Loading

Loading...

රාවණා රජුගේ පුරාවෘත්තය රැගත් ඇතුගල්පුර දොළුකන්ද

කඳු නගින්නන් අතරෙහි නිරන්තර කතාබහට ලක්වන්නා වූ, සංචාරක ආකර්ෂණය ද නොඅඩුව ලැබෙන, වයඹ පළාතේ ඇතුගල්පුර අභිමානය රැගත් ඓතිහාසික දොළුකන්ද මෙවර මොරටුව විශ්වවිද්‍යාලයේ කඳු නගින්නන්ගේ සංගමය විසින් කඳු තරණය සඳහා තෝරාගෙන තිබුණි. උසින් අඩි එක්දහස් නවසිය හැට නවයක් පමණ වන, හුදකලා කන්දක් වන දොළුකන්ද කුරුණෑගල දිස්ත්‍රික්කයේ හදවත බඳුය.

..

..

උදෑසන 4.00 ට පමණ විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ගමන සඳහා එකතු වූ සාමාජිකයන් බස් රථයට නැගීමෙන් අනතුරුව ගමන ආරම්භ කළ අපි, තවත් සාමාජිකයන් ගමන අතරතුර දී එකතු කර ගත්තෙමු. දොළුකන්දේ සුන්දරත්වය විඳගැනීම සදහා ඊට පිවිසිය හැකි මාර්ග දෙකකි. එයින් එක් මාර්ගයක් නම් කුරුණෑගලින් මුත්තෙට්ටුගලට පැමිණ 10 කණුවෙන් උඩුපිල දක්වා වූ ගමන් මාර්ගයයි. අනෙක් මාර්ගය නම් ඉබ්බාගමුවෙන් මඩගල්ල මාර්ගයේ පැමිණි විට මුණගැසෙන ගොඩවෙල හන්දියෙන්, දොළුව ගමට පැමිණ දොළුකන්දට පිවිසෙන මාර්ගයයි.

..

දිගු ගමනකින් අනතුරුව උදෑසන 9.30 ට පමණ සියලු දෙනාගේ සිත් අමන්දානන්දය ට පත් කරමින් දොළුකන්ද පාමුලට පැමිණීමට අපට හැකිවිය. කඳු තරණයට පළමුව සුපුරුදු පරිදි අප කණ්ඩායම එකිනෙකා හඳුනාගැනීම සිදුකරන ලදී. එහිදී දවස තුළ අපි කිරීමට බලාපොරොත්තුවෙන් සිටින සියලු දේ පිළිබඳවත්, ගමන ආරම්භයේ සිට අවසානය දක්වා මෙම මනරම් පරිසරය ආරක්ෂා කරගැනීම සඳහා ස්වයං විනයක් ගොඩනගා ගැනීමටත් කථිකා කරගත්තෙමු.

..

එමෙන්ම දොළුකන්ද නැරඹීමට යන ඕනෑම සංචාරකයෙකු ට, ඕනෑම කඳු නගින්නෙකු ට ඊට පෙර අවසර ලබාගත යුතුව ඇත. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂණය කොට ඇති දොළුකන්ද ට අනවසරයෙන් ඇතුළුවීම, ගිනි තැබීම සහ අපවිත්‍ර කිරීම ආදී පාරිසරික බලපෑම් සිදු කරන්නන්හට අවුරුදු 7 ක සිර දඬුවමක් හා දඩ මුදලක් පවා පැමිණවීමට බලධාරීන් ට හැකියාවක් ඇත. මොරටුව විශ්ව විද්‍යාලයේ කඳු නගින්නන් වන අපහටත් කඳු පාමුල දී පොලිස් නිලධාරීන්, වන සංරක්ෂණ නිළධාරීන් සහ ගම්වාසීන් විසින් උපදෙස් ලබාදෙනු ලැබුවේ මෙම මනරම් පරිසරය ආරක්ෂා කරගැනීමට කටයුතු කරන ලෙසයි. එදින ගම්වාසීන්, පොලිස් නිලධාරීන් සහ වන සංරක්ෂණ නිලධාරීන් විසින් පෙර පැමිණි සංචාරකයන් විසින් අපවිත්‍ර කරන ලද පරිසරය පිරිසිදු කිරීමේ වැඩ සටහනක් සංවිධානය කර තිබූ අතර මොරටුව විශ්වවිද්‍යාලීය කඳු නගින්නන් ලෙස අපට ද ඒ සඳහා දායක වීමට හැකිවිය.

..

..

