වේ. නමුත් මෙම ගල් පර්වතය තද, කඩාහැලීම් අඩු, තෙත් කාළගුණයේදී පවා හොඳ ඝර්ෂණයකින් යුතු අතර නැගිමට පහසු එකක් වේ.

..

(7 රූපය (මූලාශ් : www.advnture.com)

..

මෙම කදු මුදුන තරණය කරන්නෙකු සතුව විකල්ප දෙකක් පවතී. එනම් බාලි (Bali) හි Denpasar සිට මූලික කඳවුර දක්වා ගුවන් යානයකින් ගමන් කිරීම හෝ කැලය මැදින් සුගාපා (Sugapa) ගම්මානයේ සිට කඳවුර දක්වා 67km trekking කිරීමයි (7 රූපය - මේ සඳහා දින 5ක් 6ක් ගත වේ). සාමාන්‍යයෙන් විවේක ගැනීමටත් පරිසරයට හුරු වීමටත් මූලික කඳවුරේ දින 3ක් පමණ ගත කරයි. මූලික කඳවුරේ සිට කඳු මුදුන දක්වා යෑමට පැය 12-14 ක් පමණ ගත වේ. මෙසේ හෙලිකොප්ටරයකින් මූලික කඳවුරට ගොස් පසුව කඳු මුදුන තරණය කර පැමිණීමේ සම්පූර්ණ ගමන සඳහා දින 10ක් පමණ ගත වන අතර ඩොලර් 26900 ක පමණ මුදලක් වැය වේ.

තරණය කිරීමට වඩාත් උචිත කාලය : අප්‍රේල් සිට නොවෙම්බර් දක්වා

..

5. ඩෙනලි - Denali (6914m)

..

8 රූපය (Unsplash වෙබ් අඩවියේ Bryan Goff විසිනි )

..

ලස්කාවේ ඩෙනලි ජාතික වනෝද්‍යානය මධ්‍යයේ පිහිටා ඇති ඩෙනලි කඳු මුදුන (8 රූපය) උතුරු ඇමරිකාවේ ඇති උසම කදු මුදුනයි. වනසතුන් නැරඹීමට මෙන්ම අයස්කාන්ත දර්ශනයන් රසවිඳීමටත් මෙම කඳු මුදුන තරණය කරන කඳු නගින්නන්ට හැකියාව ලැබේ. මෙහි දේශගුණික තත්ත්වයන් නිතර වෙනස් වන සුළුය. සතියක පමණ දිගු කාලයක් පවත්නා හිම කුණාටු, සෘණ 40F තරම් පහළ උෂ්ණත්වය, 100kmph සුළං පැවතිය හැකි අතර තවත් විටෙක පැය 20 පමණ එක දිගට වැටෙන හිරු එළිය සමඟ උණුසුම් කාළගුණයක් පැවතිය හැකිය. මෙම කඳු මුදුන තරණය කරන්නන් සතුව ග්ලැසියර් තරණය කිරීමේ ක්‍රම පිළිබඳ දැනුම (glacier skills), team rope travelling (9 රූපය) මෙන්ම ඉහළ දරා ගැනීමේ හැකියාවක් සහ ඉතා හොඳ ශරීර සුවතාවක් ද තිබිය යුතුය.

..

9 රූපය (මූලාශ් : www.explore-share.com)

..

මෙම කඳු මුදුන තරණය කිරීමට හැකි ගමන් මාර්ග 4ක් American Alpine Institute විසින් හඳුන්වා දී ඇති නමුදු වඩාත් යෝග්‍ය සහ වැඩි වශයෙන් භාවිතා කෙරෙන මාර්ගය වනුයේ වෙස්ට් බට්‍රස් (West Buttress) මාර්ගය යි. මෙහිදී ඔබට කහිල්නා ග්ලැසියරය දක්වා ගුවන් යානයකින් ගමන් කර, එහි ඇති මූලික කඳවුරේ සිට ගමන් ආරම්භ කළ හැකිය. මේ සඳහා සමාන්‍යයෙන් සති 3ක පමණ කාලයක් ගත වන අතර, එක් අයෙකු සඳහා ඩොලර් 800-10000 අතර මුදලක් වියදම් වේ.

තරණය කිරීමට වඩාත් උචිත කාලය : මැයි සිට ජූලි දක්වා (වසන්ත කාලය සහ ග්‍රීෂ්මයේ මුල් කාලය තුළදී)

..

