Loading

Loading...

…මොණරගල සංචාරේ ..

" අඩෝහ්..මට ගමනක් සෙට් උනා.."

අගෝස්තු වල ඒලෙවල් ඉවර උනාට පස්සෙ අයාලේ ගිය අපේ ජීවිත ගොඩක් වෙලාවට රැඳුනේ දිලිතගේ ගෙදර.

ඒහේ නිකන් පෙන්ටගන් එක වගේතමයි. නැති දෙයක් නෑ.

ඉතිං එහෙම සෙට් වෙලා හිටපු වෙලාවක තමා දිලිතයා ඔහොම කතාවක් කිව්වෙ.

" කොහෙද.."

ඒ මහිඳු..

" පීකොක් හිල්ස් කියලා.. මේ පුස්සැල්ලාවේ..18 යන්නේ"

ම්ම් මම ශේප් එකේ එවෙලාවෙම ගුගල් බැලුවා කන්දේ උස .. අම්මටසිරි ..මීටර් 1518. අම්මො එදා මීටර් 1140 වෙච්ච අලගල්ල නගිද්දි හොඳ පණ ගියපු මට මේක නැග්ගොත් තියන නරක පණ ටිකත් යයි . ඒනිසා මං කට වහන් ශේප් එකේ හිටියා. කෝමත් ඒක දිලිත සෙට් කරන හයික් එකකුත් නෙමේ නෙහ්. මං නිකං මොකටද එතන ගිහිං උන්ට වාත වෙන්නෙ.

ඉතිං ඒ කතාව එහෙමම යට ගියා. සතියක් විතර ගෙවුනා.

16 වෙනිදා මහ මංඤ්ඤං දවසක් ඒක නම්. පුරුදු පරිදි මගේ හවස් නින්ද දාලා ඇහැරෙද්දි රෑ 9 ට විතර ඇති.

( ඔව් ඔව් අපි නයිට් ටයිම් ඩේටා පාරිභෝගිකයෝ නෙහ්.. )

අම්මටසිරි.. දිලිතයගෙන් මිස් කෝල්ම 5 ක් විතර. වෙනදා මලාට කෝල් එකක් නොගන්න එකා අද මිස් කෝල්ම 5 ක් ගහලා.

ඒකේ තියන කොස්ස ගැන කල්පනා කර කර ම මම ඌගේ නම්බරේ ඩයල් කරා.

" කොහේද මිනිහෝ තෝ ගිහින් හිටියේ..."

ඕං ඔහොම කියාගෙන තමා ඒකා ෆෝන් එකට ආන්සර් කරේ..

වාසනාවන් නෙහ්..

" මං මේ සිහින ලෝකේ සංචාරයක් දැම්ම..මොකෝ ආබාධේ..."

" ආපෝ..තෝ කුම්බකර්ණයා.. ඒක නෙමෙ..දැන් 18 අපි යනෝ . උඹ එනවද...? "

" කොහේද...කව්ද..?? "

" මොකද්ද මනුස්සයෝ ඒ ඩිංගට උඹට ඒක අමතකත් උනාද.. යන්නෙ peacock hills මායි අයියයි මහිඳුයි උවිනුයි . ගම්පහින් සෙට් එකත් එයි .."

" අයියෝ බෑ මචං. අකමැත්තකට නෙමේ එතන ඇවිල්ලා උඹලට වාතයක් වෙන්න බෑ නෙහ්. බලහන්කෝ කන්දේ උස. අව්ලක් නෑ උඹලා පලයන්. ."

" අපෝ.. උඹ වාතයක් නම් තමයි. ඒ උනාට උඹව හලලා යන්න මට අව්ල්.. යමං.. උස අව්ලක් නැ.කන්දෙන් භාගයක් යනකන් බස් එකේ යන්න පුලුවන් ..එතන ඉඳන් පැයක වගේ ගමනක් තියෙන්නෙ

අනික පිට කවුරුවත් නෑ. සමිඳුයි මදුමාල් නුයි උන්ගේ යාලුවෝ දෙතුන්දෙනෙකුයි ඉන්නෙ. යමං. ."

