වචනාර්ථයෙන් ගත්තොත් Stridian කියන්නේ දුර ගමනක පළවෙනි පියවර යන්නයි. ඇත්තෙන්ම මෙවර අප සංගමය විසින් සංවිධානය කරනු ලැබූ මෙම පියවර දුර ගමනක පළමු පියවර මෙන්ම යෝධ පියවරක් වූ බවටද සැකයක් නොමැතිය. මෙහි මූලික අඩිතාලම වැටෙන්නේ මීට මාස කිහිපයකට පෙර පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමය විසින් පවත්වන්නට යෙදුණු PERA CHAMPS Hiking තරඟාවලියෙනි. ඒ සඳහා අප විශ්වවිද්‍යාලයෙන් සහභාගී වූ පිරිසට එයින් ඔවුන් ලබාගත් අමතක නොවන අත්දැකීම් සමුදාය අප සංගමයේ සාමාජිකයන්ටද ලබා දෙන්නට උනන්දුවක් තිබිණි. එහි සාර්ථකත්වයේ ඵල නෙලන්නට පසුගිය සති අන්තය එනම් සීතල දෙසැම්බරයේ 11, 12 දෙදින තුළ හැකියාව ලැබුණි. ඉතා ඉක්මණ් කාලයක් තුළ අඩු පිරිසකින් කරන ලද විශාල කාර්යභාරයක් ලෙසStridian හැඳින්විය හැක.

Mora Stridianතරඟයට පෙර කරන්නට විශාල කාර්යයන් ප්‍රමාණයක් තිබුණි. සංවිධාකයන් කඩිමුඩියේ මේ සියල්ලටම ලකලෑස්ති වූයේ හොඳ සැලැස්මක් ඇතිවය. බාධක රැසක්ම පැවති නමුත් එකින් එක විසඳා ගනිමින් ඉදිරියටම යන්නට සංවිධායකයින්ට හැකි විය. මේ සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ගවේෂකයන්ගේ සංගමයෙන් ලැබුණු උදව් උපකාර මෙතෙකැයි කියා නිම කර නොහැකි තරම්ය.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හා හන්තාන කඳු පන්තියේ පවත්වන්නට යෙදුණු මෙම තරඟාවලිය සඳහා එක් කණ්ඩායමක සමාජිකයින් 8 දෙනෙක්, එනම් පිරිමි ළමුන් 5ක් සහ ගැහැණු ළමුන් 3කින් යුත් කණ්ඩායම් 5ක් උද්වේගකර කරට කර තරඟයක යෙදුණි. කණ්ඩායම් පහ Vikings, Maori, Zulu, Apache, Mayans ලෙසිනි. මේ සඳහා පෙර පවත්වන ලද වැඩමුළුවකින් තරඟකරුවන් තෝරා ගැනීම සිදු කෙරුණු අතර කඳු නැගීමේදී හා එදිනෙදා ජීවිතයේදී අවශ්‍ය වන ගැට වර්ග, ප්‍රථමාධාර, සිතියම් කියවීම, කුඩාරම් බැඳීම හා භාජන රහිතව ආහාර පිසීම ආදී වූ කරුණු යටතේ ඔවුන්ට දැනුම ලබා දීමද සිදුවිය.

දිනය 2016 දෙසැම්බර් 11 වනදාය. කාළගුණය ඉතා යහපත්ව පැවතුණි. උදෑසන 9.30 පමණ වන විට Stridian තරඟාවලියේ සමාරම්භක උත්සවය පවත්වන්නට යෙදුණු අතර ඒ සඳහා අප සංගමයේ හා පේරාදෙණිය ගවේෂකයන්ගේ සංගමයේ සමාජිකයන් සහභාගී විණි. පෙර සඳහන් කළ පරිදිම එහිදීද තරඟකරුවන්ට නැවතත් තරඟය පිළිබඳවත්, නීති මාලාවත්, එදින වැඩ පිළිවෙලත් පිළිබඳ නැවත මතක් කිරීමක් සිදුවිය.

stridian16 (35) stridian16 (31) stridian16 (30) stridian16 (29) stridian16 (28) stridian16 (21) stridian16 (68) stridian16 (104) stridian16 (73) stridian16 (135) stridian (24) stridian (40)

ඉන් අනතුරුව උදෑසන 11ට පළමු කණ්ඩායම ගමන් මගේ ගමන් කිරීම පටන් ගත් අතර විනාඩි 20ක පරතරයකින් යුතුව අනෙක් කණ්ඩායම්ද ඒ මගෙහිම පිටත් කරන ලදී. පා ගමන සඳහා වනමං සළකුණු යොදාගෙන තිබූ අතර කණ්ඩායමට ගමන්මගෙහි සිතියමක්ද ලබාදෙන ලදී. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාභූමියෙන් ආරම්භ කරන ලද පාගමන වනදුර්ග, ගිරිදුර්ග, ජලදුර්ග පසු කරමින් අවසාන වීම සිදුකළ යුතුව තිබුණේ හන්තාන පාමුල පිහිටා ඇති කඳවුරු භූමියෙනි. ගමන් මග අතරතුර ඇති නැවතුම් ස්ථාන 3 මගින් කණ්ඩායම පැමිණි වේලාව සටහන් කරගන්නා අතරම ඔවුන්ගේ සිතියම් කියවීම, ගැට වර්ග හා අවම අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් මැස්සක් තනා ලෙඩෙකු ප්‍රවාහනය කිරීම ආදී ක්‍රියාකාරකම් සළකා බැලිණි. තවද තැන් 3ක සඟවා තිබූ ලියුම්ද සොයා ගැනීම කණ්ඩායම සිදුකළ යුතු විය.

viewphotoalbumකඳවුරු භූමියට ආසන්නයට වන්නට තැනක සිට තම කණ්ඩායමට එදා දින සහ පසුදිනට අවශ්‍ය වතුර ගෙනයාමද කණ්ඩායම විසින්ම සිදුකළ යුතු විය.

