උදෑසන 5.00ට පානදුරෙන් පිටත් වූ අප රත්නපුරයට ළඟා වන විට උදෑසන 6.30 පමණ වී තිබිණි. එතැනින් උදෑසන ආහාරය ලබා ගත් අපි ඇඹිලිපිටිය බලා ගමන් ගන්නා බස් රථයක ගොස් පල්ලෙබැද්දේ හංදියට ළඟා වුණෙමු. එතැනින් 9.30ට ගමන් ඇරඹු කළල්ගොඩ බස් රථයේ නැගී වවුල්පන දක්වා ගමන් ඇරඹු තිදෙනාගෙන් යුත් අපේ කණ්ඩායම වවුල්පන හංදියෙන් බැස ගත්තෙමු. එතැන් සිට නැවතත් වවුල්පන හිරිගල් ගුහාව සඳහා 3Km පමණ පයින් යා යුතු විය. (වාහනයකින් පැමිණියේ නම් ඒ දුරත් වාහනයේම යා හැකිය.) ඉතා සුන්දර වටපිටාවක් පසු කරගෙන පල්ලම් බසිමින් පැමිණි ඒ ගමනට විටින් විට වැස්සෙන් අපට බාධා සිදු වුණත් ඒවා නොතකා අප ඉදිරියටම ගියේ හිරිගල් ගුහාව දැකගැනීමේ අටියෙනි. කෙමෙන් කෙමෙන් ගම් වැසියන්ගේ නිවෙස් ආදිය පසුකරමින් පැමිණි අපට අවසාන කඩයද පසු කිරීමෙන් පසුව වවුල්පන විද්‍යාලයද හමු විය. මගින් මඟට හමු වූ ගම්වැසියන්ගෙන් පාර අසා දැනගත් ආකාරයට සුන්දර වන පෙතේ ටිකදුරක් යද්දී පහළට බැසීමට පඩිපෙළක් හමු විය.

දකින පළමු දැක්මෙන්ම හිරිගල් ගුහාව අප සිත් වශී කර ගන්නවා මෙන්ම සිත තුළට බියජනක හැඟීමක්ද ඇති කරන්නේ එහි ස්වභාවය නිසාය. තවද එයින් හමා එන වවුල් ගඳ එම බිය දෙගුණ තෙගුණ කරයි. එමෙන්ම අප පැමිණි ම‍ඟෙහිදී හමු වූ ඇළ පාර දිගටම ගලාවිත් මෙම හිරිගල් ගුහා ද්වාරයෙන් ඇතුළු වී අනෙක් ද්වාරයෙන් එළියට යයි. මෙය මුහුදු මට්ටමේ සිට 912m ක් උසින් පිහිටා ඇත. ඉතා දැවැන්ත වෘක්ෂ සහ වන ගහනයක් වට කරගත් මෙම ගුහාව මුළුමනින්ම හිරිගල් වලින් සෑදී තිබෙන අතර හිරිලඹ සහ හිරිටැඹ වලින් සැදුම්ලත් වී ඇත.

පෙර සුදානම් වී පැමිණි නිසා එම ගුහා ද්වාරය අසල තනා තිබූ නැරඹුම් අට්ටාලයේ සිට ඇඳුම් මාරු කරගත් අප බෑග්ද පොලීතින් වලින් ආවරණය කර ගත්තේ ඇතුළත සිටින වවුලන්ගෙන් ආරක්ෂා වීම සඳහායි. මැක්කන් සිටින නිසා අත්දිග ඇඳුමක් මෙන්ම, හිසට කුමන හෝ ආකාරයේ හිස් වැස්මක්ද තිබීම යෝග්‍ය විය. 

ගුහා ද්වාරයෙන් ඇතුළු වූ අප විදුලි පන්දම් ආලෝකයෙන් සෙමෙන් සෙමෙන් ඉදිරියට ගමන් කළෙමු. ඉක්මණින්ම වවුල් ගඳට හුරු වූ නමුත් අප ආ බව දැනගත් වවුලන් කෑ ගසන්නටත් එහා මෙහා පියඹන්නටත් වූයේය. කලින් දැනගන්නට ලැබුණු කතාව ඇත්ත බව පසක් වූයේ ඉහළට විදුලි පන්දම එල්ල කළ විටය. එහි වවුලන් මිලියනයකටත් අධික ප්‍රමාණයක් වෙසෙන බව තහවුරු විය. එමෙන්ම මිලියනයක් පමණ වූ වවුලන්ගේ වසුරු ප්‍රමාණය ඔබට සිතාගත හැකිද ? එම ගුහාව තනිකරම පාහේ වවුලන්ගේ පොදු වැසිකිළියක් බඳු විය. වියළි පස් සහිත තැන්ද, ගල් ආදියද තිබූ අතර සමහර තැනෙක අඟල් 4-5 ක වවුල් වසුරු තට්ටුවක් දැකගත හැකිය. ගුහාව ඇතුළ සාමාන්‍ය තරමක් විශාල විය. කැරපොත්තන්, මීයන්, මැක්කන්, වවුලන්ට අමතරව තවත් බොහෝ සතුන් එහි සිටින්නට ඇතැයි සිතිය හැක.;

