Loading

Loading...

Camping tricks

කලබලකාරී ජීවන රටාවත් සමඟ පීඩනයට පත්වීම, එළිමහනේ ත්‍රාසජනක අත්දැකීම් ලබාගැනීමට ඇති කැමැත්ත, පරිසරය ගවේශණය කිරීමට තිබෙන කැමැත්ත වැනි හේතු නිසා වර්තමානයේ බොහෝ පුද්ගලයන් කඳවුරු තුළ කාලය ගතකිරීමට වැඩි නැඹුරුවක් දක්වයි. ස්වාභාවික පරිසරයක් තුළ දී තාවකාලික නවාතැනක් ලෙස ටෙන්ට් හෝ විශේෂයෙන් සකසන ලද වාහනයක් (Recreational vehicle) භාවිතා කරමින් රාත්‍රිය ගතකරන විනෝදාත්මක ක්‍රියාකාරකමක් ලෙස කඳවුරු ගතවීම සරලව හැඳින්විය හැකිය. මානසික ආතතිය අඩුවීම, පවුල සහ මිතුරන් සමඟ කාලය ගතකිරීමට අවස්ථාව ලැබීම, සෞඛ්‍යයට හිතකර වීම මෙන්ම නාගරිකව වෙසෙන පුද්ගලයන්ට පරිසරය සමඟ සම්බන්ධ වීමට අවස්ථාවක් ද මෙමගින් හිමි වේ.

එක් රැයක් හෝ රාත්‍රි කිහිපයක් එළිමහනේ රැඳීසිටින බැවින්, කඳවුරක් තුළ රාත්‍රිය ගතකිරීමට බලාපොරොත්තු වන්නන් විසින් අවධානය යොමුකළ යුතු කරුණු රාශියක් තිබේ. මෙහිදී ඒ සදහා සහභාගී වන්නන්ගේ පහසුව සහ ආරක්ෂාව සඳහා මෙන්ම පරිසරයේ සහ වන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කෙරෙන පරිදි ක්‍රියාකළ යුතු ආකාරය, කසළ බැහැර කිරී‍මේදී සැලකිලිමත් විය යුතු කරුණු, පරිසරයට වියහැකි හානිය අවම වන පරිදි ගිනිමැල දැල්වීම පිළිබඳව හා අනෙකුත් සංචාරකයන්ගේ පහසුව වෙනුවෙන් අප විසින් පිළිපැදිය යුතු ආචාරධර්ම පිළිබඳව මෙම ලිපියෙහි සඳහන් වේ.

1. සැලසුම් කිරීම සහ පෙර සූදානම

ගවේශකයන්, සැලසුම් කිරීමකින් තොරව රාත්‍රිය කඳවුරු තුළ ගතකිරීමට යාම අනාරක්ෂිත වේ. එමගින්, බලාපොරොත්තු වූ පරිදි පාරිසරික සෞන්දරත්වය විඳීමට නොහැකි වෙනවා මෙන්ම, පරිසරයට ද හානිවීමට ඉඩතිබේ.

සැලසුම් සහගත වීමෙන්;

  • කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු වේ.
  • පරිසරයට සිදුවිය හැකි හානි අවම වේ.
  • ගවේෂකයන්ගේ අරමුණු ඉටු වේ.

කඳවුරු ගතවීමක් සැලසුම් කිරීමේදී අවධානය යොමුකළ යුතු කරුණු ;