සවස 4.00 පමණ වන විට සියලුම කණ්ඩායම් කඳවුරු භූමියට ළඟා වූ අතර ගිමන් නිවීමෙන් පසුව පැයභාගයක් තුළ භාජන රහිතව රොටියක් පිසීමේ තරඟයද සිදු විය. ඉන්පසුව රාත්‍රී ආහාර කණ්ඩායම් විසින්ම පිළියෙල කරන ලද අතර රාත්‍රී 8.30 වන විට රාත්‍රී ආහාර ගෙන නිමවී තිබුණි. ඉන්පසුව එළැඹූයේ කඳවුරු ගිනිමැලයයි. පුර පෝය සඳ ඇති රාත්‍රීයේ පයිනස් ගස් අතරින් පෙරී එන මද ආලෝකයත්, හන්තාන කඳු මුදුනින් ගලා එන සීතල මීදුමත් ගිනිමැලයේ උණුසුමට පහව ගියේ මොහොතකිනි. කණ්ඩායම්වල නාට්‍ය ඇතුළුව අනෙකුත් විනෝදාංග නිසාවෙන් එදින දවසේ වෙහෙසකාරීබව නැතිකරලන්නට ගිනිමැලය සමත් විය. අවසන සියල්ලම ගීත ගයමින් විනෝද වන්නට වූ අතර හෙට දින ඇති අභියෝග ගැනද සිතමින් නිදාගන්නට විය. සංවිධායක මණ්ඩලයේ අප කිහිපදෙනෙකුටම මහ රාත්‍රීයේ විදුලි පන්දම් ආධාරයෙන් පහළට බසින්නට වූයේ හෙට උදෑසන නැවතත් කෑම රැගෙන පැමිණීමේ කාර්යය තිබූ නිසාවෙනි.

දෙවන දවසද කාලගුණය යහපත් වූ අතර උදෑසන තේ පානය කොට අප නවාතැන් ගත් කඳවුරු භූමිය තිබුණාටත් වඩා හොඳට සකසා උදෑසන ආහාරද ලබාගෙන උදෑසන ව්‍යායාම සඳහා සහභාගී වූයේ සුවිශාල බලාපොරොත්තුද ඇතිවය.

පළමු කණ්ඩායම පිටත් වූයේ උදෑසන 8.00ට වූ අතර විනාඩි 20ක පරතරයකින් යුතුව අනෙක් කණ්ඩායම් ගමන් ආරම්භ කරන ලදී. නැවතුම් ස්ථාන හයකින් පසුව නැවතත් පාගමන ආරම්භ කරන ලද ස්ථානයට කණ්ඩායම් යායුතුව තිබිණි. නැවතුම් ස්ථාන වලින් වේලාව සටහන් කරගත් අතර ප්‍රථමාධාර දැනුම පිරීක්සීමද සිදුවිය. දෙවන දවස හන්තාන මුදුනටම යායුතු වූ අතර අවට පරිසරයේ අලංකාරය නැරඹීමටද සියල්ලටම පාහේ හැකිවිය. මුදුනේ සුළං ප්‍රවාහය තරමක් අධික වූ අතර එය ගමන් විඩාම නිවන්නට දායක විය. වනමං සළකුණු ඔස්සේ ගමන් ගත් නමුදු කණ්ඩායම් කිහිපයක්ම මාර්ගය වරද්දාගෙන තිබුණි. වේලාව සඳහා මෙන්ම කණ්ඩායම් එකමුතුව සඳහාද ලකුණු ලැබිණි. අපහසු ස්ථානවලිදී කණ්ඩායම් සමාජිකයන් මඟ නොදා අවසානය තෙක්ම රැගෙන යාම සෑම කණ්ඩායමකින්ම පාහේ දකින්නට ලැබිණි. ජීවිතයේ අමතක නොවන මතකයන් රාශියක්ම එක්කාසු කර ගැනීමට සියල්ලටම හැකි වූ බව නම් නොඅනුමානය.

stridian (60)

අවසන දහවල් 1.00 සිට 3.00 පමණ කාලය අතරතුර කණ්ඩායම් සියල්ලම ආරම්භක ස්ථානයට පැමිණෙන ලදී. වේගය, කාලය, කණ්ඩායම් හැඟීම, එකමුතුව, දැනුම ආදී කරුණු බොහොමයක් යටතේ කණ්ඩායම්වලට ලකුණු ලැබිණි. ඒ අනුව Mayans කණ්ඩායම ශූරයන්ද, Maoriකණ්ඩායම අනුශූරයන් බවටද පත්වූයේය.

එදින සන්ධ්‍යාවේදීම පැවැත්වූ උත්සවයේදී සියලුම කණ්ඩායම් අගයන්නටත් පේරාදෙණිය ගවේෂකයන්ගේ සංගමය අගයන්නටත් අපට හැකිවිණි. එම උත්සවය සඳහා ගවේෂකයන්ගේ සංගමයේ අනුශාසක අජිත් ගුණතිලක ගුරුපියාණන්ද අප සංගමයේ ජේෂ්ඨ භණ්ඩාගාරික සුරංග ජයසේන ගුරු පියාණන්ද සහභාගී විය.

දිගු ගමනක පළමු පියවර වන Stridian නිම වන්නේ එහි ඊළඟ පියවර පිළිබඳ අප සිත්තුළ බලාපොරොත්තු දල්වමිනි.

ඡායාරූප - අසංක ආසිරි, Shutter U, Media Club UoM

By Asanka Asiri