Loading

Loading...

Navigation Techniques

කඳු නගින්නන් වශයෙන් වනයක් තුළ අතරමං වීම බොහෝ අය මුහුණ දී ඇති අත්දැකීමකි. මෙය බොහෝ සංචාරකයන් මුහුණදෙන, විටෙක ජීවිත අවදානමක් සහිත තරමක් බියකරු සිදුවීමකි. එවැනි අවස්ථාවකදී ඔබේ ගැලවීම සැලසුම් කිරීමට ඔබට අවශ්‍ය මූලික දැනුම මෙම ලිපිය මගින් පහත ප්‍රධාන කොටස් යටතේ දක්වා ඇත.

..

  1. Map Reading - සිතියම් භාවිතය.
  2. Compass Reading - මාලිමාව භාවිතය.
  3. Trail Signs - වන මං සලකුණු කියවීම.
  4. How to survive using navigation techniques - මේවා භාවිතයෙන් ගැලවීම සැලසුම් කිරීම.

..

1. Map Reading - සිතියම් භාවිතය

මුලින්ම අපි සිතියමක් කියවීම ගැන අවධානය යොමුකරමු. සිතියමක් යනු, නිශ්චිත භූමි ප්‍රදේශයක භෞතික හා සංස්කෘතික ලක්ෂණ නියමිත පරිමාණයට කුඩා කර සම්මත වර්ණ අක්ෂර සහ සංකේත භාවිතා කර ගුවනේ සිට පෙනෙන පරිදි ද්විමාන තලයක(2D) අඳින ලද දළ සැලැස්මකි.

සිතියම් වර්ග ගැන අවධානය යොමුකරන විට වර්ග 3ක් ප්‍රධාන වශයෙන් නම් කර ඇති අතර ඒවා නම්,

..

  • මානව හා තොරතුරු සිතියම් - භෞතික සිතියම්.
  • සැලසුම්කරණ සිතියම්.
  • විශේෂ සිතියම්.

..

සිතියමක ඉහළින් ඒ සිතියමේ මාතෘකාව දක්වා ඇත. එනම් මේ සිතියමේ දැක්වෙන්නේ කුමන ප්‍රදේශයට අදාළ සිතියමක් ද යන්න ඉහළින් දැක්වේ.

ඊට අමතරව සිතියමක වැදගත් කොටස් කිහිපයක් පහත පරිදි වේ.

..

  1. Key (සූචකය) - සාමාන්‍යයෙන් සිතියමක මුහුණතේ සංකේත සියල්ල මෙම කොටස තුළ හඳුන්වාදෙයි.

..

Figure 1: 1:50000 සිතියම් සූචකය

..

  1. Face of the map (සිතියමේ මුහුණත) - අදාළ ප්‍රදේශයේ සිතියම මෙම මුහුණත තුළ පවතී. විවිධ වර්ණ හා ඉහත සූචකයේ දැක්වූ විවිධ සංකේත යොදාගනිමින් අදාළ ප්‍රදේශයේ සම්පූර්ණ විස්තරය ද්විමාන(2D) තලය මත දක්වා ඇත...
  2. North Arrow (උතුරු දිශාව පෙන්වන ඊතලය) - භූගෝලීය උතුරු දිශාව හරියටම සිතියමේ දක්වන්නේ මෙමගින් වේ. බොහෝ සිතියම් වල මේ සලකුණ රතු පාට ඊතලයකින් දක්වා ඇත. එසේත් නැතිනම් ඊතල 3කින් යුක්ත සලකුණකින් පහත පරිදි දක්වනු ලබයි...

Figure 2: North arrow indicators on a map

..

ඉහත රූපයේ පරිදි සිතියමක උතුරු දිශාව සැබෑ උතුර, චුම්භක උතුර, ජාල උතුර යන ලෙස නිරූපණය කළහැක. සිතියමේ උතුරු දිශාව දක්වන ඊතල වලින් තරුවක් සමඟ (TN) ඇති ඊතලය සැබෑ උතුරත් (True North), GN අක්ෂර සමග දක්වන ඊතලයෙන් ජාල උතුරත් (Grid North) , MN අක්ෂර සමග ඇති ඊතලයෙන් චුම්භක උතුරත් (Magnetic North) දක්වයි.

..

සැබෑ උතුර - TN (True North)

මෙය භූගෝලීය උතුර ලෙසින් ද හැඳින්වෙන අතර ආදර්ශ ගෝලයේ උත්තර ධැවය (North pole) පෙන්නුම් කෙරෙන දිශාව නිරූපණය වේ.

