Loading

Loading...

පුංචි නවසීලන්තයට ගිය අපූරු ගමන

මෙවර අපගේ චාරිකාව වූයේ අතිශය සුන්දර බෝපත්තලාව ,හරිත කන්ද නොහොත් පුංචි නවසීලන්තය ලෙස හදුන්වන හරිත පැහැයෙන් වැසි ගිය කඳු වැටියයි.හරිත කන්දට යන මාර්ගය පිළිබඳ දල අදහසක් මා තුල තිබූ නමුත් ඒ නියම මර්ගයමදැයි නිශ්චයක් මා තුළ නොවුනි.හැටන් නගරයට ගොස් එතැන්සිට බොගවන්තලාව බසයක, බගවන්තලාව ගමට ගොස් එතැන් සිට කන්දට යා හැකි බවක් මා දැන සිටියෙමි.මෙවරද මාගේ සුපුරුදු මිතුරන් පිරිස පෙර පරිදිම මේ සඳහාඑක්විය.හැටන් නගරයට බදුල්ලේ සිට දුම්රියෙන් යෑමට තීරණය කරමින් දුම්රිය කාලසටහනට අනුව පසුදා උදෑසන 8.30ට ගමන් අරම්භ කරන පොඩි මැණිකේ දුම්රියෙන් හැටන් බලා යෑමට අප කටයුතු සුදානම් කර ගත් අතර පෙර පරිදිම මෙවරත් රාත්‍රී කඳවුරු බැඳිමට තිරනය කර ගතිමු. නමුත් අපිට පසුදා උදෑසන වනතුරුම කූඩාරමක් හොයා ගැනිමට නොහැකි විය.එම නිසා අපගේ තීරණය වූයේ කෙසේ හො දවසින් කන්ද තරණය කොට අවසන් කිරීමටයි. මෙවර අපගේ ගමනට ගමන් සගයින් 8 දෙනෙකු පමණ එක් වූ අතර සියලු දෙනාම උදෑසන 7.30වන විට විශ්ව විද්‍යාලය අසලට එක් වි පසුව උදෑසන ආහාර ගෙන අප බදුල්ල දුම්රිය ස්ථානයට ලඟා වූයේ 8.30ට පිටත් වන දුම්රියෙන් හැටන් බලා පිටත් වීමටයි. ඒ අතර තුර අපේ එක් සගයෙක් පැවසූවේ, "මේ පාර නම් අපි වෙලාවටම ආවා.ඒත් පස්සේ මොනවා හරි අවුලක් වෙයිද දන්නේ නෑ" යනුවෙනි.එසේ පැවසීමටද හේතු කාරණා තිබූ බව නම් සැබෑවකි.මන්ද,අප ගමන් කිරීමට යෙදුණු චාරිකා කිසිවක් පෙර සැලසුම් කළ පරිදි නිසි කාල වේලාවක් අනුව සිදු නොවූ නිසාවෙනි.

මෙසේ අප කතා බස් කරමින් සිටින අතර තුර දුම්රිය, බදුල්ල නගරය පසු කරමින් අපගේ ගමනාන්තය වන හැටන් බලා ගමන් ආරම්භ කරා.දුම්රියෙන් බදුල්ල, ඇල්ල,බණ්ඩාරවෙල, හපුතලේ,ඔහිය යන පරිසරයන් පසු කර යෑම සැබෑ ලෙසම දිව්‍යලෝකයක් පසු කරමින් ගමන් කිරීමක් ලෙස අතිශයෝක්තියෙන් පැවසූවද කම් නැත.මන්ද යත් ප්‍රදේශයම උරුමකම් කියන සීතල දේශගුණයත් සමඟ කැටි වූ අවට පරිසරයේ සුන්දරත්වය ඕනෑම අයෙකුගේ නෙත් සිත් පැහැරගැනීමේ හැකියාවකින් යුතු වූ නිසාවෙනි.කෙමෙන් කෙමෙන් දහවල් වන විට ගමනේ විඩාබර ස්වභාවය තරමක් දුරට දැනෙන්නට වූවත් අවට පරිසරය හා සීතල සුළඟ එකී විඩාව නිවීමට අපට උපකාරි උනා. දිගු ගමනකට පසු දහවල් 2.45 පමණ වන විට හැටන් නගරටය පැමිණිමට අපට හැකි උනා.ඉන්පසු හැකි ඉක්මනින් හැටන් නගරයට ගොස් බොගවන්තලාව ප්‍රදේශයට යෑමට බස් රථයක් සොයා ගැනිමට අප කටයුතු කළා. ඒ වනවිට මා දැඩි කනස්සල්ලට ලක් වූ කාරණය නම් අපිට බොගවන්තලාව නගරයට ළඟාවීමට පැයක පමන කාලයක් ගතවන බව රියදුරු මහතෙකු පැවසූ නිසාවෙනි. අපගේ සූදානම වූයේ දිනක් ඇතුළත කන්ද තරණය කොට නැවත බදුල්ල බලා පැමිණීමටයි.නමුත් අප කන්දට ළඟා වනවිට සවස 4 පමන වුව හොත් කලුවර වැටීමත් සමඟ කන්ද බැසීමේ කාර්යය තරමක් අසීරු බව මාගේ සිතේ තදින්ම එල්ලී තිබූ කරුණක් විය. ඒ වනවිට අපි හැටන් නගරයෙන් බොගවන්තලාව බලා යන බස් රථයට ගොඩවී ගමන් ආරම්භ කර තිබුනි. කෙසේ හෝ අප බොගවන්තලාව ගමට ලඟාවන විට සවස 4 පමණ වී තිබුණි.සිතේ තිබූ දෙගිඩියාව තරමක් දුරට තුරන් වීමට හේතුවූයේ අප පැමිණි බස් රථයේ කොන්දොස්තර මහතා බොගවන්තලාව බස් නැවතුමේ සිට කන්ද ළඟට යෑමට අපට පාසල් බස් රථයක් සූදානම් කර දීමයි. ඒ වන විට සැලසුමෙන් බැහැරව යමින් අප සැමගේ අදහස වූයේ කෙසේ හෝ කන්ද උඩ රැය ගත කිරීමයි. එම තීරණය මත අපි සියලු දේනා බොගවන්තලාවේ තිබු කඩපිලෙන් අපට අවශ්‍ය පාන්,ජෑම්,කෙසෙල්,බිස්කට් හා බිම එලිමට ඉටිකොල පවාද මිලදී ගැනීමට කටයුතු කළෙමු.