කඳු නැගීමට පළමුව අප සියලු දෙනා කණ්ඩායම් වලට බෙදීමෙන් අපේ ආරක්ෂාව පිළිබඳව අවධානයෙන් සිටීම සඳහා කටයුතු ගමන ආරම්භයේදීම සිදු කරන ලදී. ඉන්පසුව කන්ද නැගීම ආරම්භ කළ අපි ආරම්භයේ දී එතරම් දුෂ්කර නොවූ අඩි පාරවල් ඔස්සේ ගම්වාසීන්ගේ මඟපෙන්වීම මත කඳු නැගීම ආරම්භ කළෙමු. එහිදී ඉක්මන් ආරම්භයක් ගත් අප අතරමගදී ගමන් මහන්සිය නිවාගනු වස් විවිධ අත්දැකීම් බෙදාහදා ගනිමින්, ආහාරපාන බෙදාගනිමින් කඳු තරණය කරන ලදී. අතරින්පතර හමුවන්නා වූ කුඩා දිය දහරාවන් අපේ ගමන් විඩාව සහ පිපාසය සංසිඳුවා ලීමට සමත් විය. එමෙන්ම කුඩා ගමන් මාර්ග වලදී ඉදිරියට හමුවන ගල් පර්වත සහ ලිස්සන සුළු කුඩා පාරවල් නැගීම සඳහා අපට උදව් වූයේ ස්වභාවික තුරුලතා ය. එම තුරුලතා අපට උදව් කළේ දොළුකන්ද නැරඹීමෙන් අනතුරුව පරිසරය ආරක්ෂා කරමින් නැවත පැමිණීමට හැකියාව ලැබීමට සුභ පැතීමක් ලෙසයි.

..
අතරින් පතර නැවතීමෙන් අප ගමන් විඩාව නිවාගත් අතර සෑමවිටම එම විවේක ස්ථාන වලදී අප සාමාජිකයන් ප්‍රමාණය ගණනය කරගැනීම දොළුකන්ද කඳු තරණයේ ආරම්භයේ සිට අවසානය දක්වාම සිදුකරන ලදී. ඒ මගින් සාමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරගැනීමට හැකියාව ලැබුණි. දිගු ගමනකින් අනතුරුව අපට පර්වතය මුදුනට ගිය කළ දිස් වූ දර්ශනය අපේ ගමන් විඩාව එසැණින් අමතක කිරීමට සමත් විය. හේතුව නම්, මුළු වයඹ පළාතම ඉතාමත් අලංකාරව දිස්වීමයි. වෙනත් කඳු මුදුන් වල දක්නට නොලැබෙන ගුප්ත සුන්දරත්වයක් දොළුකන්ද ට හිමිය. එක් පසෙකින් කුරුණෑගල වාරියපොල ප්‍රදේශයත්, තවත් පසෙකින් වැල්ලව, දැදුරුඔය, යක්දෙස්සාගල ආදී ප්‍රදේශත් නැරඹීමට හැකිය. එමෙන්ම පැහැදිලි දවසක හලාවත දක්වා මුහුදු තීරය නැරඹීමට වුවත් හැකියාව ලැබෙන බව සඳහන් වේ. ජනප්‍රවාදයේ සඳහන් වන මුහුද පෙනේ දොලුකන්ද ට වෛතාලේ යන කවිය එය සනාථ කරවයි. දොළුකන්ද මුදුනට ගිය කළ පුරාණ මාළිගාවේ නටඹුන් දක්නට ඇති මාළිගාතැන්න, අම්බලංගල, කළුගල වැනි ස්ථාන ද, ශාක විශේෂ ගණනාවක් දක්නට ඇති ශාක සාර වනාන්තරය ද දැකගත හැකිය. දොළුකන්ද කඳු මුදුනේ ගල් ගුහාවක් තුළ සෑදූ කුටිය තුළ ගිමන් නිවාගැනීමට අවස්ථාවක් අපහට ලැබුණි. එහි සිටද ඉහත කී සුන්දරත්වය මනාව දැකබලා ගැනීමට හැකිවිය.

..

..

