Chariot path හි සිංහල අරුථ වන්නේ යම්කිසි යානයක් ගුවන් ගත කරන හෝ ගොඩ බස්වන පථයක් යන්නයි. අතීතයේ රාවණ නම් රජුගේ දඩුමොණර යානය ගොඩ බස්වන්නට තැනුවේ යැයි කියන මෙවන් ස්වභාවික පථයක් ගැන අපට දැනගන්නට ලැබුණේ එහි සංචාරය කල යහළුවන් පිරිසකගෙනි. එබැවින් පුස්සැල්ලාව ප්‍රදේශයේ, පිදුරුතලාගල කන්දට මායිම්ව පිහිටි කඳු පන්තියේ වූ මෙම පථය බොහෝ දෙනා ව්‍යවහාර කරනු ලබන්නේ Chariot path නමිනි. පුරාවුර්තවල සඳහන් වන පරිදි රාවණා රජු විසින්, සීතා දේවියව වර්තමානයේ ගුරුළුපොත-හසලක ප්රදේශයේ පිහිටි සීතා කොටුවේ සිට අශෝක වතිකාව දක්වා එනම් වර්තමානයේ හක්ගල උද්භිද උද්යානය ලෙස සැලකෙන ප්‍රදේශය දක්වා දඬුමොනරයේ නංවාගෙන තම රාජධානියේ සුන්දරත්වය පෙන්වීම උදෙසා ගමන් කළ පථයක් ලෙස සැලකේ. එබැවින් අදටත් මම පථය තෘණ වර්ගවලින් පිරි නිසරු භූමියක් ලෙස දැකගත හැක.

මෙම පථය කරා කොළඹ සිට පැමිණෙන අයෙකුට නම් ඇති ලෙහෙසිම ක්‍රමය වන්නේ කොළඹ සිට නුවර ඔස්සේ නුවරඑළි බස් රථයක ගමන් කර පුස්සල්ලාවට ළගාවීම හෝ කොළඹ සිට නුවරට පැමිණ එතැන් සිට නුවරඑළි බස් රථයක නැගී පුස්සැල්ලාව කරා ළඟා වීමයි. මෙලෙස කොළඹ සිට අළුයම 5 ට ගමන් ඇරඹු අප පුස්සල්ලාවට ළඟාවනවිට දහවල් 10.30 පමණ විය. එහිදී උදෑසන ආහාරයද ගෙන රාත්‍රියක් මෙහි ගත කිරීමට අවශ්‍ය අඩුම කුඩුම ටිකද ගත්තේ අපට අන්තිමට හමුවන නඟරය මෙය නිසාවෙනි.

එතැන සිට පෙරට්ටාසි බස් රථයට ගොඩ වූ අප මීළඟ ගමනාන්තය වන පෙරට්ටසි දක්වා 12km ගමන් කළෙමු. මෙම ගමනට පැය 1 හමාරක් පමණ කාලයක් ගත වූ අතර මාර්ගය එතරම් හොඳ තත්වයක නොතිබුණි. මෙම බස් රථයේ ගමන් කරන්නේනම් මතක තබා ගත යුතු ප්‍රධානම කරුණු දෙක වන්නේ මෙම බස් සේවාව හවස 3න්  පසු අවසන් වන බව හා පෝය දිනවලදී ක්‍රියාත්මක නොවන බවත්ය. තවද මෙම බස් රථයේ මඳ දුරක් ගෙවා ගිය අපට දකුණු පසින් කොත්මලේ ජලාශයේ සුන්දර දසුනක්ද දැක ගැනීමේ අවස්ථාව උදාවුනි.

gps targer

දහවල් 2.30 පමණ වනවිට පෙරට්ටසි ග්‍රාමයට ළගා වූ අප එහි වූ ගම් වැසියන්ගෙන් ගමන පිළිබද වැඩි තොරතුරු අසා දැනගත්තෙමු. ඉන් අනතුරුව ඔවුන්ගේ මඟ පෙන්වීමට අනුව ගමන් කිරීම ඇරඹු අපට මුලින්ම හමුවුයේ අත් හරින ලද පැරණි ලන්දේසි ගොඩනැගිල්ලකි. මෙතැන් සිට තවදුරටත් තේ වතු මැදින් ගමන් ඇරඹු අපට දකුණු පසින් අපගේ ගමනාන්තය පිහිටි කඳු පන්තිය දැකගැනීමට හැකිවිය. එතැන් සිට මද දුරක් ගිය අපට අපගේ ගමනාන්තය දක්වා ලගාවීමට ඇති මාර්ගය හමුවිය. එතැන් සිට පැය එකහමාරක් පමණ කාලයක් ගමන් කළ අපට හවස 4.30 පමණ වනවිට ගමනාන්තය වන Chariot path වෙත ගමන් කළ හැකිවිය. මෙම ගමනට ජංගම දුරකතනයේ GPS තාක්ෂණයද බෙහෙවින් උපකාරී විය. මන්දයත් ගමනාන්තය දක්වා ඇති මාර්ගය බෙහෙවින් අතු ශාකා වලට බෙදෙන නිසා හා ගම් වාසීන්ගේ මග පෙන්වීම ඇතැම් විට ප්‍රමාණවත් නොවූ බැවිනි. එබැවින් එම ප්‍රදේශයේ සිතියම ජංගම දුරකතනයට භාගත කර GPS ඔස්සේ පහත සිතියමේ පෙන්වා ඇති පරිදි zig-zag ආකාරයේ ඇති පථය ඉලක්කකර ගමන් කිරීම ඉතා නුවණට හුරු විය. මෙලෙස ගමන් කළ අපට වල් ඌරන් මෙම ප්‍රදේශයේ ගැවසෙන බවට වූ සළකුණු කිහිපයක්ම දැකගත හැකිවිය.

