Loading

Loading...

සද්ධාතිස්ස මහ රජුගේ ආලකමංදාව හෙවත් නුවරගල

“ගල් පර්වතවලින් ගහන වූ මෙම පෙදෙස් ගලින් සෑදූ ගල් ගුහ රැසක් ඇත්තේය.ඒවා එකල වැදි ගෝත්‍රික ජනයාගේ වාසස්තාන විය. එහෙත් පසු කල්හි මේ ප්‍රදේශයේ වඩාත් බුද්ධිමත් ජන සමූහයක වාසස්තානය වූ බවට සාධක තිබේ. නටබුන් ව ගිය වැව් අමුනු හා ජනාවාසයන්හි නටබුන් පෙදෙස පුරාම විසිරුනේය. ‘නුවරගල’ නැමැති පර්වතය මුදුනේ විසල් නුවරක නටබුන් දැකිය හැකිය. අනිවාර්‍යෙන්ම මෙම නුවර එකල පාලන කේන්ද්‍රස්තානය බවට පත්ව තිබෙන්නට ඇත. දුශ්කර වනගත ගමන් වල පුරුදු සංචාරකයෙකුට මේ වැළලී ගිය නුවරගල නගරය පිලිබද කිසිවක් නොවැටහෙනු ඇත. එයින් ඔහුගේ ඣාණ ක්ෂුද්ධාවට කිසි පිළිසරණක් නොදෙනු ඇත.එහෙත් එක් දිනක් හෝ ඉවසිල්ලෙන් එය නැරඹුවහොත් එකල මෙහි තිබූ ශ්‍රී විබූතිය පිලිබද යම් උපකල්පනයක් ඇතිකර ගැනීමට බැරි නොවේ.”

-බ්‍රෝහියර් දුටු ලංකාව-

පොතින් නුවරගල දැක ඇති සංචාරකයා එය සැබෑවටම දැකගැනීම පිනිස නුවරගල බලා පිටත් වන්නට විය.දිගාමඩුල්ල හෙවත් වර්තමාන අම්පාර ප්‍රදේශය කරුනු කාරනා ගනනාවක් සදහාම ලක් ඉතිහාසයට අතිශය වැදගත්‍ ය. අතීත රජවරුන්ට අවැසි අලි ඇතුන් සැපයුනේ දිගාමඩුල්ලේ මහ වනාන්තර වලිනි, රජුගේ සේනාවලට හොදම සටන් කරුවන් සැපයුනේද දිගාමඩුල්ලෙනි, දුටුගැමුනු මහරජු සොළීන් සමහ කල වෙහෙසකර දීර්ඝ යුද්ධයේදි රටට බත සැපයුනේ දිගාමඩුල්ලෙනි. කොළඹ-අම්පාර මාර්ගයේ, නුවරගල සොයා යන සංචාරකයකුගේ මනසට මෙවැනි කරුනු ඇතුල් වීම වැළැක්වීම දුශ්කරය. නුවරගල සොයා යන සංචාරකයා මහ ඔය හන්දියෙන් වමට හැරී සැතපුම් හතරක් පමන දුරින් පිහිටි පොල්ලෙබැද්ද ආදිවාසී ගම්මානය දක්වා යා යුතුය. කරුණු කාරනා කීපයක් නිසා සංචාරකයාට පොල්ලෙබැද්ද ගම්මානය ඉතා වැදගත් වේ. ඉන් පලමුවැන්න ගමනට මහපෙන්වන්නෙකු සොයාගැනීමය. දෙවැන්න ඉපැරණි මෙම ගම්මානයේ ජනවහරේ ලාංකික ඉතිහාසයේ බොහෝ සංධිස්තාන සනිටුහන් වීමය. පැරණි සංස්තික ලක්ෂණ වර්තමාන ආදිවාසී ජනයා තුලින් ගිලිහෙමින් පැවතියද ඒවායේ නශ්ඨාවශේෂ තවමත් යන්තමින් ඉතිරිව ඇත. කෙටේරිය එක් උරයකත් අනෙක් උරයෙහි කළමනා අඩංගු පොට්ටනියකුත් එල්ලා ගත් ආදිවාසියකු පෙරටුකරගත් සංචාරකයා නුවරගල බලා පා ඔසවයි. සාමාජිකයින් ගනන ඉහල දමමින් බොහෝවිට බලුතඩියෙකු ගමනට එක්වෙයි. බලුතඩියා මහ වනයේදි බොහෝ ප්‍රයෝජනවත් සත්වයෙක් බවට පත්වන්නේ උගේ ප්‍රබල ඉව නිසාවෙනි.