6. වින්සන් කන්ද - Mount Vinson (4892m)

..

10 රූපය (මූලාශ් : www.stringfixer.com)

..

න්සන් කන්ද (10 රූපය) ඇන්ටාක්ටිකාවේ ඇති උසම කඳු මුදුනයි. සප්ත කඳු මුදුන් අතරින් වඩාත්ම දුර බැහැරව පිහිටා ඇත්තේ මෙයයි. ගමන් මාර්ගය දුෂ්කර වන අතර තාක්ෂණික ක්‍රමෝපායන් පිළිබඳ දැනුම අනිවාර්යයෙන් අවශ්‍ය වේ. ශීත දේශගුණයට ඔරොත්තු දීමේ හැකියාව මෙන්ම ice axing, team rope travelling, crampons වැනි ග්ලැසියර් තරණය කිරීමේ ක්‍රම පිළිබඳ දැනුම (glacier skills) ද අවශ්‍ය වේ. එමෙන්ම ඇන්ටාක්ටිකාවේ කඳු තරණයේදී අත්දැකීම් සහගත බවද ඉතා ප්‍රයෝජනවත් වේ.

..

11 රූපය - Law Camp (මූලාශ් : www.summitpost.org)

..

මෙම කඳු මුදුන තරණය කිරීම සඳහා ඇති සුදුසුම ආකාරය ALE (Antarctic Logistic and Expeditions) සමඟ ගමන් කිරීමයි. ALE විසින් ඔබව දකුණු චිලි රාජ්‍යයේ පුන්ටා අරීනාස් (Punta Arenas) සිට Ilyushin-76 ගුවන් යානයකින් යුනියන් ග්ලැසියරයේ (Union Glacier) ඇති ඔවුන්ගේ කඳවුරටද, එතැනින් Twin Otter යානයක මිනිත්තු 50ක පමණ ගුවන් ගමනකින් මූලික කඳවුරටද (Base Camp – 2100m) රැගෙන යනු ලැබේ. එතැන් සිට කඳු මුදුන දක්වා කඳවුරු දෙකක් තිබෙන අතර ඒවා Low Camp (2800m – 11 රූපය) සහ High Camp (3775m) ලෙස හැදින්වේ. සම්පූර්ණ ගමන සඳහා දින 5-9 අතර කාලයක් ගත වියහැකි අතර එක් අයෙකු සඳහා වියදම ඩොලර් 15400ක් පමණ වේ.

තරණය කිරීමට සුදුසු එකම කාල පරාසය : දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඇන්ටාක්ටිකාවේ ග්‍රීෂ්ම සෘතුව තුළදී.

..

7. එවරස්ට් - Mount Everest (8848m)

..

(12 රූපය (මූලාශ් : www.stringfixer.com)

..

ආසියාවේ මෙන්ම මුළු මහත් ලෝකයේම උසම කඳු මුදුන මෙයයි. (12 රූපය) හිමාලය කඳු වැටියේ චීන - නේපාල දේශසීමාව අතර මෙය පිහිටා ඇත. සර් එඩ්මන්ඩ් හිලරි සහ ටෙන්සින් නොර්ගේ 1953 දී ප්‍රථම වතාවට එවරස්ට් තරණය කිරීමෙන් පසු මෙය ලෝකවාසී කඳු නගින්නන්ගේ සිහිනයක් බවට පත් විය. නමුත් මෙය ලෝකයේ භයානකම කඳු නැගීම් වලින් එකක් වන අතර වාර්ෂික මරණ අනුපාතය 14.1% වේ. AFP වාර්තාවන්ට අනුව සාමාන්‍යයෙන් සෑම වර්ෂයකම එවරස්ට් තරණය කරන්නන්ගෙන් 5 දෙනෙකු මිය යයි. අධික සීතල, සුළි සුළං සහ මුදුනට නැගීමේදී ඇති වන අඩු ඔක්සිජන් මට්ටම මෙහි ඇති අභියෝග වලින් සමහරකි. ජනවාරි මාසයේදී උෂ්ණත්වය -76F දක්වා අඩු වේ.

..

13 රූපය (මූලාශ් : Mountain Hardware)

..