  1. කණ්ඩායමේ අරමුණු හඳුනාගැනීම. (Trip goals)
  2. සහභාගී වන්නන්ගේ හැකියාවන් හඳුනාගැනීම.
  3. කාලගුණ තත්වයන් පිළිබඳව අවධානය යොමුකිරීම.
    හදිසි ගංවතුර/ජල ගැලීම්/සුළං ප්‍රවාහයේ වැඩිවීම් වැනි තත්වයන්ට ලක්විය හැකි ස්ථාන කඳවුරු භූමියක් ලෙස තෝරාගැනීම සුදුසු නොවේ. විශේෂයෙන්ම දියඇළි සහ ගංගා ආශ්‍රිතව කඳවුරු තැනීමේදී මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු වේ. වර්ෂාව සහ ජලාශ වල වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් ජල මට්ටම ක්ෂණිකව ඉහළගොස් අනතුරු වියහැකි නිසා, ඒ පිළිබඳව දැනුවත්ව කටයුතු කිරීම අත්‍යාවශ්‍ය වේ.
  4. සරල ආහාර සැලසුම් කිරීම. (One-pot meals)
    බරින් අඩු සරල ආහාර රැගෙනයාම සහ පිළියෙල කිරීම පහසු කරන අතර, නැවත රැගෙන පැමිණිය යුතු කසළ ප්‍රමාණයද අඩු කරයි.
  5. සංචාරය කිරීමට බලාපොරොත්තු වන ප්‍රදේශය පිළිබඳව සිතියම් මගින් සහ ඉඩම් හිමියන්ගෙන් තොරතුරු දැනගැනීම හා ගමන්කරන මාර්ගය ගැන නිවැරදි අවබෝධයක් ලබාගැනීම. අදාළ මාර්ග වල භාවිතා කළහැකි ප්‍රවාහන මාධ්‍යයන් මෙන්ම ගං වතුර, නායයාම් වැනි හදිසි අවස්ථාවකදී භාවිතා කළහැකි විකල්ප මාර්ග පිළිබඳව ද අවබෝධයක් තිබීම වැදගත් වේ.

2. භූමියට සිදුවියහැකි හානි අවම කිරීමට කටයුතු කිරීම

ස්වාභාවික පරිසර පද්ධති හරහා ගමන්කරන විට, හැකි සෑමවිටකදී ම පවතින අඩිපාරවල් ඔස්සේ ගමන්කිරීම සුදුසු වේ. එමගින් මිනිස් පාද වලට පෑගීමෙන් හානිවන තෘණ හා ශාක ප්‍රමාණය අවම වේ.

පෙර පැමිණි පුද්ගලයන් නිසා දැනටමත් හානි වී ඇති ස්ථානයක් හෝ ස්වාභාවිකවම තෘණ, පැළෑටි නොමැති වැලි සහිත ස්ථානයක් කඳවුර ඉදිකිරීමට තෝරාගැනීමෙන් භූමියට සිදුවිය හැකි හානිය අවම කරගත හැකි වේ. එවාගේම, ආහාර සැකසීම ගල් සහිත ස්ථාන වල සිදුකිරීම, තෘණ සහිත මතුපිට වල මෘදු පාවහන් පැළදීම, හැකි සෑමවිටකදීම පාෂාණ හෝ වැලි මතින් ගමන් කිරීම, ජලය ලබාගැනීමට යාම වැනි කාර්යයන් සඳහා යාමේදී එකම මාර්ගය වෙනුවට විවිධ මාර්ගයන් භාවිතා කිරීම යනාදියෙන් ද භූමියට සිදුවිය හැකි හානිය අවම කරගත හැකි වේ. එමෙන්ම කඳවුර ජලය සහිත ස්ථාන වලින් අවම වශයෙන් වැඩිහිටියෙකුගේ පියවර 70 කට වඩා දුරින් ස්ථානගත කිරීම සුදුසු වේ. එනිසා සුදුසු ස්ථානයක් හඳුනාගැනීමට ප්‍රමාණවත් කාලයක් වෙන්කිරීම අවශ්‍ය වේ.

කඳවුර ඉවත් කරගැනීමෙන් පසු එම ස්ථානය ස්වාභාවික භූමියක් ලෙස පෙනෙන පරිදි, පාද වලට පෑගී තැලුණු බිම කොළ අතු ආදියෙන් වසාදැමීම, අඩි සලකුණු මකාදැමීම කළයුතුය.

3. නිසිලෙස කසළ බැහැර කිරීම

ජල දූෂණය අවම කිරීමට සහ ලෙඩරෝග පැතිරීම වළක්වාලීමට මිනිස් මළ අපද්‍රව්‍ය නිසිපරිදි බැහැරකිරීම අත්‍යාවශ්‍ය වේ. සංචාරය කිරීමට අපේක්ෂිත ප්‍රදේශයට අදාළ නිලධාරීන්ගෙන් ඒ සඳහා උපදෙස් ලබාගත හැකිය.

