පොළොන්නරුවට මායිම්ව අද්භුතජනක කතාවලින්, විවිධ මිථ්‍යා විශ්වාසවලින් අනූන ඉතා සුන්දර පරිසරයකින් හෙබි කන්දෙගම ග්‍රාමයේ තේජාන්විතව නැගී සිටින ධානිගල කන්ද තරණය කිරීමට මෙවර අප ගමන් ඇරඹීමු. එහි යන්නට ප්‍රථම අප සොයාගත් කරුණු වලට අනුව එම ධානිගල ගලෙහි අමුතු හැඩයේ ස්වාභාවයත්, එහි පිහිටීමත්, රාත්‍රී කාලයට දකින්නට ලැබෙන අද්භූත එළි සහ එහි ඇති පිටසක්වල සම්බන්ධතාත් පිළිබඳ වැඩිදුර සොයා බැලීමටද සිතා ගත්තෙමු.

අලුයම 2.40ට පමණ කදුරුවෙල (පොළොන්නරුව) බලා කොටුවෙන් ගමන් ඇරඹු අප කි.මී 225ක් දුර ගෙවා උදෑසන 8.30 පමණ වන විට එහි ළඟා වීමු. උදෑසන ආහාර ලබාගත් අප 8.50ට පිටත් වූ බස් රථයේ නැගී කි.මී 44ක් දුර ගෙවා දිඹුලාගල, මනම්පිටිය, අරලගංවිල හරහා කන්දේගමට ගියෙමු. ඉන්පසු රාත්‍රීයට අවශ්‍ය කළමණා මිලදී ගත් අප පුරාණ කන්දේගම විහාරයට ළඟා වූයේ මද වැසි මැදිනි.

ඉතා දැවැන්ත රූස්ස ගස් දෙපස ඇති මාර්ගය තුරු වියනකින් සමන්විත විය. විහාරස්ථානාදීපති ස්වාමීන් වහන්සේ හමු වූ අප ධානිගල කන්ද නැගීමට අවසර ඉල්ලා සිටියෙමු. අපත් සමඟ පිළිසඳරක යෙදුණු උන්වහන්සේ විසින් එම විහාරය, කන්ද සහ එහි අතීතය පිළිබඳව අපව දැනුවත් කළේය. ර්වෂාව නිසා ගල් ලිස්සන බව මෙන්ම එම ගල මුදුනේ අලි, කොටි, වළස්සුද ජීවත් වන බැවින් රාත්‍රීය එහි ගත නොකරන ලෙසත් ඉක්මණින් ගොසින් නැවත පැමිණෙන ලෙසත් අපට උපදෙස් ලැබුණි.

අසා දැනගත් පරිදි පුරාණ විහාරය 03 වන සියවසට අයත්ය. එමෙන්ම දැනට දකින්නට ඇති විශාලතම සඳකඩපහණට ද හිමිකම් කියන්නේ මේ විහාරයයි. නමුත් එය ඇත්තේ කැලෑව තුළ බැවින් අපට යෑමට නොහැකි විය. තවද චිත්‍ර සහිත විශාල ගුහාවක් මෙන්ම තවත් ගුහා 60කින් පමණ මෙම විහාරස්ථානය සමන්විතය. පෙර දිනෙක නායක හාමුදුරුවන් ඇතුළු පිරිසක් ගල මත්තෙහි උණබට වලින් චෛත්‍යයක් සෑදු බවද එයට දේවතාවුන් වහන්සේ නමක් පැමිණි බවද විටින් විට රාත්‍රී කාලයේ ආලෝක ධාරා දැකිය හැකි බවද උන්වහන්සේ වැඩිදුරටත් අපට දන්වා සිටියේය.

ලැබුණු උපදෙස් අනුව බුදු මැදුරට ඉහළින් වැටී ඇති අඩිපාර දිගෙහි කැලය තුළට ඇතුළු වූ අප කෙමෙන් කෙමෙන් ඉදිරියට ඇදුණෙමු. ගලෙහි ඉදිරිපස කෙළින්ම පහළට සෘජුව පිහිටා ඇති නිසා ගල මුදුනට යාමට නම් එහි වම්පසින් ගොස් පිටුපස ප්‍රදේශයෙන් උඩට යායුතු විය. යන අතරමග කටාරම් කැපූ ගුහා කිහිපයක්ම දකින්නට ලැබුණු අතර සැතපෙන බුදු පිළිමයක් සහිත විශාල ගුහාවක්ද හමු විය. සිතට දුකක් හා කලකිරීමක් ඇති වූයේ නිධන් හොරු විසින් එය විනාශ කොට තිබෙන අයුරු දුටු විටය. වැස්ස නිසා ගල දිගේ ගලා ආ ජලය නිසාවෙන් කුඩා දිය ඇලි සෑදී තිබුණු අතර ඒවායේ සිසිලස අප සය දෙනාගෙන් යුත් කණ්ඩායමේ ගිමන් නිවාලන්නට සමත් විය.

