Loading...
2021 මාර්තු 14, මොරටුව විශ්ව විද්‍යාලයේ කදු නගින්නන්ගේ සංගමයේ සාමාජිකයන්ට අත්දැකීම් රැසක් එකතු වුනු තවත් සුන්දර දවසක්. රට තුල පවතින covid 19 වාතාවරණයත් එක්කම පහුගිය වසර පුරාවටම කදු නගින්නන්ගේ සංගමය වශයෙන් කදු තරණය කිරීම බොහෝ සෙයින් සීමා වු නිසාම මෙවර නියමු කදු තරණය කිරීමේ වැඩසටහනක් වශයෙන් සීමීත 25 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් මාතලේ දිස්ත්‍රීක්කයට අයත් අරංගල කදු ශිඛරය තරණය කිරීමට යොදාගත්තේ නව කමිටු සාමාජික මණ්ඩලය පත්වීමේ උණුසුම යන්නටත් පෙරාතුවයි.
රාත්‍රී 12.15 ට කොළඹ කොටුවෙන් මාතර සිට පැමිණි මාතලේ බස් රථයට ගොඩවූ අපගේ පිරිස මාතර සිට ඊට පෙර දින රාත්‍රියේ ගමන් ඇරඹු සාමජිකයන් සමග එක්වීමට සමත් විය. වේලාසනින්ම කොළඹ කොටුවෙන් ගමන් ඇරඹූ බැවින් පාන්දර 3.00 පමණ වන විට මාතලය නගරයට ලගා වූ පිරිස ඉන්පසු සූර්‍යා ලෝකයට එබී බලන තෙක් පැමිණි බස් රථයේම සිට කුඩා විවේකයක් ලබාගත්තේ උදෑසන අරඹන ගමනට පෙර සූදානමක් ලෙසය. පැය කිහිපයක කුඩා විවේකයකින් පසු අවටින් ගලා එන සිසිල් සුලගේ පහස විදිමින් උදා ආහාරය මාතලේ නගරයෙන්ම ගත් පිරිස ඉන්පසු මාතලෙන් එක්වූ ඉතිරි සාමාජික පිරිස සමගද එක් වූයේ තවත් සුන්දර මතක ගොන්නක් රැස් කරගැනීමේ බලාපොරොත්තුවෙනි..
අරංගල කදු තරණයට මාතලේ නගරයෙ සිට කිලෝමීටර 25ක පමණ දුරක් ගෙවාගෙන නාඋල ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යාස්ථානය අසලට පැමිණි අප පෙර සුදානම් කරගත් පරිදි දහවල් ආහර පාර්සල් සහ අවශ්‍ය අනෙකුත් දෑද සූදානම් කරගෙන අපගේ ගමන ආරම්භ කරන විට උදෑසන 10ට ආසන්න වී තිබුණි.
මාතලේ දඹුල්ල මාර්ගයේ ගමන් කරන ඕනෑම කෙනෙකුට පැහැදිලිව දර්ශනය වන මෙම අරංගල කන්ද, මුදුන් තුනකින් සමන්විත වන අතර උසින් මීටර 792 ක් පමණ වේ. බස් රථයක පැමිනෙන්නේ නම් නාඋල යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය අසලින් බැස කන්ද නැගීම ආරම්භ කිරීමට, එතැන් සිට කන්ද දෙසට වැටී ඇති කොන්ක්‍රීට් යොදා සකස් කල මාර්ගය අවසන් වන ස්ථානය දක්වා ගමන් කල යුතු අතර මෙම මාර්ගය ගම්මානය මැදින් වැටි ඇති බැවින් මෙම දුර වාහනයක වුවද ගමන් කල හැක.. ඉන් පසු ආරම්භ වන්නේ කන්ද නැගීම සදහා සෑදී ඇති කුඩා අඩිපාරයි.. මෙම ස්ථානයේ මදක් නැවතුනු කණ්ඩායම ගමනට අවශ්‍ය කරන උපදෙස් ලබාගැනීමෙන් හා පෙර වසරේ කමිටු සමාජිකයන් හට ජර්සි ප්‍රදානය කිරීමෙන් අනතුරුව ගමන ඇරඹිනි.