ඉවත දමන ආහාර පිළිස්සීම හෝ පොළව යට වැළලීම සාර්ථක කසළ කළමනාකරණ ක්‍රමයක් නොවේ. මක්නිසාද යත්, අර්ධ වශයෙන් පිළිස්සුණු සහ වැළලූ ආහාර ද්‍රව්‍ය වනසතුන් ට හානිදායක වියහැකි මෙන්ම, පසුව එම ස්ථානයට පැමිණෙන සංචාරකයන්ට ද එය අමිහිරි අත්දැකීමක් වියහැකි ය. ඉහත සඳහන් කරඇති පරිදි, පෙර සූදානමකින් යුතුව අත්‍යාවශ්‍ය ආහාර පමණක් රැගෙන ආ විට, දුගඳ හමන ඉවත දමන ආහාර මළු ආපසු ගෙනයාමට සිදුනොවේ.

ප්ලාස්ටික්, පොලිතින් ඇතුළු සියළුම අපද්‍රව්‍ය කඳවුරු භූමියෙන් පිටවීමට පෙර භූමිය හොඳින් පරීක්ෂා කර, නැවත රැගෙන ඒමට වගබලා ගතයුතු වේ.

භාජන සේදීම වැනි කාර්යයන් සඳහා භාවිතා කළ ජලය, අවම වශයෙන් ජල මූලාශ්‍ර වලින් අඩි 200ක් වත් දුරින් වූ සුදුසු ස්ථානයකට බැහැර කළයුතු ය. සබන් හෝ දියර වර්ග භාවිතා කොට පිරිසිදු කිරීම් කරන විට, එම සබන් අඩංගු ජලය ද ජල මූලාශ්‍ර වලින් ඈතට ගෙනගොස් බැහැර කළයුතුය. එසේ සිදුනොකළහොත් පිරිසිදු ජලයේ ගුණාත්මක බව අඩුවිය හැක.


මූලාශ්‍රය : Leave No Trace වෙබ් අඩවිය

4. ස්වාභාවික පරිසරයට හානියක් / වෙනසක් නොකිරීම.

ටෙන්ට් සවිකිරීමට පොළවේ වලවල් කැපීම, කූඩාරම් ලණු ගස් කඳන් වල ගැටගැසීම, ගස් අතු විවිධ දේ එල්ලාතැබීමට ආධාරක ලෙස යොදාගැනීම, ගස් වල අකුරු හා සංකේත කෙටීම වැනි පරිසරයේ ස්වාභාවික තත්වය වෙනස් කෙරෙන ක්‍රියාකාරකම් වලින් වැළකී සිටිය යුතුය. කොළ හෝ මල් කඩාගැනීමට වඩා ඒවායේ ඡායාරූපයක් පමණක් ගැනීමෙන් පරිසරයට හානි නොවනවා මෙන්ම ඉදිරියේදී පැමිණෙන සංචාරකයන්ට ද ඔබ දුටු සුන්දරත්වයම විඳගැනීමට අවස්ථාව සැලසේ.

එමෙන්ම පාෂාණ, ගස්අතු හා කොළ වලින් වැසී තිබුණු ප්‍රදේශයක් එළිකළහොත්, ඒ භූමියෙන් ඉවත්වීමට පෙර නැවත තිබුණු පරිදි ආවරණය කිරීම කළයුතු ය. මක්නිසාද යත්, ඕනෑම ගවේශකයෙකුගේ අපේක්ෂාව වන්නේ, ස්වාභාවික පරිසරයේ කාලය ගතකිරීම හැර කවුරුන් විසින් හෝ වෙනස්කළ පරිසරයක ට පැමිණීම නොවේ.

ස්වාභාවිකව තැණුනු වටිනා දේවල් (උදා: Petrified wood) සහ පුරාවිද්‍යා වටිනාකමක් සහිත වස්තූන් වලට හානි කිරීම හෝ ඉවත්කිරීම නීතියෙන් තහනම් බැවින් ඒ පිළිබඳව ද විශේෂ අවධානයක් යොමුකිරීම වැදගත් වේ.