දොළුකන්දේ අතීතය රාම රාවණා යුගය දක්වා දිවයන අතර මහා ඉන්දියානු වීර කාව්‍ය රාමායනයට සෘජුවම සම්බන්ධ වෙයි. පුරාවෘත්ත වලට අනුව රාම-රාවණා යුද්ධයේ දී තුවාල ලැබූ රාමා සුව කිරීම සඳහා හිමාල කඳු වැටියෙන් ඖෂධයක් ගෙන ඒමට පැවරූ හනුමාට එම ඖෂධයේ නම අමතක වීම හේතුවෙන් හිමාලය වනයේ කොටසක් ගෙන එන ලදී. එසේ ගෙන ඒමේ දී එම කන්දෙන් කොටස් පහක් ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශ වලට වැටුණු බව පුරාණයේ සදහන් වෙයි. එම කොටස් “සංජීවනි කදු” ලෙස හඳුන්වයි. එසේ වැටුණු එක් කොටසක් දොළුකන්ද වන අතර අනෙක් කඳු ලෙස රූමස්සල සහ රිටිගල යන කඳු හැඳින්විය හැකිය. හිමාලයේ පමණක් ඇති අති දුර්ලභ ඖෂධ පැළෑටි දොළුකන්දේ දක්නට ලැබෙන්නේ මේ නිසා යැයි විශ්වාස කෙරේ. එසේම පැරැන්නන් විසින් දොළුකන්ද බුද්ධදාස රජතුමාගේ ඖෂධ උද්‍යානයක් ලෙස ද හදුන්වයි. වනරාජ, නාගරාජ, ගුරුළුරාජ, හිරුරාජ හා ගරුඩරාජ ආදී රාජ පහට අයත් ඖෂධ ශාක වලින් ගහන වූ වන සංරක්ෂණ කලාපයක් බවට වර්තමානයේ දොළුකන්ද තහවුරු කරගෙන ඇත. එමෙන්ම බුද්ධදාස රජතුමාගේ මාලිගාවක් ද තිබූ බවට සාක්ෂි මෙම කන්දට පැමිණි ඔබට දැකගත හැකිය. අතීත භාවනායෝගී භික්ෂූන් වහන්සේලා වැඩ වාසය කළ ගල්ගුහා ගල් කන්ද මුදුනට පැමිණි විට දැකගැනීමට අපට හැකියාව ලැබිණි.

..
කඳු මුදුනට පැමිණි අපට ගම්වාසීන් විසින් හකුරු සහ තේ පැන් වලින් සංග්‍රහයක් ලබා දීම, අපගේ ගමන් විඩාව නිවාගැනීමටත් ඔවුන් සහ අප අතර ඇති බැඳීම ශක්තිමත් කර ගැනීමටත් අවස්ථාවක් වුණි. මද වේලාවක් වෙහෙස නිවමින් කාලය ගත කිරීමෙන් අනතුරුව දවල් ආහාරය ආසන්නයේ ඇති ගල්ගුහා වල සහ වනාන්තරයේ සෙවණේ සිටිමින් ලබාගැනීම අපට තවත් කදිම අත්දැකීමක් විය. මතකයන් එකතු කරගැනීමට ඡායාරූප වලට පෙනී සිටීමටත් කිසිවෙක් අමතක නොකරන ලදී. ඉන්පසුව සියලු දෙනාම එකම තැනකට එකතු වී ගමන තවත් සාර්ථක කරගැනීම සඳහා සුපුරුදු පරිදි කඳු නගින්නන් වශයෙන් දැනගත යුතු කරුණු ප්‍රශ්න වශයෙන් සාමාජිකයන්ගෙන් විමසමින් අපේ එකමුතුකම සහ දැනුම වර්ධනය කරගැනීමට කටයුතු කරන ලදී.

..

..

තවත් සුලු මොහොතක් දොළුකන්දේ සුන්දරත්වය නැරඹීමෙන් අනතුරුව මිනිසුන් දමා ගිය ප්ලාස්ටික් හා පොලිතින් වැනි ද්‍රව්‍ය අප රැගෙන ආ මලු වලට එකතු කරගත් අපි කඳු පාමුල කරා පැමිණීමට ගමන් ඇරඹුවෙමු. එහිදී ද ගම්වාසීන් විසින් මාර්ගය පෙන්වීම අපට මහත් උපකාරයක් විය. මෙම ගමනේ දී අපට, දොළුකන්දට එන ඕනෑම කෙනෙකුට මෙන්ම මග පෙන්වන සුනඛ මිතුරෙකු ද හමුවිය. දොළුකන්දෙන් පිටත් වීමෙන් අනතුරුව එන ගමනේදී රාත්‍රී ආහාර ගෙන සුන්දර මතක රැසක් ද සිතෙහි රඳවාගෙන රාත්‍රී 11ට පමණ අපි විශ්වවිද්‍යාලය ආසන්නයට ළගාවුණෙමු.

..
..

සටහන:

චමල්කා සදමාලි

21 කණ්ඩායම

තොරතුරු තාක්ෂණ පීඨය

..

1423 1
Created : Sep 17, 2022 01:09pm
Last updated : Nov 21, 2024 12:41pm

Peshala Obadage

September 9th, 2022 - 11:29AM

Wow great job. Keep it up ❤