මේ වනවිටත් පෙර කියු පාසල් බස් රථය අප එනතුරු නවතාගෙන සිටි බැවින් අප ඉක්මනින් එම බස් රථයට ගොඩ වීමට කටයුතු කල අතර එය රෝසා වර්ගයේ කුඩා බස්රථයක් වූ එය පාසල් ළමයින් හා ගුරුවරුන්ගෙන් පිරී තිබුණි. එහි සිටි සියලු දෙනාම දමිළ ජාතිකයන් වූ නමුත් ඔව්න් තුල තිබු සිනාහාමුසු මුහුණු අප සියල්ලන්වම ප්‍රබෝධමත් කළ බව පැවසුවහොත් මා නිවැරදිය. කෙසේ හෝ සවස 4.45 පමන වන විට අපට කන්ද ආසන්නයටම පැමිණීමට හැකි වුණා. බස් රථයේ රියදුරු මහතාට ස්තුති කරමින් ඔහුගේ දුරකථන අංකයද රැගෙන බසයෙන් බැසගත් අපි අසල තිබු නිවසකින් හිස්වූ වතුර බොතල් ද පුරවා කන්ද දෙසට ගමන් කිරීම ආරම්භ කළා. සීත තේ වතුවලින් වට වු සුන්දර වටපිටාව මැදින් සවස 5.30 පමණ වනවිට අපට කඳු මුදුනට නැග ගැනිමට හැකි වූවා.සියල්ලන්ගෙම සිත් ඇද ගන්නාසුලු දර්ශනයක් දැක ගැනීමට අපට හැකි වූයේ එවිටයි. එක් පසකින් තේ වතු යායක්ද, අනික් පසෙන් හරිත පැහැ ගැන්වු භූමියක්ද සමඟින් අවට පරිසරය අපූර්ව සුන්දරත්වයක් උසුලනු ලැබූවා. කන්ද මුදුනෙන් හමාගෙන එන සීතල සුළඟ අපගේ ගමන් විඩාවට කදිම ඔසුවක් ගෙන දුනි. කඳු මුදුනේ දී අපිට ඉතා සුන්දර හා පින්බර දසුනක් බලා ගැනීමට හැකි විය.ඒ නම් ඈතින් පෙනෙන ශ්‍රීපාදස්ථානයයි. සියලු දෙනා සුලු වේලාවක් ඒ දෙස බලා සිටියේ එහි දැල්වෙන විදුලි බුබුලු වල අලංකාර ය නැරඹීමටයි.වටින් පිටින් ඇඳිරි වැටිගෙන එනවිට සියලු දේනා එක් තැනකට රැස්ව රාත්‍රීය ගත කිරිමට අවශය තැනිතලා භූමියක්ද සොයාගෙන ගිණි මැලයක් දැල්වීමට අවශ්‍ය දරද සොයා ගත්තේ පැවති දැඩී සීතලත් සමග ගැටෙමිනි. එහි සිටි කවුරුත් කූඩාරමක් නොමැතිව රැයක් ගත කොට නොතිබූ බැවින් මෙය අලුත්ම අත්දැකිමක් වේ යැයි අප බලාපොරොත්තුවෙන් පසුවුණෙමු.පිරිසක් ගිණි මැලය දල්වන අතරතුර පිරිසක් රෑ කැමට ඇති පාන් සූදානම් කරන අතර තුර මා විසින් රාත්‍රි අහසේ හා ශ්‍රීපාදස්ථානයේ ඡායාරූප කිහිපයක් ගනු ලැබුවා.