ගම්මානය පසුවනවාත් සමගම හමුවන මහා වෙල්වයායෙන් එතෙරවන සංචාරකයාට මුන ගැසෙන්නේ රඹකැන් ඔය පෝශනය කරන කුඩා ජල පහරකි. ජල පහර ඔස්සේ සැතපුමක් පමන උතුරට ගියවිට වියලී ගිය පැරණි අමුනක් හෝ වේල්ලක් වැනි නිර්මාණයක් හමුවේ. නිශ්චිතවම යමක් කිව නොහැකි නමුත් විශාල ගල්ලෑලි හා ගල්කනු අතුරා සකස් කල නිර්මාණය පුරාණ වාපී කර්මාන්තය ආශ්‍රිත මහා නිමැයුමක් බව නිර්ණය කිරීම එතරම් අපහසු නැත. මෙම මහා නිර්මාණය එකල මෙම ප්‍රදේශය මහා පරිමාණ වගා බිම් ලෙස පැවති බවට සිතීමට සංචාරකයගේ බුද්ධිය පොලඹවයි.

කුඩා ඔයෙන් එතෙර වීමත් සමගම සංචාරකයා පිවිසෙන්නේ මහා මූකළානටය. මෙහි රජයන්නේ ස්වාබාවධර්මයේ නීතියයි. සතාසීපාවන්ගේ නීතියයි. එය කෙලෙසන්නෙකුට මරණවය පවා උරුම විය හැක. මක් නිසාද යත් ලංකාවේ නැගෙනහිර වනාන්තර ප්‍රදේශ අතිශය දරුනු වන අලින්ට සේම විශකුරු සර්පයන්ට ප්‍රසිද්ධියක් උසුලන නිසාවෙනි.සම්ප්‍රදායානුකූලව අතු කැබැල්ලක් කඩා ගසක එල්ලූ මග පෙන්වන්නා මිනිත්තුවක දෙකක යාතිකාවක නිරත විය. ඔහුට අනුව එය අපට නිරුපද්‍රිතව යලි පැමිනීම සදහා කැලෑ දෙවියන් ඉදිරියේ කෙරුනු බාරයකි. සංචාරකයා මෙවැනි අවස්තා ඇති තරම් දැක ඇති නමුත් ඒවා හරිද වැරදිද විද්‍යානුකූලද නැද්ද ප්‍රශ්නය කිසිවිටෙක ඔහුගේ සිතට නොනැංග්ගේය. වියළි කලාපයේ ගමන් කරන සංචාරකයෙකු ඉර මුදුන් වීමට පෙර ගමනෙහි බාගයක්වත් පැමිනිය යුතුය. ඉර නැගීමත් සමග ඇතිවන දාහයත් උෂ්ණයත් ගත දවාලයි. එම නිසා ගමන දුශ්කරවේ. වියලි කලාපයේ වනාන්තර වලට ආවේනික විශාල තැනිතලා බිම්, තැනින් තැන ඇති කුඩා හා මධ්‍යම ප්‍රමානයේ පදුරු දැකිය හැකිය. තැනින් තැන පලු වීර කොහොඹ නික දවට ආදී විශාල ගස් දැක ගත හැකිය. ලොකු කුඩා ගල් තලා තැනින් තැන විසිරී ඇති අතර සමහරක් ඒවායේ පිහිටි වතුර එක් උනු තැන් සතුන්ගේ පිපාසය සංසිදවයි.සංචාරකයාගේ ගමන් මගෙහි මුල් බාගයේ දී ගල්ගුහා රාශියක් සංචාරකයාට මුනගැසෙයි. ඇතැම් ඒවායේ කටාරම් පවා කොටා තිබේ. ඇතැම් ගල් ගුහා තුල ඉතා අපැහැදිලි සටහන් හෝ චිත්‍ර සංචාරකයාට හමු වෙයි. ඒවා ඉතා ඈත අතීතයක තොරතුරු සගවාගෙන සිටින බව විමසිල්ලෙන් බලන ඕනෑම කෙනෙකකුට පසක් වේ.