මූලාශ්‍රය : Leave No Trace වෙබ් අඩවිය

5. හානිදායක බව අවම වන පරිදි ගිනිමැල දැල්වීම

කඳවුරු වලදී ආහාර පිසීමට, උණුසුම ලබාගැනීමට මෙන්ම විනෝදය පිණිස ද ගිනිමැල යොදාගැනීම අනිවාර්යය අංගයක් බවට පත්ව තිබේ. එමෙන්ම කඳවුරක රාත්‍රිය ගතකිරීමේදී සාර්ථකව ගිනිමැලයක් දල්වාගැනීමට ඇති හැකියාව ගවේශකයෙකුගේ වැදගත් කුසලතාවයක් වේ. නමුත් මෙමගින් පසට හානිවිය හැකි අතර, දර විශාල ප්‍රමාණයක් ද අවශ්‍ය වේ. එයට විසඳුමක් ලෙස "ගිනි උඳුන්" මේ වනවිට භාවිතයට පැමිණ ඇත. උඳුන්, ගිනිමැල වලට සාර්ථක විකල්පයක් වන අතර, ඒ මගින් පරිසරයට වන හානිය අවම ය. එමෙන්ම ඒවා ඕනෑම කාලගුණික තත්වයක් යටතේ භාවිතා කිරීමට ද හැකි ය.

කෙසේවෙතත් ගිනිමැල දැල්වීම අත්‍යාවශ්‍ය අවස්ථාවක දී,

  • අදාළ ස්ථානයට අනුව පරිසරයට කෙතරම් හානියක් සිදුවන්නේ ද
  • අදාළ ප්‍රදේශය පාලනය කරන ආයතනයට අනුව බලපැවැත්වෙන නීති රීති තිබේද
  • ප්‍රමාණවත් දැව ප්‍රමාණයක් එම ස්ථාන‍ය අව‍‍ට තිබේද
  • පරිසරයට හානි නොකරමින් ගිනිමැල දැල්වීමට හැකියාවක් කණ්ඩායම් සාමාජිකයන් සතුව තිබේද

යන කරුණු සලකාබලා කටයුතු කිරීම සුදුසු ‍වේ.

ඊට අමතරව;

  • ජීවය පවතින හෝ මැරුණු ගස් වලින් ගිනි දැල්වීමට දැව ලබානොගත යුතුය. මෙම ශාක කුරුල්ලන් හා විවිධ කෘමි සතුන් වාසස්ථාන කරගෙන ජීවත් වන අතර, මැරුණු ශාක පසේ ජලය රඳවාගැනීමේ ධාරිතාවය ද ඉහළ නංවයි.
  • ගස් වලින් අතු කඩාගැනීම/ කපාගැනීම වෙනුවට, බිමට වැටී ඇති අතු කැබලි ගිනිමැලයට යෙදීමෙන් ඉක්මනින් ගිනිමැලය සකසාගැනීමට හැකිවනවා සේම ස්වාභාවික පරිසරයට සිදුවන බලපෑම ද අවම වේ. තවද වැඩිහිටි පුද්ගලයෙකු ට අතින් කැඩිය හැකි ප්‍රමාණයේ දැව යොදාගැනීම ද සුදුසු වේ.
  • දර එක් ස්ථානයකින් ම නොගෙන කඳවුර අවට විවිධ ස්ථාන වලින් එක්රැස් කරගැනීම යෝග්‍ය ය. මුහුද හෝ ගංගාවක් ආශ්‍රිත ස්ථානයක් නම්, වෙරළට ගසාගෙන ආ වියළි දර යොදාගත හැකිය.
  • දැව ගිනිගෙන අවසන් වූ පසු, අඟුරු ජලය සමග මිශ්‍ර කොට ඉවත් කළයුතුය. එසේ නොමැති වුවහොත් අර්ධ වශයෙන් ගිනිගත් දැව වලින් නැවත ගින්නක් හටගත හැකිය.
  • ගිනිමැලය පස් මත සකස් කළේ නම්(mound fire), ගින්න නිවාදැමීමෙන් පසු යොදාගත් පස් නැවත තිබුණු ස්ථාන වලට විසිරුවා හැරීම කළයුතු වේ.
  • ගිනිමැලය දැල්වෙන අවස්ථාවේ දී ගිනි ඇවිලෙනසුලු ද්‍රව්‍ය ගින්නට ඈතින් තැබිය යුතු අතර, කඳවුරු භූමියෙන් ඉවත්වීමට පෙර ගින්න හොඳින් නිවී ඇතිදැයි දෙවරක් පරීක්ෂා කර බැලිය යුතු වේ.
  • එමෙන්ම ගල් පර්වත ආසන්නයේ ගිනි දැල්වීම සිදුනොකළ යුතුය. එමගින් පර්වත මත වසර ගණනාවක් පවතින පැල්ලම් ඇතිවිය හැකිය.


