Loading...
2023 අලුත් අවුරුද්දට නැවුම් ආරම්භයක් ලබාදෙමින් මොරටු විශ්ව විද්‍යාලයේ කඳු තරණය කරන්නන්ගේ සංගමය, මෙම අවුරුද්දේ පළමු කඳු තරණය සඳහා වංගෙඩිගල තෝරාගෙන ගෙන තිබුණි. මුහුදු මට්ටමේ සිට මීටර් 1500කට අධික උසින් පිහිටි ඌව පළාත්ටත් සබරගමු පළාත්ටත් මායිම්ව පිහිටි බදුල්ල දිස්ත්‍රික්කය තුළ කළුපහන ගම්මානයේ පිහිටා ඇති කඳු පන්තියක් ලෙස වංගෙඩිගල හැඳින්විය හැකිය. එදින විශ්ව විද්‍යාලයට පැමිණි කඳු තරණය සඳහා සහභාගි වන සියල්ලන්ම බස් රථයට නැගීමෙන් අනතුරුව උදෑසන 02:50 ට පමණ වංගෙඩිගල සඳහා බස් රථයෙන් පිටත් වු අපි, තවත් සාමාජිකයන් ගමන අතරතුර දී එකතු කර ගත්තෙමු. මෙම වංගෙඩිගල කඳු මුදුනට යෑම සඳහා මාර්ග දෙකක් පවති. ඉන් එකක් නම් අප ගමන් කළ වැලිඔය පාලම අසලින් ඉහළට පැමිණ එම මාර්ගය ඔස්සේ කඳු මුදුනට පැමිණීමයි. අනෙක් මාර්ගය නම් බඹරකන්ද දිය ඇල්ල හරහා කඳු මුදුනට ළඟා වීමට ඇති මාර්ගයයි.
උදෑසන 7 ට පමණ කඳු නැගීමට ප්‍රථම ව උදෑසන ආහාරය සඳහා, යන අතරමගදී බස් රථය නතර කර නැවතත් ගමන ආරම්භ කළෙමු. ඉන්පසු උදෑසන 8:40 ට පමණ වංගෙඩිගල පාමුලට ළඟා වූ අපි, සෑම කඳු තරණයක දීම සිදු කරන ආකාරයෙන් වංගෙඩිගල පිළිබඳ කෙටි හැඳින්වීමක් සහ මොරටුව විශ්ව විද්‍යාලයේ කඳු තරණය කරන්නන්ගේ සංගමය පිළිබඳව හැඳින්වීමක් කරන ලද අතර සෑම කඳු තරණයක දීම පාහේ අපි සහභාගි වන සියලුම මිතුරු මිතුරියන් හඳුනා ගැනීම සිදු කෙරුණි.
ඉන් පසුව කඳු නැගීමට ප්‍රථම ව අපේ ශරීරය සැහැල්ලු කර ගැනීම සඳහා කෙටි ව්‍යායාම් මාලාවක් ද කරන ලදී. මෙමගින් කඳු නැගීමේ පහසුව සියල්ලන්ටම ලබාගැනීමට හැකියාව ලැබුණු අතර ඉන් පසුව යන අතරමගදී යම්කිසි හෝ රෝගී තත්ත්වයක් හෝ යම් කිසි උවමනාවක් පැමිණි විට නිරන්තරයෙන්ම කණ්ඩායම් නායකයින් දැනුවත් කරන ලෙස ආදී උපදෙස් සමූහයකින් කඳු තරණය සඳහා සහභාගි වන සියල්ලන්ම දැනුවත් කෙරුණි.
කණ්ඩායම් වශයෙන් අපගේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා කඳු නැගීමේ මුල් කණ්ඩායම, මැද පිල සහ අවසාන කණ්ඩායම ලෙස කණ්ඩායම් සකස් කරන ලද අතර ඒ සඳහා සාමාජිකයන් වෙන් කරන ලදී. එමෙන්ම කඳු නැගීමට ප්‍රථමව කණ්ඩායමේ ආරක්ෂාව තහවුරු කරගැනීම සඳහා සාමාජිකයින් ගණනය කර, ඉන්පසුව අපි සැවොම ඉතාමත් උද්යෝගයෙන් කඳු තරණය ආරම්භ කළෙමු.