මහපෙන්වන්නාට අනුව පොල්ලෙබැද්දේ සිට නුවරගල මුදුනටම සැතපුම් පහකට මදක් වැඩිය. සැතපුම් තුනක් පමන පා ගමනින් ආ පසු මහදී හමුවුනු කුඩා ගල්තලාව දිවා ආහාරය සදහා නවාතැන විය. ඉර මුදුන් වී ඇති හෙයින් වනාන්තරය ගිනි ගහයි. නමුත් ගල් තලාව සිසිල් කරමින් දැවැන්ත කෝන් ගහක් සිය යුතුකම ඉටු කරයි. ගිනිගහන මහ වනාන්තරය මැද සීතල සෙවනක් යට හිද කෑ දීවා ආහාරයේ අපමන රසයක් විය. අපට ඉදිරියෙන් දිස් වූයේ ඉතා උස ශීග්‍ර බෑවුමක් සහිත ගල් කුලකි. මෙහි යහමින් බඹර වද තිබූ බව තහවුරු කරමින් බාවිතයෙන් පසු ඉවත් නොකල වැල් ඉනිමග සංචාරකයාට පෙනෙයි. එය දුටු මහපෙන්වන්නා ඉතා කෝප වූ අතර එවැනි සලකුණු ඉතිරි කිරීමෙන් වන්නේ යලි බඹරුන් මෙහි නොපැමිනීම බව ඔහු විස්තර කරයි. මගදිගට හමුවුනු මහා මූකළානකටම ආවේනික සලකුණු රාශියකි. ඒවා එක් අතකට මෙහි බයානකමකමත් සත්ව ලෝකයේ අපූර්වත්වයත් විදහා පායි. අතරමගදී හමු වූ කෝං හා මී වදයේ තිබූ පැණි රස සංචාරකයා සිය ජීවිතේ කෙදිනකවත් රස බලා නැති තරම් මිහිරිය.එක් තැනක විශාල ප්‍රදේශයක ලොකු ගස් පෙරලා දමාය ලොකු කුඩා පදුරු ගස් තැලී පොඩිවී පස් බුරුල් වී ඇත. එය ඇත් පොරපිටියක් ලෙසට මගපෙන්වන්නා හදුන්වා දෙයි. තවත් තැනක විශාල වේ තුබසක් තියුනු නිය ඇත්තෙකු පහුරු ගා තිබේ. ඒ වලසෙකි. තවත් තැනක විශාල දළ ඇතකුගේ සලකුනු පෙනෙන සේ ගසක් සිය තියුනු දළ යුගලයෙන් සිදුරු කර තිබේ. තවත් තැනක මග අවුරා විශාල නාගයෙකු දිස් විය.

