Loading

Loading...

ගිනිගෙදර ඇල්ල

Date and month - February 2018
Number of days - One
Crew - Four
Guide - N/A
Accomodation - N/A
Transport - Motorcycle
Activities - waterfall hunting, natural bath , Photography
Weather - sunny
Route - piliyandala - Bandaragama- Horana - Egaloya - Bulathsinhala - polegoda jc - Kiriwanaketiya rd
Tips and note - Start your journey ASAP, Beware of slippery rocks. Prepare for leeches. Ask from locals.Be a responsible traveller. Do not litter.
Author - Nipun Chamara
Comment - Behave friendly with locals.they are so friendly

එක්තරා දවසක් විවේකීව නිවාඩුපාඩුවේ නිවසේ සිටින අතරතුරක කම්මැලිකමට වගේ අන්තර්ජාලයට පිවිසුනේ මාගේ ප්‍රියතම එක්තරා වෙබ් පිටුවක් ඔබ මොබ යන්නටයි.සැබැවින්ම සංචාරකයෙක් විදියටත් පාඨකයෙක් විදියටත් අලුත් තොරතුරු සොයන්න කියවන්න කුඩාකල සිටම ඇල්මක් දැක් වූ අතර එය අදටත් එසේමයි.ඉතින් උක්ත වෙබ් පිටුව සංචාරකයන් සදහාම වෙන් වූ පිටුවක් වන අතර මා සංචාරකයකු විදියට අදටත් සංචාරක ඉසව් අතුරින් වඩාත්ම ප්‍රියතාවයක් දක්වන්නේ දිය ඇලි වලටයි.අදාල වෙබ්පිටුවේ සැරසරන අතර මා මාගේ දිස්ත්‍රික්කය වන කලුතර ආශ්‍රිතව දැකගන්නට හැකි දිය ඇලි පිලිබදව සොයමින් සිටියා.සෙවුම් ප්‍රථිපල අතර තිබූ එක්තරා සටහනක් මා තෝරාගත් අතර ඒ තුල වූයේ මතුගම හා ඒ අවට දකින්නට හැකි දිය ඇලි සම්බන්ධවයි.එම සටහන තුල කලුතර දොඩංගොඩ තුඩුගල ඇල්ල, පොල්ගම්පොල ඇල්ල, මෝල්කාව මාකෙලි ඇල්ල, පොලේගොඩ ගිනිගෙදර ඇල්ල, අත්වැල්තොට ඇල්ල හා අහස්බෝක්කු ඇල්ල පිලිබද දකින්නට ලැබුනා.මේ දිය ඇලි සමූහය අතරින් මා ඒ වනවිටත් මාකෙලි ඇල්ල හා තුඩුගල ඇල්ල වෙත සංචාරය කර තිබූ අතර විශේශ අවධානයක් යොමු වුනේ ගිනිගෙදර ඇල්ල කෙරේයි.ඒ එම ඇල්ලේ භූගෝලීය පිහිටුම නිසා මෙන්ම එහි වූ වෙනස්ම ආකාරයේ දර්ශනය නිසායි.ඉතින් මේ සංචාරක සටහනෙන් මා ඔබ සමග බෙදාහදාගන්නේ මතුගම පොලේගොඩ ගිනිගෙදර ඇල්ල නම් වූ ලංකාවේ ඒ ආකාරයේ ඇති එකම ඇල්ල පිලිබදවයි.

මේ දිනය 2018 පෙබරවාරි මාසයේ යම් දිනයක් විය යුතු අතර දිනය ඒකාන්ත වශයෙන්ම ඔබහට පැවසීමට නොහැක.ගමන සදහා මා සමගින් මාගේ බිරිදත්, යහලුවන් දෙදෙනෙකුත් සහභාගී වූ අතර ප්‍රවාහන මාධ්‍යය වශයෙන් විශ්වාසනීය හා ලාභදායී ඩිස්කවර් 100 මාදිලියේ යතුරුපැදිය භාවිතා කරන්නට තීරණය කෙරුනා.මේ සංචාරය තුල අප ගිනිගෙදර ඇල්ලට අමතරව පාහියංගල විහාරය එක් කර ගත් අතර පාහියංගල කරා ඊට පෙරද මා ගමන් කර ඇති නමුත් සෙසු සගයන් එහි සංචාරය කර නොමැති නිසා පාහියංගල විහාරයද අපගේ ගමනේ එක් නැවතුමක් උනා.පාහියංගල විහාරය හා ගුහාව පිලිබද ඉදිරි දිනක සටහනක් තබන්නට බලාපොරොත්තු වන අතර ඒ සමගම කොස්ගුලන සංගිලි පාලම පිලිබදවද ඔබට තොරතුරු ගෙන එන්නම්.නිවසින් උදෑසන ආහාරය ගෙන 7.00 ට පමණ පිටත් වූ අතර මමත් බිරිදත් හොරණ නගරය කරා පැමිණෙන විට මාගේ මිතුරාත් අනෙක් සගයාත් අප එන තුරු හොරණ නගරයේ බලා සිටියා.එතැනින් අගුරුවාතොට මාර්ගයට පිවිසුන අප කිලෝමීටර 3 කින් පමණ බල්ලපාන හංදියෙන් බුලත්සිංහල හරහා අගලවත්ත මාර්ගයට යතුරුපැදි හරවාගත්තා.