වංගෙඩිගල කඳු තරණයේ දී වෙන් කරන ලද කණ්ඩායම්, යන අතරමග තැන් තැන්වල නතර වෙමින් කණ්ඩායමේ නායකයන් විසින් සාමාන්‍යයෙන් කඳු තරණයක දි දැන ගත යුතු කරුණු වශයෙන් සහ සාමාන්‍ය ජීවිතයේ දී දැනගත යුතු මුලික ගැට වර්ග (Basic Knots) සහ ඒවා භාවිතා කරන ආකාරය පිළිබඳ ප්‍රායෝගිකව පැහැදිලි කරමින් වංගෙඩිගල කඳු තරණය දැනුමත් සුන්දරත්වයත් මුසු වූ කඳු තරණයක් බවට පත් කරන ලදී. එමෙන්ම අතරමගදී කතා කරමින් යන රසබර කතා මගින් මෙය සුන්දර කඳු තරණයට මූලාරම්භය සකස් කර ලදී.
අතිශය මනස්කාන්ත කඳු මුදුනකට උරුමකම් කියන මීටර් 2034 ක් උසැති ශ්‍රී ලංකාවේ 13 වැනියට උසම කඳු පන්තිය ලෙස හැදින්වෙන ගොන්මොල්ලිය කඳු පන්තියේ වංගෙඩිගල, බලතුඩුව සහ වංගෙඩි කන්ද පිහිටා ඇත. සුන්දරත්වයෙන් පරිපූර්ණ වූ මෙහි “වංගෙඩිගල” යන නම පළිබෝධයක් ලෙස හැඳිනිය හැකි අතර කඳු මුදුන පළිබෝධක හැඩය නියෝජනය කරන නිසාවෙන් මෙම නම යෙදූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. වංගෙඩිගල කඳු නගින්නන් අතර ඉතාමත් ජනප්‍රිය කන්දක් වන අතර තරමක් නැගීම දුෂ්කර කන්දකි. වංගෙඩිගල, කඳු නැගීමට ප්‍රියකරන අපි වැනි පුද්ගලයින් යා යුතුම ස්ථානයක් වන අතර වංගෙඩිගල නගින අතර තුර දී කුඩා කැලෑවක් සහ පයිනස් ගස්වලින් පිරුණු වනාන්තරයක් මැදින් ආ යුතුයි. පයිනස් ගස් අප යන අතරමගදී කඳු නැගීම පහසු කිරීමට සමත්වූ අතර නමුත් යම් තරමක අපහසුවක් අපිට ගෙන දුන්නේ එහි කොළ ලිස්සන සුළු නිසා වෙනි. වංගෙඩිගල දවස් දෙක, තුනක් හෝ නැවතී හැකි ස්ථානයක් ලෙස හැඳින්විය හැකි අතර නමුත් අප කඳු තරණය ආරම්භ කර හවස් වනවිට කඳු පාමුලට පැමිණීමේ බලාපොරොත්තුව ඇතිව වංගෙඩිගල තරණය කරන ලදී .
වංගෙඩිගල කඳු තරණයේ යම්තාක් දුරකට ගිය පසු මුණගැසෙන ස්වාභාවික ඇළ මාර්ගය කඳු තරණය කරන අතරවාරයේදී අපගේ ගමන් විඩාව නිවා ගැනීම සඳහා බීමට ජලය ලබා ගැනීමට උපකාර විය. මෙය මුළුමහත් ස්වභාවික පරිසරය සෑම කල්හිම අපට උපකාර කිරීමට උත්සාහ කරන බව හැඳින ගැනීමට හැකි එක්තරා උදාහරණයකි. එසේම කඳු තරණයේදී ප්‍රමාණවත් ජලය රැගෙන යාම වටී. මන්දයත් මෙම ජල දහරාව වර්ෂාව නොමැති කාල වකවානුවලදී සිඳී යෑමට අවස්ථාව ඇති නිසා ය.