හෝරා කිහිපයකට පසු සංචාරකයා අවතීර්ණ වන්නේ අති විශාල තෘණ බිමකටව. එහි මැදට වන්නට රාත්‍රිය සදහා සංචාරකයාගේ නිවහන වන නුවරගල ගල් පර්වතය විරාජමානව නැගී සිටියි. ඊට දෙපසින් කදු පර්වත කිහිපයක් පිහිටා තිබුනද ඒ නුවරගලට සෑහෙන තරම් දුරිනි. යන්තම් ඉර අවරට හැරෙද්දී නුවරගල පාමුලට පැමිනි සංචාරකයාට හමු වන්නේ ඉතා පුලුල්ව සකස් කල, ගල් දමා තලා දෙපස ගල් වැටි සකස් කර ක්‍රමානුකූලව සෑදූ සිග් සැග් ආකාරයේ මාර්ගයකි. මෙහි ඉතා වශාල අශ්වකරත්තයක් උවත් පහසුවෙන්ධාවනය කල හැකි පරිද්දෙන් සකස් කර තිනබූ බව සිතා ගැනීම අපහසු නැත. පැරණි රජ මාවතේ ඉහලට ඇදෙන සංචාරකයාට පිහිටි ගලෙහි මාර්ගයට මුහුන ලා සෑදූ කුටි දැකගත හැකිවිය.මේවා පිහිටිගල හාරා සකස් කර තිබූ අතර මග දිගටම මෙවැනි කුටි රාශියක් හමු වූ අතර ඒවා පැරණි මුරකුටි වන්නට ඇති බව සිතා ගත හැක. මක් නිසාද යත් නුවරගල මුදුනට පිවිසීමට ඇති එකම මාර්ගය මෙය පමණක් වීමවය. අනෙක් පැති සියල්ලම ශීග්‍ර බෑවුම්‍ ය. ඒ නිසාවෙන් එකම පිවිසීමේ මාර්ගය දැඩි රැකවල් මැද පවතින්නට ඇත. සැතපුමක පමන ගමනකින් පසු පර්වතය මුදුනට පිවිසි සංචාරකයාගේ විඩාව හාත්පසින් පෙනුනු දර්ශන තලය සංසිදවයි. හාත්පස පෙනුනු දැවැන්ත තැනිතලාවේ කෙලවර වල යෝධයන් සේ නැගී සිටි පර්වත හා කදු පන්ති අමුතුම දර්ශනයක් මවාපායි. ක්ෂිතිජයේ ඈත කොනක රිදී පීත්ත පටියක් මෙන් රඹකැන් ඔය ජලාශය දිස්වෙයි. ඇසට පෙනෙන මහා මූකලානේ තැනින් තැන, සංචාරකයාට මගදිගටම හමුවූ සලකුණු වල අයිති කාරයින්ය. අලි රංචු හා තනි අලි ය. ඉර බැසයන සවසක ගල් තලාවේ වාඩිවී මේ දර්ශනයෙන් මත්ව තේ උගුරක් තොල ගෑමට තරම් සංචාරකයා වාසනාවන්ත විය.

නුවරගල යනු සාපේක්ශව අක්කර ගණනාවක මුදුනක් ඇති පර්වතයකි. අවතීර්ණ වීමට ඇත්තේ එකම මගකි. හාත්පස මහා තැනිතලාවකි. දුනු ශිල්පයේ නිපුණ දුනුවායන් කිහිපදෙනෙකුට වුවද මහා සේනාවක් නැවැත්විය හැකිතරමේ ස්වාබාවික දුර්ගයකි නුවරගල. පර්වතය මුදුනෙහි පිහිටිගල හාරා සකස් කල අතිවිශාල ජල තටාකයකි. එහි ජලය කිසිදා නොසිදෙන බව මහපෙන්වන්නා සාක්ෂි දරයි. තටාකයේ සිට සැතපුමක් පමන දුර ගිය විට පානයට සුදුසු සීතල පිරිසිදු පැරණි උල්පතක් හමුවේ. මෙතරම් පර්වතයක් මුදුනේ පිරිසිදු ජල උල්පතක පිහිටීම සංචාරකයාගේ බූගෝලීය දැනුම ඉක්මවා යයි. පොකුනට මදක් පහලින් විශාල ගල්ගුහාවකි. කටාරම් කොටා ඇති එහි පියස්සේ පැහැදිලි සෙල්ලිපියක් දක්නට ඇති අතර එය මේ ගුහාව සග සතුකොට පූජා කල බව දැක්වෙන සටහනක් බවට මගපෙන්වන්නා පවසයි. අඩි සියයකට වඩා වැඩි දිගින් යුතු ගල්ගුහාව කොටස් දෙකකට බෙදා තිබූබවට පැහැදිලි සාක්ශි ගල් ගුහාවේ ඉතිරිව පවතී. වැඩුනු මිනිසුන් 30කට පමන පහසුවෙන්ම මෙහි එකවර රැදී සිටිය හැක.