හොරණ අගලවත්ත මාර්ගය ඉතාමත් සුන්දර මාර්ගයක් වන අතර මනරම් වෙල් යායන් රබර්වතු මැදින් දිවෙන මාර්ගයක්.මේ මාර්ගයේ අපට පිලිවෙලින් ගෝවින්න ඈගල් ඔය බුලත්සිංහල යන කඩමන්ඩි හමුවන අතර බුලත්සිංහලෙන් කිලෝමීටර කිහිපයකින් පසු අප සොයා ආ පොලේගොඩ කඩමන්ඩිය මුන ගැසුනි.එතැනින් කිරිවනකැටිය වත්ත මාර්ගයට වම් අත පසට හැරීමෙන් පසු සුලුදුරක් ගමන් කලා.ගමන් කිරීමෙන් පසු අප සිල්ලර වෙලදසැලක පුද්ගලයෙකුගෙන් ගිනිගෙදර ඇල්ල යන නම භාවිතා කරමින් මාර්ගය විමසූ නමුත් ඔහු පැවසුවේ එනමින් දිය ඇල්ලක් නොමැති බවත් කුඩා ප්‍රමානයේ ඇල්ලක් මේ මාර්ගයේ ඇති බවත්.නමුත් ගමන පැමිනීමට ප්‍රථම ඉහත කී වෙබ්පිටුවේ screenshots කීපයක් දුරකථනයේ සේව් කර තිබූ නිසා එම චායාරූ පෙන්වමින් ගම්වැසියන් කීප දෙනෙකුගෙන්ම විමසීමෙන් පසු එක්තරා තරුණ කන්ඩායමක් අපට සුභදායී පිලිතුරක් ලබාදුන්නා.එනම් අප නිවැරැදි මාර්ගයේ පැමින ඇති බවයි.ඔවුන්ගෙන් අසාගත් මාර්ග සලකුනු අනුව කුඩා මංසන්දි වලින් ඒ මේ අත හැරෙමින් යූ ටර්න් ගසමින් අප එක්තරා තුන් මං හන්දියකට පැමිනියා.එතැනින් මාර්ගය නිශ්චිත නොවූ නිසා නැවත ආපස්සට ගොස් ගම්වැසියෙකුගෙන් මාර්ගය අසාගෙන පැමිනෙන්නට අපට සිදුවුනා.මේ මංසන්ධියෙන් වමට ඉහලට තිබූ මාර්ගය ඔස්සේ ඉතාමත් අබලං වූ ගල් පෑදී වැස්සට සේදී තිබූ මාර්ගයක මීටර හයසියයක පමණ දුරක් අපට පැමිනීමට සිදුවුනා.මේ දුර තරණයට නම් ත්‍ර්‍රීවීල් රථයක් හෝ ෆෝවීල් රථයක් හෝ උසින් වැඩි වාහනයක් යොදාගන්නට ඔබට සිදුවනවා.මාත් සමග ගමනට සහභාගී වූ මිතුරාගේ ස්කූටි වර්ගයේ යතුරුපැදියද ස්ථාන කීපයක යට වැදුන බව විශේශයෙන් කිව යුතුයි.

මේ අබලන් මාර්ගයේ යෑමෙන් පසු හමුවන පලමු කුඩා අපහැදිලි මංසන්දියෙන් වම් පසට පහලට හැරිය යුතු අතර එම මාර්ගය, මාර්ගය හරහා යන වතුර පහරකින් අවසන් වනවා.එතැනින් යතුරුපැදි ගාල් කල අප එතැන් සිට පයින් යාමට සූදානම් වූ අතර වතුර පහර එගොඩ වූ සැනින් වම්පසට ඉහලට ඇති මාර්ගය ඔස්සේ ඉහලට පැමිනිය යුතුයි.මේ මාර්ගයේ මුලින්ම හමුවන්නේ අතහැර දැමූ නිවසක් වන අතර ඉන් පසු හමුවන් නිවසේ නිවැසියන් ඉතාමත් සුහදශීලී පිරිසක්.අප ඔවුන්ගේ ගරාජයෙන් අපගේ හෙල්මට් හා බෑග් තබා දිය ඇල්ලට ඔවුන්ගේ නිවසේ පිටුපසින් දිවෙන අඩිපාරට අවතීර්ණ උනා.මේ අඩි පාර කෙටි දුරකින් ජලපහරෙන් අවසන් වන අතර එතැන් සිට ජලපහර මැදින් ඉදිරියට යාමට අපට සිදු උනා.මෙසේ මීටර 100ක් පමණ ඉතාමත් ලිස්සන සුලු ගල් දිගේ ඉහලට පැමිනි අපට දකින්නට ලැබුනේ අප සිතුවාටත් වඩා වෙනස්ම ආකාරයේ දිය ඇල්ලක්.