( අන්න රත්තරං යාලුවෝ. අලාවියෝ මතං...)

ඔන්න ඕම තමයි අපේ දෙවනි ගමන වෙච්ච පීකොක් හිල්ස් සංචාරෙට අඩිතාලම වැටුනේ..

කෝම උනත් මෑතකාලේ ට්‍රැවලින් සයිඩ් එකේ සිද්ධ වෙච්ච අනතුරු නිසා ගෙදරින් පර්මිශන් ගන්න එක නම් ටිකක් අමාරු උනා. අන්තිමට ඉතිං දහසක් ජාති කියලා අවසරත් හම්බුනා .

17 වෙනිදා දවසෙම රෝන්දේ ගහලා හවස තමා බඩු ටික පැක් කරන්න ගත්තේ. ගියපාර වැඩිපුරත් එක්ක අත්දැකීම් හම්බුන නිසා මේ පාර අත්‍යවශ්‍ය බඩු භාණ්ඩ විදියට ඩෙක්ස්ට්‍රොස් , ග්ලූකෝස් , ලුණු වතුර වගේ දේවල් ගමන් මල්ලට එකතු උනා. ගෙනියන වතුර ප්‍රමාණෙත් කලින් පාරට වඩා වැඩිපුර දාගත්තා.

17 වෙනිදා රෑ 11. 30 ආපු පොලොන්නරුව බස් එකේ නැගපු අපි කොලඹින් බහිද්දි පාන්දර 3.00 වෙලාව. කොටුවෙන් බැහැලා ඊට පිටිපස්සෙන්ම තිබ්බ නුවර බස් එකට නැගගත්තේ ඒක 3.15 අද්දනවා කිව්ව නිසා. කොන්දොස්තර අයියට සල්ලි දීපු ගමන් නින්දට වැටුණ මට ඇහැරුණේ පට්ට සීතලක් දැනිලා. අම්මටසිරි පේරේදෙණියටම ඇවිල්ල නෙහ්. ඊලඟ හෝල්ට් එකෙ බහින්නත් ඕන. පේරාදෙණිය හංදියෙන් පාන්දර 6 ට විතර බැහැගත්තු අපිට සීතල පිස්සු හැදෙව්වා .

වාසනාවට බැස්සතැනටම ඉස්සරහින් තිබ්බ තේ කඩේට ගිහින් ප්ලේන්ටියක් ගහන්න සෙට් වෙද්දි මහිඳුයි මායි ආපහු එලියට බැස්සේ තේ කඩේ මනුස්සයා පෙන්නපු පාරෙන් ටොයිලට් එකකට ගිහින් අපේ පරිවෘතීය ක්‍රියාවලි ටික ඉශ්ට කරගන්න.

අම්මෝ.. ඒ ටොයිලට් එකට යන පාරේ මගදිගට අපිට ඒ පාර කියපු එකාගේ මෑණියන්ගේ ගුණවරුනාව කියාගෙන ගියේ. ඒක තනිකරම ඇශුවල් එකක්. එක තැනක යකඩ බටේක එල්ලිලාත් පල්ලෙහාට බහින්න තිබ්බා. අපි ඉතිං ඔයිට වඩා උද්වේගකර අවස්ථාවලට බෝම සංයමයෙන් මූණ දීපු කොල්ලෝ නිසා හෙන අමරුවෙන් කන්ට්‍රෝල් කරගෙන හිටියා. වෙන තද වෙච්ච එකෙක් ආව නම් එහෙම එක්කො ඌ පුපුරලා මැරෙනවා නැත්නම් මගදිම යනවා. ඒ තරමට ඒ පාර සෝක්

හොඳම සීන් එක කියන්නේ එච්චර ' දුර කතර ගෙවාගෙන අපි තනියම ආවට අපිට සමාවෙයන් මැණිකේ ' කියන්නා වගේ ඒ ප්ලෙස් එකට ටොයිලට් එකක් කියලා අඳුන ගත්තේ නම ගහලා තිබ්බ නිසා. නැත්නම් ඒක තනිකරම ජපන්නු බෝම්බ ගහපු කුණු වලක් වගේ. අපි ඉතිං ' දුක තද කරං මහ මෙර තරං ' කියලා හිතාගෙන ආපහු ආවා .