රාත්‍රි කෑම ගන්නා අවස්ථාව වනවිට වටෙන් පිටෙන් විවිධාකාර සතුන්ගේ හඬවල් ඇසෙන්නට විය.එය ඉතා තැතිගන්නා සුලු අවස්ථාවක් විය.මන්ද අපට ආරක්ශා විමට කූඩාරම් හෝ විදුලි පහන් හෝ නොමැති නිසාවෙනි. ගිණි මැලයේ එළියෙන් හා ජංගම දුරකතනයේ ඇති දුබල එළියෙන් අපිට පලක් වූයේ නැත.කෙමෙන් කෙමෙන් එම ශබ්ද අපගේ අසලටම ලඟා වන බවක් වැටහුනද අපිට කිරිමට කිසිවක් නොතිබුනෙන් ඉක්මනින්ම රෑ කෑම ගෙන සියලු දෙනා එක තැනකට රැස්ව ගිනි මැලය තවත් දැල්වීමට කටයුතු කළා. නමුත් රැය පහන් කිරිමට තරම් ප්‍රමාණවත් දර අප සතු වුයේ නැත. එම නිසා එහි රාත්‍රීය ගත කිරිම අවදානම් බැවින් සියලු දෙනාගේ අදහස වූයේ රාත්‍රීයේම කන්දෙන් බැස බොගවන්තලාව නගරයේ කඩපිලේ සිට රැය පහන් කිරිමයි. ඒ වන විට වටපිටාවේ වූ ශබ්ද වල යම් අඩුවක් පැවතුනද අප,අපගේ සියලු බඩු බාහිරාදිය රැගෙන ගිණිමැලය සම්පූර්ණයෙන් නිවා දමා නැවත බොගවන්තලාව නගරය බලා පිටත් වන්නට වූවා.අප රාත්‍රීයේදි කඳු නැගීමේ යෙදී නිබුණද කඳු බැසීම සිදු කළ නොතිබූ නිසාවෙන් කලුවරේ ඇද වැටීම් වලටද ලක් වෙමින් සියලු දෙනාම කන්දෙන් බැස ගැනීමට පැයක පමණ කාලයක් ගත කරනු ලැබූවා.

ඉන් පසු බොගවන්තලාව නගරයට පයින්ම යෑමට සිදුවූයේ එම ප්‍රදේශයේ කිසිදු වාහනයක් අපට සොයාගැනිමට නොහැකි වු නිසාවෙනි.මේ වනවිට රාත්‍රී 8ට පමන වන්නට ඇත.කිහිප දෙනෙක්ගේ අදහස වූයේ බොගවන්තලාව නගර මධ්‍යයේ රාත්‍රීය ගත කිරිමයි.නමුත් එහි තිබූ අධික සීතල නිසා නගරයේ රාත්‍රීය ගත කිරිම සුදුසු නැති බව අපට වැටහුණි.ඉන්පසු සැවොම තීරණය කරන ලද්දේ කුලි රථයක හෝ හැටන් නගරයට ගොස් රාත්‍රි තැපැල් දුම්රියෙන් බදුලු බලා යැමටයි. කෙසේ හෝ එම අවස්ථාවේ කුළි රථයක් පවා සොයා ගැනිම අපහසු විය. මෙසේ කුමක් කළ යුතුදැයි සිතමින් පැයක පමන කාලයක් ගත විය. ප්‍රදේශයේ පැවති දැඩි නිශ්ශබ්දතාවය බිඳිමින් කුමක් හෝ වාහනයක් එන බැව හැඟවීය.සියල්ලන්ම බලපොරොත්තු දල්වා ගෙන එම බසයට අත දැම්මේ එම රථය නවත්තනු ඇතැයි යන සිතුවිල්ලෙනි. අප ඉදිරියේ නැවැත්වු එම රථයෙන් ඇසුවේ "අපිව හැටන් වලට දාන්න පුලුවන් ද" කියාය.එවිට ඔවුන් පැවසූවේ "අපි මේ සිරිපාදේ යනවා,හැටන් යන්නේ නෑ" යනුවෙනි.එසේ පැවසූ ඔහු බස් රථය ඉදිරියට පදවාගෙන ගියෙන් අප සියලු දෙනාගේ බලාපොරොත්තු සුන් කරමිනි.නමුත් බලපොරොත්තු නොවූ පරිදි බස් රථය ආපස්සට ගෙන ආ රියදුරු මහතා, "ඔයාලව ඕනි නම් නොවුඩ් වලින් දාන්නම්" යනුවෙන් පැවසූවේ අපගේ සුන්වු බලාපොරොත්තු වලට නව ජීවයක් දෙමිනි. සියලු දෙනා බස් රථයට ගොඩ වුනේ ඉමහත් සතුටුකිනි. එහි සිටි පිරිස සමග කතා බහා කරමින් ඉදිරියටම ගමන් කල අපට එහිදී අපුරු අහඹු හමුවීමක් සිදුවිය.එනම් වන්දනා නඩයේ සිටි පිරිස අපගේ විශ්වවිද්‍යාලයේ සිසුවෙක්ගේ අසල්වාසින් පිරිසක් වීමයි.ඉතින් ඔවුන් අපිට ඔවුන් සතුව තිබු ආහාර පාන වලින් සංග්‍රහ කරමින් නොවුඩ් වෙනකම් රැගෙන ඒමට කටයුතු කළා. ඉන්පසු ඔවුන්ට සමු දෙමින් එහි තිබූ ත්‍රීරෝද රථ දෙකක නැග හැටන් නගරයට පැමිණිමට අපට හැකි වුනා.ඒ වනවිට රාත්‍රි 11.30 ද පසුවි තිබුණි.