මූලාශ්‍රය : Leave No Trace වෙබ් අඩවිය

ගිනි උඳුනක් නොමැති අවස්ථා වලදී භාවිතයට ගකහැකි විකල්ප

  1. පස් මත සකසන ගිනිමැල (Mound fire)
    මෙම ක්‍රමයේ ති‍බෙන විශේෂත්වය වන්නේ, පාෂාණ, තෘණ, වැලි වැනි ඕනෑම මතුපිටක ගිනිමැලය සැකසිය හැකිවීම වේ. දැනටමත් පොළවට හානි වී තිබෙන ස්ථානයකින් පස් හෝ වැලි ගෙන, අනවශ්‍ය රෙදි කැබැල්ලක් හෝ කවරයක් වැනි දෙයක් මත අඟල් 3-5ක් ඝනකම තිබෙන පරිදි පස් ඇතිරිය යුතු වේ. එම පස් ත‍ට්ටුවේ ඝනකම අනුව ගින්නෙහි රස්නය පොළවට බලපාන ආකාරය වෙනස් වේ. එමෙන්ම ගින්න පැතිරේ යැයි අපේක්ෂිත ප්‍රදේශයට වඩා පස් ඇතිරූ ප්‍රදේශය විශාල වියයුතු වේ. එම පස් මත දැව භාවිතයෙන් ගිනිමැලය සකස් කළහැකි වේ. මෙම ක්‍රමය මගින් භූමිය‍ට සිදුවිය හැකි බලපෑම අවම කරයි.
  2. Fire pans
    Fire pans භාවිතය මගින් ද සාම්ප්‍රදායික ක්‍රමයට පොළව මත ගිනිමැල දැල්වීමෙන් පරිසරය‍ට වන හානිය අවම කරගත හැකි වේ. එමෙන්ම එය අවම වශයෙන් පොළව මට්ටමින් අඟල් 3ක් පමණ ඉහළින් තිබිය යුතුය.

6. වන සතුන්ගේ ජීවිතයට බාධා නොකිරීම

ඔබ නැරඹීමට ඇතුළු වන පරිසරය වන සතුන්ගේ නිවහනයි. එමනිසා ඔවුන්ගේ ජීවිතයට බාධාවක් නොවන අයුරින් හැසිරීම අපගේ වගකීමක් වේ.