යසාර අයියා සහ මා ගමනේ පෙරමුණ ගත් අතර නඩයේ අනෙක් පිරිස තවත් සොදුරු ගමනාන්තයක් බලා අප පසුපස ගමනට වැටුනි.. කදු නගින්නන් අතර ප්‍රචලිත බවක් උසුලන බැවින් ඉහලට යන්නට පාර සොයාගන්නට පහසු වූවා සේම පෙර අසා දැනගත් පරිදි වේලී ගිය ඇලපාරක් දිගේ ගමන යා යුතු වූ බැවින් එම ඇල මාර්ගය සොයා ගැනීම අපගේ මුල්ම අරමුණ විය. මග දුරක් ආ විට අඩි පාරින් වෙන් වූ අපි පෙර කී මද බෑවුමක් සහිත ඇල මර්ගය මුනගැසුන බැවින් එය දිගේ ඉහලට යාම ඇරඹු අතර ඉහලට යනවිට ඇල මාර්ගය මදක් දුශ්කර වූ බැවින් ඇල පාරින් වෙන්වී වනය තුලින් ගමන් කිරීම ඇරඹුවත් වැඩිවූ බෑවුම, බුරුල් පස සහ වියළි ගිය පත්‍ර නම් කිසි ලෙසකින්වත් ගමන පහසු කරේනම් නැත. මෙසේ වනය තුලින් ඉහලටම පැමිණි අප අවසානයේදි විශාල ගල් පර්වතයක් අසලින් නතර වූයේ අප ආ මර්ගය වෙනස් කල යුතු බව දන්වමින් සහ පෙර සිට හිතේ පැවතුනු පාර වැරදුනාදැයි යන සැකයද සනාත කරමිනි. මදක් නැවති අනෙක් පිරිස ගිමන් හරින තෙක් යසාර අයියා සහ මා නැවතත් ගමන ආරම්භ කිරීමට මාර්ගයක් සොයා දෙපසට බෙදී ගියෙන් නැවත අප පෙර ගමන් කල ඇල මාර්ගයම හමු වූ නිසා අපහසුවකින් තොරව මද විවේකයකින් පසුව නැවතත් ගමන ආරම්භ කිරීමට හැකි විය.. මේ වන විටත් දහවල් 12ට ආසන්නව තිබුනත් අපගේ ගමන් මාර්ගය වසාගත් රුක් වැස්ම නිසා අපිට කෙලින්ම ඉහලින් පැවති සූර්‍යාගෙන් වැඩි පීඩාවක් එල්ල නොවූ නමුත් අපහසුවක් ඇති වූවනම් ඇතිවූවේ කුඩා ගල් මත අඩි තබමින් ඇල මාර්ගය දිගේ ඉහලට ගමන් කිරීමට තිබූ බෑව්ම් සහිත ගමන් මාර්ගය නිසා පමණි.
තව දුරටත් ඉහලට නැගුනු අප කෙමෙන් ඇල මාර්ගයේ අවසානයට සමීප වූ අතර එයින් ඉවත්ව රුක් වැස්ම අඩු පතන සහිත ප්‍ර්දේශයකට ප්‍රවිශ්ට වුවෙන් මේ වන තෙක් හෙවණ සැලසු රුක් වැස්ම ඉවත් වී පතිත වූ සූර්‍ය රශ්මියෙන් බැට කන්නට සිදු වූ නමුත් දක්නට ලැබූනු අලංකාරවත් දර්ශන පථය නිසාම මොහොතකට ඒ සියල්ල අමතක කර දැමීමට හැකි විය. මොහොතක් නැවති සිට ගමන නැවත ඇරඹුවේ කදු මුදුන පෙනන තෙක් මානයට අප ලගා වී සිටි බැවිනි. මදක් වෙහෙසව සිටියත් ඉක්මනින්ම අප කදු මුදුනට ලගා වූයේ වටපිටාව රිසි සේ දැකගැනීමට වූ හදිසිය නිසාමය. කදු මුදුනට ලගා වන විටම හමා ගිය සුළග මෙන්ම දක්නට ලැබුනු අලංකාරවත් 360° දර්ශන පථයද හැමගේම සිත් මොහොතකට තෘප්තිමත් කිරීමටද ඉන්පසු චායාරූප තුලට එක් වන්නටද වැඩි වෙලාවක් නම් ගත වූයේ නැත.
මෙම අලංකාරවත් 360° දර්ශන පථයට මාතලේ දිස්ත්‍රීක්කයට අයත් විල්ෂෙයාර්, බ්‍රැන්ඩිගල වැනි කදු මුදුන් මෙන්ම රිවර්ස්ටන් සහ නක්ල්ස් කදුපද්ධතියට අයත් විශාල ප්‍රදේශයක්ද, බෝවතැන්න සහ නාලන්දා ජලාශයන්ද, කුරුණෑගල දිස්ත්‍රීක්කයට අයත් දොලුකන්ද, අම්බොක්ක වැනි ප්‍රදේශද, ඊට අමතරව මැනික්දෙනිය, දඹුල්ල, කණ්ඩලම, නාඋල, නාලන්ද වැනි ප්‍රදේශද, තවත් මාතලේ, මහනුවර, කුරුනෑගල දිස්ත්‍රීක්ක වලට අයත් ප්‍රදේශ ගණනාවක්ද හොදින් දැකගැනීමට හැකිය.