ගුහාවේ 20m ක් පමණ ඉදිරියට ගමන් කළ අපට එතැනින් ගලා යන් වතුර ශබ්දයට අමතරව තවත් වතුර වැටෙන ශබ්දයක් ඇසෙන්නට විය. මේ කිවුල් දිය ඇල්ලය. ලංකාවේ අභ්‍යන්තර දිය ඇළි වලින් උසම දිය ඇල්ල වන මෙය ලෝකයේ අභ්‍යන්තර ඇළිවලින් දෙවන ස්ථානය ගනී. දැන් අප සිටන ස්ථානය එනම් දිය ඇල්ල ඉදිරිපිටට 40m පමණ උඩින් පිහිටි පොළොවේ කුඩා සිදුරකින් එළිය වැටේ. දිය ඇල්ලෙන් නැරඹීමෙන් පසු එළියට යාමට නම් වතුර වළකට බැස ගමන් කළ යුතුව තිබිණි. එහි ගැඹුරක් නොපෙනේ. කළුම කළු පැහැ ජලයේ වවුල් වසුරු තිබිය යුතුමය. එමෙන්ම හිරිලඹ සෑදී අප වතුරෙන් එගොඩ විය යුතු මාර්ගය වැසී තිබුණු නමුදු සිහින් ආලෝකයක් ඒ දෙස දැකගත හැකි විය. හිතට දිරිය ගෙන එම ත්‍රාසජනක අත්දැකීමට මුහුණ දීමට අප වතුර වලට බැස්සෙමු. සිතූ තරම් ගැඹුරක් නොතිබූ අතර කකුල් වලට වවුල් වසුරු වල තත්ත්වය නම් හොඳටම දැනුණි. හිරිලඹ ඇති තැන්වලින් නැවී ගමන් කිරීමට සිදු විය. එයින් එළියට ආ විට ගුහාවේ අනෙක් ද්වාරය අපට හමුවිය. එම ස්ථානයේ සිටි කබරගොයන් දුටුවේ ටික වේලාවකින් පසුවය. 

ඉන්පසුව ගුහාවෙන් එළියට පැමිණි අප ගුහාව ඉහළට ගොස් ගුහාවේ දිය ඇල්ලට වතුර වැටෙන ස්ථානයද එම ස්ථානයේ ඇති කොරල්ද දැකබලා ගත්තෙමු. ඉන්පසු එම කිවුල් දිය පහර දිගේ ඉහළට ගිය අපට පීල්ලක් හමු විය. ගම්මුන් පවසන අන්දමට සබන් ආදීය නොගා එම කිවුල් ජලය නෑමෙන් ලෙඩ රෝග හොඳ බව දැනගත හැකිවිය. ඉන්පසු වවුල් වසුරු සහ වවුල් ගඳ යනතුරු කිවුල් වතුර නා නැවත අප ආ මගේම යාමේ දී පෙර සඳහන් කරන ලද ඇළෙහි යෝධයා කැපූ වල දැක ගන්නට ලැබිණි.

ඉන්පසුව අපේ අරමුණ වූයේ උඩගම දූවිලි ඇල්ල නැරඹීමයි. නැවතත් වවුල්පන හන්දියට පැමිණි අප බසයක් හමුවෙනතුරු අප පැමිණි පාරෙහිම පල්ලේබැද්ද දෙසට පයින් යද්දී බසයක් හමුවිය. එයින් උඩගම හන්දියට ගොස් එයින් ගමට දිවෙන පාර ඔස්සේ ගමට ගියෙමු. ඉතා සුන්දර වෙල් යායවල් පසු කරමින් ගිය අපට කඩයක් හමුවිය. ඒ අසල ඇති වෙල් යාය මැදින් ගොස් හමුවන වන පෙතේ ඇති කුඩා අඩි පාරවල් දිගේ ඉදිරියටම ගියෙමු. මදින් මද ඇති වූ වැස්ස නොතකා ගිය අපට විශාල ගසක් හමු විය. එය පසු කර ගිය අපට දූවිලි ඇල්ල හමු විය. 30m ක් පමණ උස වූ දූවිලි ඇල්ලේ සීතල ජලය දූවිලි මෙන් විසිරී පැතිරී යයි. එයින් සීතල ජලය ස්නානය කළ අපි නැවතත් පල්ලේබැද්දට පයින්ම පැමිණියෙමු. ඒ පැමිණෙන විට රාත්‍රී වී තිබුණු නිසා රාත්‍රී ආහාර ගෙන කොළඹට පැමිණීමට පිටත් වුණෙමු.

ජීවිතයේ එක් වතාවක් පමණක් (ඒ වවුල් වැසිකිළියට ආයේ නම් නොයන බව නිසැකය) විඳිය හැකි එම අත්දැකීම විඳ ගන්නට කවුරුන් හෝ යන්නේනම් වැදගත් වේයැයි සිතා මේ සටහන තබමි.