  • විශාල කණ්ඩායම් වශයෙන් වනයේ සැරිසැරීම සතුන්ට කරදරකාරී බැවින් කුඩා කණ්ඩායම් වලට බෙදී හැකිතරම් නිහඩව ගමන්කිරීම සුදුසු වේ.
  • වන සතුන් සුරතල් කිරීමට හා ආහාර ලබාදීමට උත්සාහ කිරීමෙන් ඔවුන් බියට පත්ව පලා යා හැකිය. සත්ව හැසිරීම් රටා හැකිතරම් දුරක සිට නිරීක්ෂණය කරන්න. ඔවුන්ට ළංවීමෙන් සතුන්ට වැළදී තිබිය හැකි ජලභීතිකාව වැනි රෝග මිනිසාට සම්ප්‍රේෂණය විය හැක. එමෙන්ම සමහර අවස්ථා වලදී කුඩා පැටවුන්ව මිනිසුන් ස්පර්ශ කිරීමෙන් පසු, ඒ පැටවුන්ගේ දෙමව්පියන් විසින් ඔවුන්ව කණ්ඩායමෙන් පලවාහරිනු ලබයි.
  • තුවාල වුණු හෝ අසනීපයකින් පෙළෙන සතෙකු හමුවුණහොත්, වහාම වනජීවී නිලධාරියෙක්ට දැනුම් දෙන්න. කිසිවිටෙකත් ස්පර්ශ නොකරන්න.
  • රැගෙන යන ආහාර හා කසළ සතුන්ට ළඟාවිය නොහැකි ස්ථානයක තබාගන්න. ජලය ඇති ස්ථාන වලට නිරන්තරයෙන් සතුන් පැමිණෙන නිසා, ඒ අවට වැඩි වේලාවක් නොරැඳී ඔවුන්ට ප්‍රමාණවත් කාලයක් ලබාදෙන්න. එමෙන්ම, ජලය අඩු වියළි කලාපයක සංචාරයේ යෙදෙන්නේ නම්, ස්වාභාවික ජලය සතුන්ටත් ඉතිරි වන පරිදි පරිහරණය කරන්න. එවැනි ප්‍රදේශ වල වැව් හෝ ජලාශ වලින් පිහිනීමෙන් වැළකී සිටින්න. එමගින් සබන් හා අපද්‍රව්‍ය නොමැති පිරිසිදු ජලය පානය කිරීමට සතුන්ට අවස්ථාව හිමි වේ.

අනෙකුත් සංචාරකයන්ට බාධාවක් නොවන ආකාරයට කටයුතු කිරීම

ඔබ මෙන්ම සෑම ගවේශකයෙකුම සංචාරය සඳහා ස්වාභාවික පරිසරයකට ඇතුලු වන්නේ, ගස් වැල් සතුන් ඇතුළු පරිසරයේ සුන්දරත්වයත් සමඟ ඒකාකාරී ජීවන රටාවෙන් මිඳීමට වේ. එනිසා පරිසරයේ ස්වාභාවිකත්ව‍ය රැකෙන අයුරින් හැසිරීම සැමගේ වගකීම වේ.

ඔබට සංගීතයට සවන්දෙමින් ගමන්කිරීමට අවශ්‍ය වුවත්, තවත් පුද්ගලයෙකුට ඩිජිටල් උපකරණ රහිතව පරිසර සුන්දරත්වය විඳීමට අවශ්‍ය වියහැකිය. එවැනි අවස්ථාවකදී ඔබට පිටතට ශබ්දය ගලායන උපකරණ (speakers) වෙනුවට headphone වැනි මෙවලම් භාවිතා කළහැකිය.

දෙදෙනෙකුට එකවර මාරුවිය නොහැකි පටු මාර්ග වලදී සාමාන්‍යයෙන් යොදාගන්නා භාවිතය වන්නේ, ආපසු පැමිණෙන පුද්ගලයන් විසින් පසෙකට වී ඉහළට ගමන්කරන පුද්ගලයන්ට ඉඩ ලබාදීම වේ. තවද, පයින් ගමන්ගන්නා අය අශ්වාරෝහකයන් සිටී නම් ඔවුන්ට ඉඩ ලබාදිය යුතු අතර, පා පැදි වලින් ගමන්කරන අය, පයින් ගමන්කරන අයට මෙන්ම අශ්වාරෝහකයන්ට ද ඉඩ ලබාදිය යුතු වේ. අශ්වයන් ඉක්මනින් ශබ්ද වලට කලබල වන සත්ව විශේෂයක් බැවින් අශ්වයන් සමඟ මාර්ගය මාරුවීමේදී විශාල ශබ්ද නොකළයුතු වේ.