මෙලෙස chariot path දක්වා ගමන් කළ අපට ඉතාමත් නෙත් කළු දසුනක් දැකගත හැකිවිය. එනම් අප අසා තිබූ පරිදි තෘණ ශාකවලින් පිරී තිබෙන පථය හා ඒ අවට වැවී තිබෙන අඩි දෙකක් පමණ උසැති ශාක ගහනයත්ය. සැබැවින්ම මෙම පථය යම්කිසි යානයක් ගුවන් ගත කිරීමට නිර්මාණය වුවක් ලෙස දැක ගත හැකි  අතර පථය අවසන් වන්නේ කදු පන්තියේ එක් පසකින් වූ බෑවුම් සහිත ප්රදේශයකිනි. එපමණක් නොව මෙම ප්‍රදේශය ඉතා සීතල කාළගුණයකින් යුතු මනරම් පරිසරයකින් හා ක්ෂනිකව ප්‍රදේශය වසා ගත් මීදුම් වලාවලින් යුක්ත වේ. තවද වතුර සපයා ගැනීමට මෙම භුමියේ පසක පිහිටි කුඩා පොකුණ සීතා දේවියගේ කඳුළු වලින් සැදී පොකුණක් ලෙස පුරාවුර්තවල සදහන් වේ. මෙලෙස අඳුර සමඟ මීදුම ප්‍රදේශය වසාගෙන වුයෙන් අප ඉක්බිති කූඩාරම පිළියෙළ කර රාත්‍රී ආහාරයද පිළියෙළ කර ආහාර ගෙන නින්දට ගියෙමු.

viewphotoalbum

පසුදා උදෑසනම අවදි වූ අපට අලුයම හිරු නැග එන දසුනද දැක ගැනීමේ අවස්ථාවද උදා විය. නමුත් එම අවස්ථාව ඉතා කෙටි විනාඩි කිහිපයකට සීමා වුයේ මීදුම් වලාවන් වලින් ප්‍රදේශයම වසාගත් නිසාවෙනි. මින් අනතුරු උදෑසන ආහාරයද ගෙන අපගේ ආපසු ගමනට සුදානම් වුණෙමු. මෙදින අපගේ සැලැස්ම වුයේ හේවාහැට ප්‍රදේශයට බසිමටය. අප අසා ඇති පරිදි මෙම මාර්ගය ලූල් කඳුර දෙසටද වැටි ඇති බව කියවේ. මෙහිදී හෙවාහැට දෙසට වැටි ඇති මාර්ගය සොයගැනීම එතරම් අපහසු නොවේ. මන්දයත් මෙම මාර්ගය දිගටම ඉල්ලක්ක වී ඇත්තේ හෙවැහැට ප්රදේශයටය. මෙම ගමන අතරතුරදී අපට ඉතා මනරම් කුඩා දිය ඇලි කිහිපයක් දැක ගැනීමටද හැකි වූ අතර එහිදී අපගේ විඩාව නිවාගැනීමට එහි ජලය මහත් අත්වැසිල්ලක් විය. මෙලෙස ගමන් කළ අපට මීළඟට හමු වුයේ පාලුවට ගිය තේ වත්තක්ය. එහි සිට කෙටි දුරක් ගිය අපට කෙදිනකවත් සිදු නොවූ අන්දමේ ඉරණමකට මුහුණපාන්නට සිදු විය. එනම් අසල තිබු බඹර වදයක් ඇවිස්සීම නිසා අපගේ කණ්ඩායමේ පිරිස බඹර ප්‍රහාරයකට ලක් වීමයි. එබැවින් ෂණිකව තේවතු ඔස්සේ ගම්බද ප්‍රදේශයකට ළඟා වූ අප ගම්වාසින්ගේද ආධාර ඇතිව මුල් ඔය ජාතික රෝහල කරා පිය නැගුවේ සිදු වූ තුවාල වලට බෙහෙත් කරගැනීමටය. එහිදී අප පිරිසට ලැබුණු ප්‍රථමාධාර පමණක් නොව ආගන්තුක සත්කාරද මිල කල නොහැකි වූ අතර අපගේ ගිමන් නිවා ගැනීමටද එය බෙහෙවින් ඉවහල් විය. ඉන්පසු ඉක්බිති බස් රථයකට ගොඩ වූ අප හේවාහැට දක්වා ගොස් කොළොඹ දක්වා ඒමට පිටත් වීමු.

දවස් දෙකකින් රාත්රියක් ගත කර පැමිණිය හැකි මේ ගමන මෙලස නිමවුයේ අපගේ ජීවිත වලට කවදාවත් ළගා කරගත නොහැකි අන්දමේ අත්දැකීම් සමුහයක් හා සුන්දර මතක රාශියක් අපගේ ජීවිතවලට එක් කරමිනි. තවද මෙම ප්‍රදේශයේ දිවියන් සැරිසරන බවටද ඇතැමුන් විස්වාශ කළත් අපටනම් එම අවස්ථාව දැකගැනීමේ වාසනාව උද වුයේ නැත. මෙම ගමන කෙදිනක කවුරුන් හෝ යන්නට සිතන්නේනම් මේ සටහන ඉමහත් රුකුලක් වන බව මා විශ්වාස කරමි.