පර්වතය මුදුනේ තැනින් තැන දියුනු ශිෂ්ඨාචාරයක නටබුන් හිග නොවේ. බොහෝ ස්තාන වල ඇති ඉදිකිරීම් ජලය රදවා ගැනීමට තැනූ කුඩා ප්‍රමානයේ පොකුණුය. ඇතැම් තැන්වල ලොකු කුඩා කුටි වල කැඩී බිදී ගිය පාදම්‍ ය, තැනින් තැන ගල් කුලුනුය. ඇතැම් ගල් කුලුනුවල අලංකාර කැටයම් පවා යොදා තිබෙනු සංචාරකයාගේ නෙතට හසුවිය. තමාටත් වඩා බොහෝ උසින් වැඩි මානා ඉලුක් යායක් මැදින් සංචාරකයා මීලගට එලඹෙන්නේ පර්වතයේ අවසන් මුදුමන්ම තැන්න හෙවත් මාළිගාතැන්නටයි. මෙම තැනිතලා ප්‍රදේශය පර්වතයේ උසම ස්තානය වූ අතර එයට එලඹිය යුත්තේ අතිශය දුශ්කර මගක් ගෙවාගෙනය.ඉලුක් මානා වලට කැපී ගිය සිරුරේ නග්න ප්‍රදේශ වලට දහදිය දැමීමෙන් පසු ඇතිවන කටුක වේදනාව සංචාරකයාට මාළිගාතැන්නේදී සම්පූර්ණයෙන්ම අමතක වී යයි. අක්කරයක පමණ බූමි බාගයක විසිර පවතින්නේ අති විශාල ගොඩනැගිල්ලක නටබුන්‍ ය. මග පෙන්වන්නාට අනුව මෙය රජු වාසය කල මාළිගාවයි. එය කුමන රජකුට අයත් වුවද එය අතිවිශාල මාළිගාවකි. දැනට එහි පාදමේ කොටස් කිහිපයක් පමනක් ඉතිරිව් තිබුනද පාදම සදහා පිහිටි ගලෙහි නිර්මාණය කල සීමා හා ගල් කනු සිටුවීමට පිහිටිගල හාරා සකස් කල සිදුරු තවමත් දැකගත හැකිය. මාළිගාතැන්න කාලය හා නිදන් හොරුන් සමග බොහෝ කාලයක් ඔට්ටු වී ඇති හැඩය. එකල මෙය සැබවින්ම ආලකමංදාවක් තරම් අලංකාරව තිබෙන්නට ඇත.සීගිරිය තරම් උත්කෘශ්ට වන්නට ඇත.ගතින් යා නොහැකි නමුත් සිතින් ඒ අතීත දවස් වල අතරමංවීමට සංචාරකයාට හැකිවිය. මහපෙන්වන්නාට අනුව මෙහි වාසය කලේ සද්ධාතිස්ස මහ රජුය. දුටුගැමුනු රජු අනුරාධපුරයේ රජකම් කරද්දී තිස්ස රජු දිගාමඩුල්ල පාලනය කල බව මහාවංශයේ සදහන් වුවද පාලන කේද්‍රස්තානය පැහැදිලිව දක්වා නැත. එය නුවරගල මදැයි නිසි ලෙසම තහවුරු කර නොමැති වුවද නුවරගල පාලනය කල තැනැත්තා සාමාන්‍ය ප්‍රාදේශීය පාලකයෙකු පමණක්ම නොවන බව මාළිගාතැන්නේ සුවිශාල මාළිගාව හා දැවැන්ත ආරක්ශක උපක්‍රම නිහඩවම කියාපායි. එසේම නුවරගල වටා ඇති අති විශාල තැනිතලා බිම් සද්දාතිස්ස රජුගේ රට සහලින් ස්වයංපෝශිත කිරීමේ ව්‍යායාමටය සංචාරකයාට නිරන්තරයෙන් සිහි කරවයි. නුවරගලට සැතපුම් කිහිපයක් දුරින් ඇත්බැද්ද කන්ද පිහිටයි.එහි රජුගේ ඇත් පංතිය පිහිටා තිබූ බවට සාන්ෂි ඇති බවට මගපෙන්වන්න්නා පවසයි.