කඳවුර ඉදිකිරීම සඳහා ස්ථානයක් තෝරාගන්නා විට, සංචාරකයන් ගමන්ගන්නා මාර්ග වලට නොපෙනෙන අයුරින් ගස් හෝ ගල් වලින් ආවරණය වූ ස්ථානයක් තෝරාගන්න. කැපීපෙනෙන වර්ණ වල ඇඳුම් හෝ ටෙන්ට් භාවිතා නොකරන්න. එම වර්ණ වලින් පරිසරයේ ස්වාභාවිකත්වය හා හුදකලා බව අඩු කෙරේ. පරිසරයට ගැලපෙන වර්ණයන් වන දුඹුරු, කොළ වර්ණ වඩාත් උචිත වේ.

සුරතල් සතුන් ගෙනයන්නේ නම්, ඔවුන්ව තමන් ආසන්නයේ පමණක් විශාල ශබ්ද වලින් තොරව තබාගත යුතු වේ.

අවට සිටින පුද්ගලයන් ප්‍රමාණය කුඩා නම්, පරිසරයේ සුන්දරත්වය නිසිලෙස විඳගැනීමට ඔබට අවස්ථාව සැලසේ. එනිසා නිවාඩු දිනවල හා සංචාරකයන් විශාල ලෙස පැමිණෙන දින මගහැර සංචාරය කිරීමට උත්සාහ කරන්න.


මූලාශ්‍රය : Leave No Trace වෙබ් අඩවිය

පළමු වරට කඳවුරක රාත්‍රිය ගතකිරීමට බලාපොරොත්තු වන්නෙක් නම් ඉහත කරුණු වලට අමතරව මේ පිළිබඳව ද සැලකිලිමත් වීම වැදගත් වේ.

  • පිටත්වීමට පෙර නිවසේදී ටෙන්ට් එක හසුරුවා ගන්නා ආකාරය පුරුදු වීම, ටෝච් හා උඳුන් නිසියාකාරව ක්‍රියාකරන බව තහවුරු කරගැනීම යෝග්‍ය වේ.
  • ප්‍රමාණවත් පරිදි ඉඩකඩ සහිත ටෙන්ට් එකක් තෝරාගන්න. ටෙන්ට් එක තුළ රැඳී සිටීමට අපේක්ෂිත සාමාජික සංඛ්‍යාවට වඩා දෙදෙනෙකුගේ ප්‍රමාණයට සකසා ඇති ටෙන්ට් එකක් තෝරාගැනීමෙන් ඔබට සුවපහසුව එය තුළ රැඳීසිටීමට හැකි වේ. (4 දෙනෙකුට රැඳීසිටීම‍ට අවශ්‍ය නම්, 6 දෙනෙකුට සකසා ඇති ටෙන්ට් එකක් තෝරාගන්න.)
  • අත්‍යාවශ්‍ය භාණ්ඩ වල ලැයිස්තුවක් සකස් කරගෙන ඒ අනුව කටයුතු කරන්න.
  • අඳුර වැටීමට පෙර දිවා ආලෝකයෙන් කඳවුර සකස් කරගැනීමට කටයුතු කරන්න.
  • ප්‍රමාණවත් තරම් ඇඳුම් ගෙනයාමට සැලකිලිමත් වන්න. කාලගුණ තත්වයන් ඉක්මනින් වෙනස් වන බැවින්, සීතලට හා වැස්සට ඔරොත්තු දෙන ඇඳුම් රැගෙන යන්න.
  • පළමු අත්දැකීම වන නිසා, නිවසින් බොහෝ දුර ස්ථානයක් තෝරාගැනීමෙන් වළකින්න.

මෙම කරුණු අනුගමනය කිරීමෙන් ඔබට සාර්ථකව කඳවුර තුළ කාලය ගතකොට සුන්දර මතකයක් ජීවිතයට එකතු කරගැනීමට අවස්ථාව සැලසේ.

- චනුරි අභිමානි -

මූලාශ්‍ර :

The 7 Principles - Leave No Trace Center for Outdoor Ethics. Leave No Trace. from https://lnt.org/why/7-principles/.

Top 10 Essential Tips for First Time Campers. TripSavvy, from https://www.tripsavvy.com/essential-tips-for-first-time-campers-504011.

Created : Jul 16, 2021 01:25pm
Last updated : Apr 26, 2024 09:51pm