සියලු දෙනාම නගරයේ තිබු කෑම කඩයකින් කෑම කා අවසන් වූ පසු හැටන් දුම්රියපොළට පිටත් වූවා.හැටන් දුම්රියපොළේ තිබු ඒ අධික සීතල දරා ගැනිමට නම් අපහසු වූවා. පැය දෙකකට පමණ පසු විශාල මගීන් පිරිසක් සහිතව රාත්‍රී තැපැල් දුම්රිය පාන්දර 2ට පමණ හැටන් දුම්රියපොළට ළඟා වූවා. සියලු දෙනා හැකි ඉක්මනින් දුම්රියට ගොඩ වුවත් එහි හිටගෙන යාමට පවා ඉඩ කඩක් නොවිය.කෙසේ හෝ පැයක පමන දුරකට පසු බිම ඉඳගෙන යාමට අපට අවස්ථාව හිමි විය."උන්නු හැටියට මළා මදැයි" සිතමින් එහි වාඩිවූ අප උදෑසන 8 පමන වන විට බදුල්ල නගරයට ලඟා වූවා. පෙර දිනයේ උදෑසන අප නිසි වෙලාවටම දුම්රියට පැමිණි පසු කුමක් හෝ සිදුවීමකට මුහුණදීමට සිදුවෙතැයි කියු ලෙසම අපිට විවිධාකාර අවුල් සහගත සිදුවීම් වලට මුහුණදීමට සිදුවුවා.නමුත් ඒ සියල්ලම ජීවිතයට අලුත් අත්දැකිම් රැසක් සමග රසවත් ගමනාන්තයක් ළඟා කර ගැනිමට අපට හැකි උනා.

අවසානය තවත් රසවත් වූයේ ඊට සති කිහිපයකට පසු ආරංචි වුයේ එම කන්ද අසල කුඩා දිවියන් ,ගෝන්නු සිටින බවත්ය. කෙසේ හෝ ජීවිතයේදී නැරඹීමට මහත් ආසාවෙන් පසු වූ කන්දක් තරණය කිරීමට ගොස් වෙනස්ම ආකාරයේ අත්දැකිම් රැසක් එකතු කරගැනීමේ වාසනාව අපට හිමි වූවා.තවද මතක් කළ යුතු කරුණ නම් මෙම චාරිකාව පුරාවට අපට විවිධාකාරයෙන් උපකාර කළ මිනිසුන් පිළිබදවයි.අපි මින් පෙර ඔවුන් කිසි කෙනෙකු දැන හඳුනන්නේ නැති නමුදු ඔවුන් අපට ඔවුන්ගේ කාලය ද කැපකරමින්, ඔවුන් සතු ආහාර ද අපිට ලබා දෙමින් උපකාර කිරීමට කටයුතු කළා.ඒ නම් නියම ශ්‍රී ලාංකික⁣යෙකු සතු ආගන්තුක සත්කාර පිදිමේ ගුණාංගයය බව අපට තව තවත් පසක් විය.

තවද,මේ අයුරින් "හරිත කන්දේ අපූරූ චාරිකාව" සුන්දරව නිමා කිරිමට උදව් කල සැමටත්, "කොහෙ හරි යමු" කියූ සැණින් මා සමඟින් පැමිණෙන මාගෙ සුපුරුදු නඩයටත් ස්තූතියි..

චමාල් සයුරංග ලියනගේ

Created : Jun 1, 2020 02:36pm
Last updated : Jul 3, 2022 06:12am