එකිනෙකට අඩි හයක හතක දුරින් පිහිටි සුවිසල් ගල් බිත්ති දෙකක මීටර විස්සක් පමණ ඇතුලෙන් ඇදහැලෙන ඉතාමත්ම වෙනස් හා අද්භූත ආකාරයේ දිය ඇල්ලක්.ගල් බිත්ති දෙක ආරම්භයේ සිට බැලුවද දිය ඇල්ල සැලකිය යුතු ඈතකින් අදහැලෙන නිසා දිය ඇල්ල පැහැදිලිව දැකගන්නට නම් මේ ගල් දෙබුක්කාවට ඇතුල් වන්නට වන බව අපට වැටහුනා.මේ ගල් දෙබුක්කාව ජලයෙන් පිරී ඇති අතර අප සපත්තු හා ඇදුම් පැලදුම් උනා තමා නෑමට ඇදගන්නා ඇදුම් හැදගෙන වතුරට බැස්සේ කෙසේ හෝ ආසන්නයට යෑමේ බලාපොරොත්තුවෙන්.වතුරට බසින මුල්ම කොටසේදී ඉන මට්ටමට ආසන්නව වතුර තිබෙන අතර එම මට්ටම සුලු අඩු වැඩි වීම් සමගින් ඉදිරියට යෑමට අපට හැකි උනා.දෙබුක්කාවේ මැදට වන්නට ජලයෙන් ඉහලට එසවුන ගලක් ඇති අතර එතැනින් එහාට ජල මට්ටම ක්‍රමයෙන් ගැබුරුවනවා.මේ ගල පිහිටන්නේ දිය ඇල්ලේ ඇදහැලීමට මීටර පහක පමණ දුරකින් වන අතර අප මෙහි දුටු විශේශම කරුනක් වන්නේ අප ඉහල බැලූ විට අපගේ හිසට ඉහලින් ගල් දෙබුක්කාවේ හිරවුන විශාල ගල් කුට්ටි කිහිපයක් පැවතීමයි.

ගිනිගෙදර ඇල්ල ආසන්න වශයෙන් මීටර දොලහක පමණ උසක් ඇති කුඩා දිය ඇල්ලක් වන අතර කලු ගගේ කුඩා දිය කඩිත්තකින් උපත ලබනවා.අගලවත්ත ප්‍රාදේශීය බල සීමාවේ පිහිටා ඇති මේ දිය ඇල්ල පිලිබදව බොහෝ ගම්වාසින්ද නොදැනුවත්.ඒ නිසාම ඇල්ල අවට පරිසරය යම්තාක් මට්ටමකට සුරැකිව පවතින මේ ඇල්ලට යම් තාක් ප්‍රමාණයකට හෝ සමාන කමක් දක්වන ඇල්ලක් ලෙස රත්නපුර කටුගස් ඇල්ල දැක්විය හැකියි.ලංකාගම ගල් ඔරුව ඇල්ලත් මේ හා සමාන කමක් දැක්වූවත් ඇල්ල ආසන්නයට බැලිය හැකි ආකාරයෙන් පිහිටීම.ගිනිගෙදර ඇල්ලේ විශේශත්වයයි.

ගිනිගෙදර ඇල්ල තුල සිටින විට අපට අප සිටින්නේ මධ්‍යහනයේ ද සවස ද , වර්ශාව සහිත දිනකද වැනි සියලු බාහිර පාරිසරික සාධක වැටහීමක් නැතිව යන තරම්.දෙපස පිහිටි ගල් බිත්ති වලින් ඇදහැලෙන වතුර බිංදු නිසාත් එතුල ඇති අදුරු පරිසරය නිසාත් නිතරම් සවස් කාලයක වැසිබර මොහොතක සේ අපට දැනෙන ස්ථානයක් මේ.

සිත්සේ දිය නෑමෙන් අනතුරුව අප සිව්දෙනා නැවත ගම්බිම් බලා පිටත්වූ අතර ලංකාව තුල දිය ඇලි එකසිය විස්සකට ආසන්න ප්‍රමාණයක ඇසින් දුටු සාක්ශිකාරයකු වන මා මෙතෙක් දුටු වෙනස්ම පිහිටීම සහිත දිය ඇල්ල වන්නේ මෙම දිය ඇල්ලයි

රැගෙන එන්න මතකයන් හා සේයාරූ
ඉතිරි කරමින් ඔබේ පා සටහන් පමණක්

Created : Jun 1, 2020 01:45pm
Last updated : Mar 29, 2024 10:57am