නුවරගලේ පර්වත මුහුනතේ පිට පැත්තේ මැදට වන්නට පිහිටි කුටි හතරක් දැකිය හැකි අතර ඒවා ප්‍රමාණයෙන් වැඩුනු මිනිසුන් දෙතුන් දෙනෙකුට සිටිය හැකි තරම් විශාලය. මග පෙන්වන්නාට අනුව මේවා පැරණි මුරකුටිය. අතීතයේ මේවාට ඇතුලුවීමට වැල් ඉනිමං බාවිත කල බවත් මේවායේ තිබී දිරාගිය ඇට සැකිලි හමුවූ බවත් ඔහු විස්තර කරයි. මෙම විස්තර කිරීම සංචාරකයාගේ කුහුල වැඩිදියුනු කල නමුත් නිසි සූදානමකින් හෝ ආම්පන්න නොමැතිව මෙහි ඇතුලුවීම මාරයාට කරන උපකාරයක් වැනිය. ඇට සැකිලි කිහිපය රාජකාරිය දේව කාරිය ලෙස සැලකූ අතීත වීර මිනිසුන් කිහිපදෙනෙකු ගේ විය හැක. සමස්තයක් ලෙස නුවරගල පීරා බැලූ සංචාරකයා එලඹි එක් ප්‍රධානම නිගමනයක් විය. එනම් නුවරගල හදිස්සියේ අතහැර දැමූ බලකොටුවක් බවයි. වැඩ නිමනොකල ගල් කනු, වැඩ නිම නොකල ගල් පඩි පේලි, ප්‍රධාන පොකුණ විශාල කිරීමට සීමා නිර්ණය කරතිබීම හා ඇට සැකිලි කතාව ඊට නිහඩව සාක්ශි සපයයි. හේතුව පැහැදිලි නැතත් එය සතුරු ආක්‍රමණයක්, වසංගතයක්,දුර්බික්ෂයක් වැනි පොදු කාරණාවක් විය හැකිය.

පසුදා උදෑසන වන සතුන්ට කැලෑවට රිංගීමට ඇතිතරම් කාලය ලබාදුන් සංචාරකයා මහවපෙන්වන්නා පසු පස නුවරගලින් පල්ලම් බැස්සේසය. කලක් රාජ රාජ මහාමාත්‍යාදීන්ගේද , යෝගී බික්ෂූන්ගේද කලක් ආදිවාසී ජනයාගේද කලක් ත්‍රස්තවාදීන්ගේද නවාතැන උනු නුවරගලට සංචාරකයා ආයුබෝවන් කීය. නිදන් හොරුන්ගෙන් හා කාලයෙන් අසීමිතව බැට කමින් මහ වන සතුන්ට සෙවනක් වෙමින් නුවරගල තව සියවස් ගනනාවක් වැජඹෙනු ඇත. නුවරගලසේම ගමනේ සෑම පියවරකදීම මග පෙන්වමින් දඩයම් කතා පැරණි ආදිවාසී කතා කියවමින් ගමන රසවත් කල මගපෙන්වන්නාද සංචාරකයාගේ සිත් තදින් බැද ගත්තේය.

Created : Jun 1, 2020 02:46pm
Last updated : Jul 3, 2022 06:28am