..

ජාල උතුර - GN (Grid North)

සිතියම් ජාලය හෙවත් කොටු දැලේ (සිතියමක් කියවීමට පහසු කරවීමට අදිනු ලබන කොටු දැල) උතුර නිරූපණය කෙරේ.

..

චුම්භක උතුර - MN (Magnetic North)

පෘථිවියේ චුම්භක ක්ෂේත්‍රය (magnetic field) පදනම් කරගත් උතුර, කාන්දම් උතුර නමින් හැඳින්වේ. එය ඊතල මුහුණත් භාගයක් සහිත රේඛාවකින් නිරූපණය කොට ඇත.

..

  1. Scale (පරිමාණය) - මෙය මඟින් සිතියමේ එක් කොටසකින් භූමියේ කොපමණ ප්‍රදේශයක් නිරූපණය වේද යන්න අනුපාතයකින් දක්වා ඇත. පරිමාණය 1:50000 යනුවෙන් දක්වා ඇත්නම් සිතියමේ 1 cm දිගකින් භූමියේ 50000 cm ප්‍රමාණයක් නිරූපණය වේ.

..

  1. Contour lines (සමෝච්ඡ රේඛා) - මුහුදු මට්ටමේ සිට එකම උස මට්ටමකින් ඇති ලක්ෂ්‍ය යා කර ඇද ඇති රේඛා සමෝච්ඡ රේඛා යනුවෙන් හඳුන්වයි. සාමාන්‍යයෙන් සිතියමේ 20m න් 20m ට ලා පාටින් සමෝච්ඡ රේඛා ලකුණු කිරීම සිදුකරයි. එම සමෝච්ඡ රේඛා 5න් 5කට එනම් 100m න් 100m ට නැවත තද පැහැති රේඛා ලකුණු කර උස මට්ටම ඒ රේඛාවේ දක්වයි...

Figure 3: Contour lines on a map

..

සමෝච්ඡ රේඛාවලින් ඒ භූමියේ විෂමතාව ගැන දළ අදහසක් ලබාගත හැක. රේඛා කීපයක් එක ළඟින් පවතී නම්, කුඩා දුරක් තුළ විශාල උන්නතාංශ වෙනස්වීමක් සිදුවිය යුතුය. රේඛා 2ක් අතර දුර වැඩි නම් ඒ භූමියේ උස වෙනස් වීම් අඩුය. මෙසේ හඳුනාගත හැකි ප්‍රධාන භූ විෂමතා ලක්ෂණ කීපයක් පහත දැක්වේ.

..

    1. තැනිතලා (Plains)
    2. සානු (Plateaus)
    3. බෑවුම් (Slopes)
    4. නිම්න (Valleys)
    5. නෙරු (Spur)
    6. හුදකලා කන්ද (Lonely mountain)
    7. රැලි බිම(Wavy Grounds)..

i. තැනිතලාව (Plain) - ඒ අවට භූමියේ සැලකිය යුතු විශාල උස් පහත්වීම් නැතිනම් හෝ විශාල භූමි අක්‍රමිකතා අඩු නම් එය තැනිතලාවකි. මෙහිදී අනුයාත සමෝච්ඡ රේඛා ඈතින් පවතී.

..

Figure 4: Plain

..

ii. සානු (Plateaus) - උස් සම භූමි වේ. තරමක් උස භූමියක ඈතින් සමෝච්ඡ රේඛා පවතීනම් මේවා සානු වේ...

Figure 4: Plateaus

..

iii. බෑවුම් (Slopes) - සමෝච්ඡ රේඛා තරමක් ඈතින් පවතී නම් එම බෑවුමේ ආනතිය අඩු අතර රේඛා ළංව පවතීනම් ආනතිය වැඩිය. මෙසේ සමෝච්ඡ රේඛා විහිදීම අනුව බෑවුමේ ස්වභාවය ගැන අදහසක් ලබාගත හැක. සමෝච්ඡ රේඛා එකමත එක පවතින අවස්ථා ද පවතී. මේවා මොහොර බෑවුම් යනුවෙන් හඳුන්වයි.

.......

Figure 6: Slopes

...

iv. නිම්නය (Valleys) - කඳුවැටි 2ක් අතර කඳුවැටියේ විහිදීම දිගේ විහිදෙන පහත් භූමිය නිම්නයක් ලෙස හඳුන්වයි. සාමාන්‍යයෙන් ගංඟාවන් ආරම්භ වීම හා කඳුවැටි අතරින් ගලායාම සිදුවන්නේ මේ භූ ලක්ෂණ හරහාය.