තරමක් අසීරු ගමනකින් පසු මුදුනට ලං වූ අපට වටපිටාවේ සුන්දර දසුන් නෙත ගැටෙන්නට විය. අප ගල මුදුනේ සිටින ස්ථානය සොයා ගැනීමට GPS තාක්ෂණය උදව් විය. රාත්‍රීයෙහි එහි නැවතීම අසීරු කටයුත්තක් බව කියාපාන්නට සාක්ෂි බොහෝ විය. එනම් අලි, කොටි, වළස්සු, උරන් වැනි සතුන්ගේ වසුරු හා අඩි සළකුණුයි. ධානිගල ගලෙහි විශේෂත්වය වන්නේ ගල මුදුන සමතල වීම හා මුදුනේ වටේ රවුමක් ගස් පැළ ආදීය හට නොගැනීමයි. ගලේ ඉදිරිපිටට ආ අපට දකින්නට ලැබුණු මනස්කාන්ත භූ දර්.ශණයෙන් අප ඇලලී ගියේ ගමන් මහන්සියේ සාක්ෂියක්වත් ඉතුරු නොකරමිනි. ඈත ක්ෂිතජයක් නොපෙනන සමතල භූමියද තැනින් තැන නැගී සිටින කඳු ද ඉතා විශාල වැව්ද කුඩාවට පෙනෙන පාරවල්, නිවෙස්, මිනිසුන් හා සතුන් අපගේ නෙත මෙන්ම ගතද මොහොතකට නතර කරවීය.

ටික වේලාවකින් පසු අවට සිරි නරඹා රාත්‍රී කඳවුරු බැඳීමට තැනක් සොයගැනීම සඳහා නැවතත් පහළට බැසීමට පටන් ගත් අපට ටික දුරක් පැමිණි පසු පාර වැරදී ඇති බව පෙණුනු නමුදු GPS ද ආධාර කොටගෙන කෙලින්ම පහළට බැසීමට අප තීරණයේ කළේ ත්‍රාසජනකත්වය උපරිමයෙන්ම ලබා ගැනීමේ අටියෙනි. වැල්වල එල්ලී ගලින් ගලට මාරු වී ලිස්සා වැටෙමින් තුවාල හා සිරීම්ද සහිතව අප ගමන අවසාන කළේ ජීවිතයේ අමතක නොවන මතකයන් රැසක්ද රැස් කරගනිමිනි.

ඉන්පසු කන්දේගම ග්‍රාමයේ කවුඩුළු වැව අසල රාත්‍රී කඳවුරු බැඳි අප රාත්‍රී ආහාර පිස ගිනි මැලයක්ද අටවා ගත්තේ වල් අලි පැමිණිතෙයි බියෙනි. රාත්‍රීයේ තරමක් වැස්සෙන්ද බැට කා උදෑසනම අවදි වී මාදුරු ඔය නැරඹීම සඳහා පිටත් වූයෙමු. බස් රථයක් හෝ වාහනයක් නොපැමිණීම නිසා ඉතා විශාල දුරක් පයින්ම ගියේ අතර මඟ හමුවුණ කුඩා කඳු තරණය කරමින් ඇළ දොළ ගංඟාද තරණය කරමිනි. මාදුරු ඔය අසලදී අඩි අනූවේ වතුර වලද හමු විය. ඉන්පසු මාදුරු ඔය නැරඹු අප බස් රථයක් හමුවෙන තුරු නැවතත් ඉතා විශාල දුරක් පයින්ම පැමිණියේ අලියන් දැකගත හැකි වේයැයි සිතමිනි. මොණරුන්, රාජාලියන්, හාවන්, මුවන් හා විවිධ කුරුල්ලන් රාශියක් දකින්නට ලැබුණු අතර එක් අලියෙක්වත් දැකගත නොහැකි වූයේය. සෑහෙන වේලාවකින් පසුව අපට හමුවූ බස්රථයේ නැගී මහඔය බලා පිටත් වූ අපට ඉන්පසුව අලි රංචු වශයෙන් දකින්නට ලැබුණි. බලා සැනසෙනු මිස එක් ඡායාරූපයක්වත් ලබාගන්නට නොහැකි විය. මහඔයට පැමිණි අප දහවල් ආහාර ගෙන තවත් වේලා තිබුණු නිසාවෙන් පැමිණි මගෙහිම කි.මී 2ක් දුරින් පිහිටි උණුවතුර ලිං සොයා ගියෙමු. උණුවතුර නෑමට ලැබුණු නිසා ඇඟෙහි පතෙහි අමාරුව සන්සිඳී ගිය අතර ගමනද සම්පූරණ විය.

දවසින් ගොස් පැමිණිය හැකි ධානිගල ගමන දවස් 2ක් වූ පසු තවත් සුන්දර විය. මතකයන් රාශියක් ජීවිතයට එක් කරන මෙම අත්දැකීම විඳ ගන්නට කවුරුන් හෝ යන්නේනම් වැදගත් වේයැයි සිතා මේ සටහන තබමි.