ප්ලේන්ටිය බිව්වට පස්සෙ චාර්ජ් එක ඩබල් චාර්ජ් උනා.

ඊට පස්සෙ ඉඳං අනිත් එවුන් ටික එනකන්ම පැයක් විතර තිස්සෙ අපි කරේ ටොයිලට් එකක් හොය හොයා ගියපු එක තමයි.ඒ හොයලත් ආසාවට එකක් හොයාගන්න බැරි උනා කියහන්කෝ.ඒ වෙලාවේ අපේ කටේම තිබ්බෙ මෙහේ එවුන්ගෙ නම් පුපවල් මහලා ඇත්තේ කියලා.

පස්සෙ අපේ සමිඳු එහෙමත් නැත්නම් ' ඩොන්සා ' ඇතුලු පිරිස ආව. ඒ සෙට් එකම ඉතිං හෙන කූල් චරිත.

ඩොන්සා නම් ඉතිං පරණ මිත්‍රයා නේ අපේ.

අපි ගම්පොල ස්ටෑන්ඩ් එකට එද්දි 7.50 විතර ඇති. අම්මෝ.. ගම්පොල මිනිස්සුන්ට නම් පුපවල් තියනවද කොහෙද.. ස්ටෑන්ඩ් එක පිටිපස්සෙ පොදු වැසිකිලි සංකීර්ණේ ලස්සනට පිලිවෙලට තිබ්බා. ඒක දැක්ක මට නිවන් ගියා වගේ. මධුමාල් අපිට සෙට් උනෙත් ගම්පොල ස්ටෑන්ඩ් එකෙන් තමා.

කෝමින් කෝම හරි දොරගල බස් එක 8.10 අද්දන්න කලින් නැගගත්තු අපිට ඊලඟට වාතයක් උනේ බස් එකේ පිටීපස්සෙම වගේ වාඩිවෙලා හිටපු පූර්වළමාවිය සංවර්ධන නොවිච්ච සෙට් එක. උනුත් පීකොක් හිල්ස් ම තමා යන්නෙ. මොන්ටිසෝරි ට්‍රිප් එකක් වගේ මුලු බස් එක දෙවනත්වෙන්න කෑගැහුවා යනකන්ම. මං හිතන්නෙ බස් එකක ගියපු පලවෙනි පාර වෙන්නැති.

උන්ගේ කන්කරච්චලේ මැද්දෙන් පැයක් විතර යද්දි අපි දොරගල තේ ෆැක්ටරිය ගාවට ආවා. එතනින් බැහැගත්තු අපි එතන තිබ්බ කඩේක බිස්කට් ටිකත් හිස් කරලා හෙමීට උඩට නගින්න ගත්තා.ඩොන්සා තමා ඉතිං නඩේ ගුරා උනේ.

නෝමල් පාරේ ටිකක් උඩහට ගිහින් එතන ඉඳන් තේවත්තක් අයිනෙන් නැගල ශෝර්ට්කට් දෙකතුනකුත් හොයාගෙන ගියපු ඒ පැයභාගෙක විතර ගමන හරි සුන්දරයි. කන්ද නගිද්දි පැත්තකින් ඈතින් අම්බුලුවාවත් පෙන්න ගත්තා.

රසකතා , ගොං කතා , බයිට් වීම් වලින් පිරිලා තිබ්බ ඒ ගමනේ එක තැනකදි අපිට හම්බුනා ගම ඇතුලේ තියන චූටී දහම්පාසලක්. ඒ දහම්පාසලේ හිටපු චූටී ටීචර්ලාගේ ගැමි සුන්දරත්වය දැකපු අපිට හිතුනෙම ගමන පැත්තකින් දාලා දහම්පාසලෙන් වාඩිවෙලා ඉන්න.