..

v. නෙරුව (Spur) - කඳුවැටියෙන් කොටසක් පිටතට නෙරාගොස් විහිදී පවතිනම් ඒ පිහිටීම නෙරුවක් යනුවෙන් හඳුන්වයි.

Figure 7: Valley and Spur

..

vi. හුදෙකලා කන්ද (Lonely mountain) - සම භූමියක හුදකලාව කන්දක් පවතී නම් එය හුදකලා කන්දකි. මෙවන් කන්දක් අපට සිතියමක මෙන්ම උස් තැනක සිට වුවද පහසුවෙන් හඳුනාගත හැකි බැවින් දිශාව සොයාගැනීමට වැදගත් වේ.

..

vii. රැළි බිම් (Wavy Grounds) - උන්නතාංශය ශීඝ්‍රයෙන් වෙනස් නොවූවද අක්‍රමවත් ලෙස පැතිරුණු භූමියකි.

Figure 8: Wavy Grounds

..

මෙසේ සිතියමක් මඟින් නොදන්නා බිමක, නිවැරදි මඟ සොයායාමේදී අනිවාර්‍යෙන් පුරුදු වියයුතු උපක්‍රම කිහිපයකි.

    • Art of thumbing - තමා සිටින ස්ථානය සිතියමෙන් සොයාගෙන මහපටඟිල්ල තබාගන්න. මෙමගින් ඔබේ ගමනාන්තය හා ඔබ යා යුතු මාවත ගැන අවබෝධයෙන් ගමන් කිරීමට හැකි වේ. නැවත නැවතත් තමාගේ පිහිටීම සොයාගැනීමට අවශ්‍ය නොවේ.
    • Always look north (සැමවිටම මාලිමාවෙ උතුරු දිශාව බලන්න) - අපි යම් දිශාවක් ඔස්සේ ගමන් කරන විට සිතියමේ උතුරු දිශාව සහ මාලිමාවේ උතුරු දිශාව පිළිබඳව සැලකිලිමත්ව ගමන්කළ යුතුය.

..

2. Compass Reading - මාලිමාව භාවිතය

මාලිමාව යනු සරල චුම්භක යාන්ත්‍රණයක් භාවිතයෙන් නිර්මාණය කළ උපකරණයකි.

මෙහි ප්‍රධාන කොටස් කීපයකි.

..

Figure 9: Parts of the Compass

..

  1. Baseplateමෙය මඟින් මාලිමාවේ කොටස් සියල්ල රඳවාගනී. මෙය පාරදෘශ්‍ය ද්‍රව්‍යයකින් සාදනු ලබන අතර මෙය හරහා සිතියම දැකගත හැකි පරිදි පවතී. මෙහි දාරවල cm පරිමාණයේ රූලක් දැක්වෙන අතර එමඟින් සිතියමට අදාල දිග මිනුම් ලබාගත හැක. මීට අමතරව මාලිමාව ඉදිරිපස කොටසේ කුඩා රතු පැහැ ඊ හිසක් පවතී (direction of travel arrow). එම ඊ හිස මඟින් ගමන් කළයුතු දිශාව පෙන්වයි. තවද Bezel හි කෝණය කියවීමට index line නම් අචල දර්ශකයක් ද මෙය මත පවතී...
  2. Bezel

මාලිමාවේ දිශාව පෙන්නුම් කරන ප්‍රධානම කොටස මෙයයි. ගමන් කළයුතු දිශාව සලකුණු කරගන්නේ මෙය ආධාරයෙනි. මෙහි මුහුණතේ සමාන්තර රේඛා කීපයක්(Orienting lines), දිශාවන් සලකුණු කළ හා අංශක වලට බෙදා ඇති වෘත්තාකාර කොටසක්(Rotating Bezel) හා දර්ශක කටු 2ක් පවතී.

..

Figure 10: Compass Bezel

..

ඉන් එකක් Magnetized needle වේ. මෙය උතුර හා දකණ යන දිශා 2ටම විහිදුණු ඊතලයකි. එහි රතු පාට අග්‍රය සැමවිටම පෘථිවියේ චුම්භක උතුර දිශාවට දිශාගත වී පවතී. අනෙක් දර්ශකය වන්නේ Orienting arrow වේ. මෙය මගින් මාලිමාවේ Bezel කොටස දිශාගත කිරීම සිදුකර ගතහැක.

