Loading

Loading...

සොබා දම සිත්තම් කළ සොඳුරු රුව හාවාගල

කඳු ශිඛර දිය දහරා නිම්නයන්ගෙන් සැදුම්ලත් රමණීය සංචාරක තෝතැන්නක් වූ සබරගමු පළාතේ බෙලිහුල්ඔය පිහිටි, මනරම් කඳුවැටියක් වූ හාවාගල සොබා දහමට ඇලුම් කරන්නන්ගේ නිරන්තර අවධානයට පාත්‍ර වේ. එනිසාවෙන් ම මොරටු විශ්ව විද්‍යාලයේ කඳු නගින්නන්ගේ සංගමයේ සාමාජිකයන් වන අප විසින් 2022 ජුනි මස දෙවන කඳු තරණය සැලසුම් කරන ලද්දේ මෙම හාවාගල කඳු වැටිය කේන්ද්‍ර කොට ගෙන ය. අලුයම 4.30 ට පමණ කටුබැද්ද සරසවි‌යෙන් පිටත් වූ අපි පෙරවරු 8.00 පමණ වනවිට බලංගොඩ නගරයට ළගා වී එහි පිහිටි අවන්හලකින් උදෑසන ආහාරය ලබා ගත්තෙමු. බලංගොඩ පසුකොට ලඳුයාය ගම්මානය හරහා වැටී ඇති මාර්ගය ඔස්සේ කිලෝමීටර කිහිපයක් ගමන් කිරීමෙන් අනතුරුව කඳු තරණයේ ආරම්භක ස්ථානය දක්වා පැමිණියෙමු. මෙම මාර්ගය ඔස්සේ අප ගමන් ගත් බසය හැසිරවීම තරමක් අපහසු වූ බැවින් අතරමඟ දී බසය නතර කර ඉතිරිය පයින් ගමන් කිරීමට සිදු විය.

..

මෙම ‘හාවාගල’ යන නාමය හා සබැඳි ප්‍රකට ජනප්‍රවාදයක් පවතී. පුරාතන රාවණ රජ සමයේ දී රජු දඩ කෙළියේ නියැලෙන අතරතුර ‘පටුපාවකහින්න’ කන්දේ සිට විදිනු ලැබූ හීයක් මෙම කන්ද පසාරු කරමින් ගමන් කළ බවත් එනිසා කන්ද ‘හාගල’ ලෙස හැඳින් වූ බවත් ගම් වාසීන් අතර ප්‍රචලිත මතයයි. පසුව ‘හාගල’ යන්න ‘හාවාගල’ බවට පරිවර්තනය වූ බවත් කියැ වේ.

..

..

කඳු තරණයේ ආරම්භක ස්ථානය කරා ළඟා වූ අප එකිනෙකා හඳුනා ගැනීමෙන් අනතුරුව සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ උපදෙස් ද මතකයේ රඳවා ගනිමින් ගමන ආරම්භ කළෙමු. එතැන් සිට මඳ දුරක් යත් ම දිය පහරවල් මතින් ඉදිවුණු පටු පාළම් ද්විත්වයක් හමු විය. තරමක දුෂ්කර වූ මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් ගත් අපි ඉමක් කොනක් නොපෙනෙන සාරවත් තේ යායක් මධ්‍යයට අවතීර්ණ වුණෙමු. මේ අතරින් වැටුණු අඩි පාර කෙතරම් පටු ද යත් අප ගමන් ගත්තේ තේ අතු සිරුරේ ගෑවෙන නොගෑවෙන සීමාවෙනි. එය පසු කළ විට හමු වූ සිසිල් සුපවිත්‍ර දිය සීරාව පිපාසය හා විඩාව සංසිඳුවා ගැනීමට මහඟු පිටිවහලක් විය. අක්‍රමවත් ව ඇතිරූ ගල් පතුරු මතින්, උස් කඳු ප්‍රදේශ බහුල ව තරණය කිරීමට සිදුවීම අභියෝගත්මක මෙන් ම වෙහෙසකර කර්තව්‍යයක් විය. මාර්ගය අතරමඟ පිහිටි පටු තැනිතලා පෙදෙසක දී දිවා ආහාරය ලබා ගැනීමට ද අපි අමතක නොකළෙමු. නෙක විධ ශාක විශේෂයන්ගෙන් පෝෂිත මෙම පරිසර පද්ධති‍යේ දී නෙත ගැටෙන ෆයිනස් කැලය තවත් මතකයේ රැඳෙන දැකුම්කලු සංධිස්ථානයකි.

..

..

කඳු බෑවුම් මතින් දිවෙන මාර්ගය ඔස්සේ හෝරා කිහිපයක් ගමන් කිරීමෙන් අනතුරුව පුළුල් ගල් තලාවක් පසු කර ගමනාන්තය දක්වා ළඟා වුණෙමු. මුහුදු මට්ටමේ සිට මීටර 1330 ක පමණ උසකින් පිහිටි මෙම හාවාගල කඳු මුදුනෙහි සිට එහි දර්ශන පථය විමසිල්ලෙන් නිරීක්ෂණය කරන විට සමනල වැව, නන්පෙරියල් වතුයාය, හෝර්ටන් තැන්න, ගලගම ඇල්ල, ආදර කන්ද ආදිය මනාව නෙතට හසු කර ගත හැක. එමෙන් ම බලංගොඩ රත්නපුර ආදී නගර ද ඉහළගලගම ලදුයාය ආදී ගම්මාන ද සබරගමු විශ්ව විද්‍යාලය ද මනස්කාන්ත ව දර්ශනය වේ. එහි සුන්දරත්වය විඳිමින් සිටි අපව සිසිල් සුළං ධාරා සමඟින් ඇදුණු වලාවන් වෙලා ගත්තේ අප ද නොදැනුවත්ව ම ය.

..

..

හිරු බැස යාමට මත්තෙන් කඳු පාමුල වෙත ළගාවීමේ අරමුණ ඇතිව අපි නැවතත් ආපසු ගමන ආරම්භ කළෙමු. පස්වරු 5.30 පමණ වනවිට කඳු තරණයේ නිමාව දකින්නට අපට හැකිවිය. පසුව හාවාගල කඳු මුදුනතින් ජීවය ලබන පහන්තුඩාව ඇල්ලෙන් දිය නෑම සංචාරයේ තවත් සුමිහිරි අත්දැකීමක් විය. ආපසු පැමිණෙන අතරතුර රත්නපුර ප්‍රදේශයෙන් රාත්‍රී ආහාරය ලබා ගත් අප මධ්‍යම රාත්‍රී 12.30 ට පමණ ආරක්ෂිතව නැවතත් විශ්ව විද්‍යාල පරිශ්‍රය කරා ළඟා වූයේ කිසිදා නොමැකෙන මතකයන් සමුදායක් පොදි බැඳ ගනිමිනි. පාරිසරික වටිනාකමින් අනූන සොබා දහමේ අපූර්වත ම නිර්මාණයක් වූ මෙම පාරාදීසයේ පහස විඳින්නට පැමිණෙන ඔබ, පිය සටහන් පමණක් ඉතිරි කොට මතකයන් හා සේයා රූ පමණක් ‍ම රැගෙන නික්ම යාමට සිහි තබා ගැනීම අගනේ ය.

..

සටහන: නිලුපුලී අමරතුංග

1148 0
Created : Aug 27, 2022 10:48am
Last updated : May 6, 2024 07:48am