කතාවෙන් කතාවෙන් අපි ෆයිනස් කැලේට ආව. ෆයිනස් කැලේක ලස්සන ගැන ඉතිං දන්නෝ දනිති. ඒක ඇතුලෙදි ලස්සන ෆොටො ටිකක් නම් වැදුනා කට්ටියගෙම.

ෆයිනස් කැලේ දිගේ විනාඩි 45 විතර උඩට යද්දි අපි මුදුන හරියටම ආවා. දෙයියන්ගේ පිහිටෙන් එදා නම් මට කිසිම ආබාධයක් උනේ නෑ. මට කින්ඩිය දාන්න බලං හිටපු එවුන්ට හුලං තමා

" උඹට අව්ලක් ආබාධයක් නැතුව කඳු නගින්න පුලුවන් කියලා පෙන්නන්න තමා අද මං උඹව කෝම හරි ඇදන් ආවේ..."

දිලිතගේ ඒ වචන වලට නම් මට කඳුලුත් ආවා..

කෝම හරි අපි මුදුනට යනකොට 10 ට විතර ඇති. එතන ඉදං ඉතිං කට්ටියගේ කැමරා හරඹේ තමා. එක එක ඇක්සන් වලින් එක එක තැන් වල ෆොටෝ ගහනවා.

පැය එකහමාරක් විතර මුදුනේ හිටපු අපි ආපහු පල්ලෙහාට බහින්න ගත්තේ ආපහු යන්න ඕන නිසා වගේම අර මං කලින් කියපු මොන්ටිසෝරි සෙට් එක බඩගාලා බඩගාලා මුදුනට ආපු හින්දා උන්ටත් ඉඩ දෙන්න උන නිසා.

බහින කලාවෙත් ඉතිං රසකතා ගොඩායි. , ලෙමනේඩ් සහා ෆැන්ටා මික්ස් කරලා හදපු කොක්ටේල් එක , පල්ලමේ පාර දිගට දුවපුහැටි..

කොහොම හරි දොරගල තේ ෆැක්ටරිය ගාවට එද්දි 12 වෙලාව. බස් එක එන්නෙ 1ට නිසා එතන ඉඳලා තේරුමක් නැති එකේ මහසෑයවත් බලමු කියාලා හිතාගෙන පල්ලමේඑ පල්ලෙහාට බැස්සා. එහෙම හිතාගෙන බැස්සට අන්තිමට ඩෑම් එක ගාවට එනකන්ම පයින්ම තමා කිලෝමීටර් 8 විතර.

අන්තිමට මහ සෑයත් බලලා එතනින් ආපහු පල්ලෙහාට අපිම හොයාගත්තු ශෝර්ට්කට් වලින් තේ වතු දිගේ බැහැගෙන බැහැගෙන ගිහින් කොත්මලේ ඩෑම් එකත් බලලා එතන ඉස්සරහින්ම යන්න ආපු ගම්පල බස් එකට නැග්ගෙ ජීවිතේ තවත් ලස්සන මතක ගොඩාක් එකතු කරගෙන.

... ඉවරායි ....

( විශේෂ ස්තූතිය ආදරණීය මිත්‍රයන් දෙන්නා දිලිතට සහ සමිඳුට )

----------------------------------------------------------------------------

ලංකාව කියන්නෙ චුටි රටක්. හැබයි බලන්න තියන තැන් නම් මහ ගොඩායි. ඒ සේරම බලන්න යනවා වගේම ඒ තැන් ආරක්ශා කරගන්නත් ඇවිදින්න යන අපිට පුලුවන් වෙන්න ඕන. මැරෙන්න කලින් මේ සුන්දර ලංකාවේ පුලුවන් තරම් ලස්සන තැන් වල ඇවිදින එක අපි කාගෙත් හීනයක්. ඒ හීනේ හැබෑ කරගන්න යන ගමනෙදී අපි එක දෙයක් මතක තියාගත්ත නම් ඇති.

" පියසටහන් තබා යන්න ; මතක සටහන් රැගෙන යන්න "

- ලෝ -

Created : Jun 1, 2020 01:53pm
Last updated : Apr 23, 2024 07:59am