කදු මුදුනට පැමිණ දර්ශන පථය රිසි සේ විදගත් පිරිසේ ඊලග කාර්‍ය වූයේ හිතේ හැටියට රසවත් මතකයන් ඡායාරූපයට ගැනීමයි. මේ චායාරූපවලට අරංගල සංචාරය කරන බොහෝ දෙනාගේ මතකයේ රැදෙන ස්ථම්භයක වැනි ස්මාර්කය වස්තු විශයක් වු බවනම් කිය යුතුමය.. මෙම ඉදිකිරීම පිලිබද විවිධ මත පවතින අතර නිවැරදි කුමක්දැයි නම් කා හටවත් හරි අවබොදයක් නොමැති අතර එක් මතයක් නම් මෙය මියගිය ප්‍ර්භූවරයෙක්ගේ භෂ්මාවසේශ තැම්පත් කර ඉදිකරන ලද්දක් බවයි. තවත් මතයක් වන්නේ අරංගල කන්දෙහි විසූ භාවනායෝගී තාපසයෙකු සිහිකිරීමට ඉදිකරන ලද්දක් බවයි. මෙම මත කෙසේ වුවත් මෙම අරංගල කන්ද අවට ප්‍රදේශය ඓතිහාසික වටිනකමින් යුක්ත ප්‍රදේශයක් වන අතර අරංගල පාමුල පිහිටන්නේ සුප්‍රසිද්ධ නාලන්දා ගෙඩිගේ පිහිටා ඇති නාලන්දා ගමයි. එමෙන්ම වීරකැප්පටිපොලට, ගොංගාලේ ගොඩ බන්ඩා වැනි අතීත විරුවන්ට සෙනා සංවිධානය කිරීමටද මෙම අරංගල කදු පන්තිය උපකාර වූ බවටද කියවේ.
හිතේ පදමට ඡායාරූප ගැනීමෙන් පසු උදෑසන රැගෙන ආ දිවා අහාරය ගැනීමෙන් පසු සිත මෙන් ගතද සනහාලමින් හිරු රැස් සගවා දමමින් සිහිල් සුලගක් සමග පොද වැස්සක් රැගෙන වලාකුලු කදු මුදුන වසා ගත්තේ කැමරා කාචවල අලංකාරවත් ඡායාරූප සහ විඩියෝ රැසක්ද සටහන් කරමිනි. අරංගල වියළි කලාපීය ලක්ෂණ සහිත කදු මුදුනක් වුවත් මේ සිහින් පොද සහිත වටපිටාව අපට රැගෙන අවේ වෙනස්ම අත්දැකීමකි. ආහර ගැනීමෙන් පසු තෙවන කදු මුදුන කරා ගමන් කිරීම ඇරඹු අපට කුඩා වැහිපොද වලින් ප්‍රහාර කීපයක්ම එල්ල කල අතර වියලි කලාපීය කදු මුදුනක් බැවින් කොතනකදීවත් කූඩැල්ලන්ගෙන් නම් කරදරයක් ඇති නොවීය. තෙවන කදු මුදුන මතද සුනදරත්වය මොනවට විදගත් අප තෙවන සහ දෙවන කදු මුදුන අතර පිහිටි ගල්තලාව මතට පැමිණියේ පුල පුලා බලා සිටි සමූහ චායාරරූපයට පෙනී සිටීමට සහ ප්‍රථමධාර ඒකකයේ සමාජිකයන් විසින් සංවිදානය කර තිබූ වැඩසටහන සමග එකතු වීමටය. ප්‍රශ්න ඇසීමක් සමග ඇදී ගිය මෙය, සමාජිකයන් සියල්ලන්ගෙම මුහුණු සිනාවෙන් පිරවීමට සමත් වූ අතර අලුත් සමාජිකයන් හට නවමු අත්දැකීමක්ද එක් කිරීමට සමත් විය.
කෙමෙන් කෙමෙන් හවස් යාමය ලගා වන්නට වූ බැවින් නැවතත් කදු මුදුනට සමු දී පහලට ගමන් කිරීම ඇරඹුවේ උදෑසන වරදාගත් පාර වෙනුවට හරිම පාරේ පල්ලම් බසිමින් වුවත් බුරුල් පස කිසිසේත්ම ගමන පහසු කරේ නම් නැත.. සවස 4.30 පමණ වන විට අප ගමන ඇරඹු කොන්ක්‍රීට් පාර කෙලවරට නැවතත් පැමිණීමට සමත් වූ අතර අසල නිවසක පිහිටි තිබු කුඩා ජල ටැංකියකින් ඇග පත හොදාගැනීමටද ඉඩකඩ සැලසුනු බැවින් හොදින් සෝදා කියාගෙන නැවත එන්නට පිටත් වූයේ නැවතත් ඉක්මනින්ම කදු නගින්නන්ගේ සංගමයෙන් තවත් සුන්දර ගමනක් යන බලාපොරොත්තුවද ඇතුවය..
දිලීප ලක්ෂාන්,
18 - තොරතුරු තාක්ෂණ පීඨය.