..

Setting declination : පෘථිවියේ චුම්භක උතුර හා සත්‍ය උතුර අතර අංශක කිහිපයක ආනතියක් පවතී. එය Declination යනුවෙන් හැඳින්වේ. මෙම අගය පෘථිවියේ එක් එක් ස්ථානයේදී වෙනස් අගයන් ගනී. සාමාන්‍යයෙන් සිතියමේ උතුරු දිශාව දක්වන ස්ථානයේ මෙම අගයද දක්වයි.

මාලිමාවේ Orienting arrow එක මෙම Declination අගයට සීරුමාරු කර, Magnetized needle උතුරු දර්ශකය හා Orienting arrow දර්ශකය සමපාත වනතුරු මාලිමාව හැරවීමෙන් Bezelහි ඇති N සලකුණ මගින් සත්‍ය උතුරු(TN) දිශාව ලබාගත හැක.

..

3. Trail Signs - වන මං සලකුණු

කඳු නගින්නන්ට සේම අතරමං වුණු සංචාරකයන්ට ගමනාන්තය සොයාගැනීමට උදව් වෙන ගල් පුවරු, ලී පුවරු වල ලියූ විස්තර, ගස්වල ඇඳි ඊතල, වනයේදී හමුවන ස්වාභාවික ද්‍රව්‍ය , එනම් ගල්, කෝටු කැබලි, අතු කැබලි වැනි දේ යොදාගෙන නිරූපණය කරන සංකේත මෙසේ හඳුන්වයි.

මෙමගින් ඉදිරියේ අනතුරක්, මෙතැනින් පාර නිවැරදියි, වමට යන්න වැනි පණිවුඩ විශාල ප්‍රමාණයක් ලබාදීමට හැකි අතර කඳු නගින්නන් හා මං සරන්නන් සම්මත කරගත් පණිවුඩ කිහිපයක් පවතින අතර ඒවා ඉතා පහසුවෙන් සොයාගත හැක.

..

Figure 11: Trail Signs

..

මීට අමතරව මං සරන්නන් යමක් ලිවිය හැකි ලී පුවරු වල අදාළ අවදානමේ නම හෝ පණිවිඩය පිළිබඳව වචනයෙන් ලියා දක්වනු ලබයි.

..

  • මේ පුවරු මඟින් ඉදිරියේ ඇති අනතුරක් පිළිබඳව ඔබට ඉඟි කරනු ලැබේ.

උදා : "බෑවුම වැඩී" , "ලිස්සන සුලුයි" , " වනසතුන් බහුලයි " , "ගල් කඩා වැටෙන ස්ථානයක්"

  • තවත් සමහර ඊතල පුවරු මගින් නිවැරදි ගමනාන්තයේ දිශාව පෙන්වයි. එම පුවරු මගින් ගමනාන්තය මෙන්ම අදාළ දුරවල් පිළිබඳවත් ඔබට අවබෝධයක් ලබාගත හැක.

  • සමහර පුවරු වල ප්‍රදේශයේ සිතියම ඇඳ, ඔබේ පිහිටීම ලකුණු කර තිබීමට හැක. මෙම දත්ත සිතියමක් නැතිව ගමන් කරන ඔබට ඉතාමත් වැදගත් තොරතුරු රැසක් හෙළිකරන අතරම ඔබට නැවත මග සැලසුම් කරගැනීමටද උපකාරී වනු ඇත.

..

4. Navigation Techniques for Survival

මෙම සිතියම් කියවීමේ හා මාලිමාව කියවීමේ දැනුම වැදගත් වනුයේ, තාක්ෂණික මෙවලම් නොමැති අවස්ථාවක වනයක් තුළදී අතරමං වූ විට ගමනාන්තයක් කරා ළඟාවීමට මාර්ගය සොයාගැනීමට වේ.

..