එවරස්ට් කඳු මුදුන වෙත ගමන් මාර්ග 17ක් පමණ දැනට සොයාගෙන ඇති නමුදු, වැඩි වශයෙන් භාවිතා වන්නේ ඒ අතරින් දෙකක් පමණි. ඒ නේපාලය හරහා ඇති දකුණු මාර්ගය හා ටිබටයෙන් ඇති උතුරු මාර්ගයයි. එම මාර්ග දෙකම ඉතාම අපහසු වුවද උතුරු මාර්ගයේ කිසිවකු අනතුරකට පත් වුවහොත් හෙලිකොප්ටර සේවයක් රහිත නිසා ඔවුන් පහළට ගෙන ඒමට ඇති අපහසුව, දුර වැඩි වීම වැනි කරුණු නිසා දකුණු මාර්ගය වඩා පහසු යැයි පැවසේ. දකුණු මාර්ගය උතුරු මාර්ගයට වඩා සෘජු හා බෑවුම් සහිත වුවද, කිසිවෙකුට අනතුරක් සිදුවුවහොත් ඔවුන් ප්‍රවේශමෙන් හෙලිකොප්ටර මගින් මූලික කඳවුරට ගෙන ඒම පහසුය. සාමාන්‍යයෙන් මෙම මාර්ගය කඳවුරු 5කින් සමන්විත වන අතර කත්මන්දු නගරයේ සිට මූලික කඳවුරට ලඟා වීමට දින 19ක පමණ කාලයක්ද, මූලික කඳවුරේ සිට කදු මුදුන වෙත ළඟා වීමට දින 40ක් පමණ ද ගත වේ. මෙහිදී crampons (13 රූපය), ice axing, team rope travel සහ ladders (14 රූපය) වැනි බොහෝ තාක්ෂණික ක්‍රමවේද යොදා ගැනේ. එමෙන්ම එවරස්ට් තරණය සඳහා එක් පුද්ගලයෙකුට ඩොලර් 28000 – 85000 අතර මුදලක් වැය වේ. නමුත් ඒ සියලු අභියෝග වලට මුහුණ දෙමින් සෑම වසරකම කඳු නගින්නන් 700 – 800 අතර පිරිසක් එවරස්ට් තරණයේ යෙදෙයි.

..

14 රූපය (මූලාශ් : Mountain Hardware)

..

තරණය කිරීමට සුදුසු කාල පරාසය : අප්‍රේල් සහ මැයි (හිමාලයේ පූර්ව මෝසම් සමය)

..

15 රූපය : ජයන්ති මහත්මිය සහ ජෙහාන් මහතා (මූලාශ්‍ර : www.praja.lk)

..

ක්වාසී අප සැමට ගෞරවයක් ගෙන දෙමින් 2016 මැයි 21 වන දින ජයන්ති කුරු උතුම්පල මහත්මිය එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට සමත් වූවාය. එවරස්ට් තරණය කළ ප්‍රථම ශ්‍රී ලාංකිකයා ඇයයි. ඇය ඇගේ මිතුරු, දෙවෙනියට එවරස්ට් තරණය කළ ශ්‍රී ලාංකිකයා වන ජෙහාන් පීරිස් මහතාත් සමඟ එක් වී මේ දිනවල අප ඉහතදී කතිකා කළ Seven Summits අභියෝගයට මුහුණ දෙමින් සිටිනවා. ඔවුන් දැනටමත් එවරස්ට්, කිලිමන්ජාරෝ සහ ඇකොන්කාගුවා යන කඳු මුදුන් තරණය කර අවසන් කර තිබේ.

..

ආශ්‍රිත :

https://en.wikipedia.org/wiki/Seven_Summits

https://www.sevensummits.com/

http://www.alanarnette.com/7summits/7summits.php#:~:text=The%207%20Summits%20represent%20the,the%20goal%20as%20of%202016.

https://www.ukclimbing.com/news/2018/05/7_summits_world_speed_record_broken-71577

https://www.alpineascents.com/

https://www.summitpost.org/mount-vinson/830860

https://www.explore-share.com/blog/climbing-denali-facts-information-routes-climate-difficulty-equipment-preparation-cost/

https://www.youtube.com/channel/UC2hDHAlkucRNOXJyHcmGllw

..

1239 0
Created : May 14, 2022 12:07pm
Last updated : Apr 19, 2024 06:22am