  1. මෙවන් අවස්ථාවක කලබල වීම නොකළ යුතුය. මනා සිහියකින් තමාගේ ගැලවීම සැලසුම් කිරීම අනිවාර්‍යය වේ. ..
  2. අප සතුව මාලිමාවක් හා සිතියමක් තිබේ නම්, මුලින්ම තමාගේ පිහිටීම සිතියමෙන් සොයාගැනීමට උත්සාහ කරන්න. මේ සඳහා අවට ඇති භූ විෂමතා ලක්ෂණ හා සමෝච්ඡ රේඛාවල පිහිටීම භාවිතා කළහැක. මේවා භාවිතයෙන් අපගේ පිහිටීම සොයාගෙන, ගමනාන්තය ද සිතියමේ ලකුණු කරගන්න. මේ ස්ථාන දෙක යා කර direction of travel arrow ඊ හිස ගමනාන්තය දෙසට හැරෙන තුරු මාලිමාවේ දාර ගමන් කළයුතු මාර්ගයට සමාන්තර වනතෙක් මාලිමාව කරකවන්න. ඉන්පසු Orienting lines සිතියමේ උතුරු දිශාවට සමාන්තර වනතුරු Bezel කොටස කරකවන්න. සිතියමේ දාර මගින් Orienting lines උතුරු දිශාවට පවතියිද යන්න තහවුරු කරගත හැක.අවසානයේදී Orienting arrow සහ Magnetizing needle සමපාත වනතුරු හැරෙන්න. එම අවස්ථාවේ direction of travel arrow මඟින් පෙන්වන්නේ ගමනාන්තය සඳහා යා යුතු දිශාවයි...
  3. ඔබ අතේ මාලිමාවක් නැතිනම්,

මෙවන් අවස්ථාවක අපට නිවැරදිම දිශාව නිර්ණය කිරීමට අපහසු බැවින් ආසන්න වශයෙන් දිශාව සොයාගැනීමට පහත ක්‍රම භාවිතා කළහැක.

..

    • හොඳින් සූර්‍යාලෝකය තිබෙන අවස්ථාවක සෙවණැල්ලේ දිශාව පාවිච්චි කරගෙන දිශාව සොයාගත හැක. මෙහිදී උදයක නම් සූර්‍යයා පවතින්නේ නැගෙනහිර දිශාවේ නිසා සෙවණැල්ල යොමුවන්නේ බටහිර දිශාවට වේ. එසේම හවස් වරුවක නම් සෙවණැල්ල නැගෙනහිර දිශාවට යොමුවේ.

..

    • බොහෝ යාත්‍රිකයෝ උතුරු දිශාව සොයාගැනීමට උතුරු තරුව (Polaris) යොදාගනී .

මෙම තරුව සෑමවිටම පෘථිවියේ උත්තර ධ්‍රැවයට ඉහළින් පවතී. එහෙත් ලංකාවේදී නම් මෙම තරුව ක්ෂිතිජය ආසන්නව දර්ශනය වීම නිසා එය උපයෝගී කරගැනීම තරමක් අපහසු වේ.

..

Figure 12: North Star, Polaris

..

    • ඔබ සතුව චුම්භකයක් පවතී නම්, චුම්භකය ඉඳිකටුවක් වැනි දිග ලෝහ කූරක පිරිමැද එය නිදහසේ එල්ලූවිට දිශාගත වන්නේ පෘථිවියේ උතුරු-දකුනු දිශාවට වේ. මේ ක්‍රමය මගින්ද දිශාව ගැන අදහසක් ලබාගත හැක.

..

    • මේ කිසිම අවස්ථාවක් නොමැතිනම්, සිතියම මගින් අවට භූ විෂමතා ගැන අධ්‍යනයෙන්ද අපට දිශාව ගැන දළ අදහසක් ලබාගත හැක. ආසන්න උස්බිම්, රැලිබිම්, කඳු, පල්ලම්, නෙරු, නිම්න ආදි විශේෂ පිහිටීම් මේ සඳහා යොදාගත හැක.

..


මේ ක්‍රම සහ විධි වලට අනුගත වීම එක්වරම කළ හැක්කක් නොවේ. එමනිසා පෙර පුහුණුව සඳහා,

    • ඔබ හොඳින්ම දන්නා ප්‍රදේශයකදී මාලිමාවක් හා සිතියමක් භාවිතා කරගෙන මේ ක්‍රමවිධි උත්සාහ කිරීම,
    • ඔබ යෙදෙන ගමන්වලදී Trail Signs පිළිබඳව අවධානය යොමුකිරීම,
    • View Point ස්ථානවල සිතියමක් භාවිතයෙන් භූ විෂමතා හඳුනාගැනීමට උත්සාහ කිරීම

වැනි ක්‍රම භාවිතා කල හැක.

..

..

සටහන:

..


තුෂාන් චාමික

20 කණ්ඩායම

Department of Civil Engineering

2169

Created : Dec 3, 2022 09:25am
Last updated : Apr 26, 2024 05:29am