ඉතා දීර්ඝ ගමනාන්තයකින් පසුව උදෑසන 11.30 ට පමණ වංගෙඩිගල මුදුනට පැමිණීමට අපි සියලු දෙනාටම හැකියාව ලැබුණු අතර මෙහිදී සියල්ලන්ම ඡායාරූපවලට පෙනී සිටීම අමතක නොකරන ලදී. කඳු මුදුනට පැමිණි විට ලංකාවේ උසම දිය ඇල්ල වන බඹරකන්ද කන්ද දිය ඇල්ලටත් වඩා උසින් වංගෙඩිගල දිස්වෙයි. මෙම කඳු මුදුනට ගිය කල චමත්කාර ස්ථාන කිහිපයක්ම ඉතාමත් විස්මිත ලෙස දැක ගැනීමට හැකිය. බඹරකන්ද දිය ඇල්ල, සමනලවැව, ගොන්මොල්ලිය, හපුතලේ, ලෝකාන්තය සහ ලංකා ඇල්ල, උඩුවේරිය වතුයාය, යක්ෂයාගේ පඩිපෙළ ,හල්දුම්මුල්ල,කොළඹ -බදුල්ල ප්‍රධාන මාර්ගය, බෙරගල නගරය හා කඳුකර කලාපය වෙන්වන සීමාව ආදිය දැකගත හැකිය. එමෙන්ම යම් යම් ජනප්‍රවාද අනුව මීදුම රහිත කාලවල දී හම්බන්තොට වුවත් දැක ගැනීමට හැකියාව ලැබෙන බව දැනගන්නට ලැබුණි. මෙය කඳු තරණය කරන්නන් හට නැවත නැවතත් වංගෙඩිගල නැරඹීමට තවත් උත්තේජනයක් ඇති කරයි.
වංගෙඩිගල සිට අපගේ දවල් ආහාරය ගෙන ඉන් පසුව තරමක් විවේකීව සිටි අප නැවතත් එයින් මදක් දුරින් ඇති වංගෙඩි කන්ද වෙත ගොස් සංචාරය වඩාත් ඵලදායි කර ගැනීම සඳහා වංගෙඩිගල ආශ්‍රිතව, කන්ද තරණයට සහභාගීවූ සියල්ලන්ගේම ප්‍රශ්න අසමින් සහ ඒ සඳහා නිවැරදි පිළිතුරු ලබා දුන් යහළුවන්ට රසවත් ත්‍යාග ලබාදෙමින් දවස ඉතාමත් විනෝදබර කෙරුණි.
මින් පසුව කන්ද මුදුනේ අසිරිය විඳගත් අපි සමූහ ඡායාරූපයකට පෙනී සිට සැඩ සුළඟත් හිරි පොදත් මැද ආපසු කන්ද පාමුල තෙක් ගමන ආරම්භ කළෙමු. මෙම මනරම් පරිසරය සමහර විටෙක අපිරිසිදු වී ඇති ආකාරය දැක ගැනීමට හැකි අතර කඳු නැගීමෙන් අනතුරුව අපි සියල්ලන්ම මේ මනරම් පරිසරය රැකගැනීම සඳහා කඳු මුදුනේ සිට පහළට එන අතරවාරයේ අප කසල එක්රැස් කිරීමට රැගෙන ගිය මලුවලට සංචාරකයින්, රාත්‍රි කඳවුරු බඳින්නන් විසින් දමා ගිය නොදිරන ද්‍රව්‍ය එක්රැස් කරගෙන කඳු පාමුල තෙක් පැමිණීම ඉතාමත් සුවිශේෂි දෙයක් බවට පත් විය.
සවස 5:30 පමණ වනවිට කඳු පාමුලට ළඟාවීමට අපි සියලු දෙනාටම හැකියාව ලැබුණි. මෙහිදී ගමන ආරම්භයේ සිටම අවසානය තෙක්ම කඳු නැගීමට සහභාගී වූ සියල්ලම ගණනය කිරීම් මගින් සෑම විටම ආරක්ෂාව තහවුරු කරගත හැකි විය. ඉන්පසුව වෙහෙස බර මහන්සිය නිවා ගැනීම සඳහා වැලිඔය පාලමට යටින් ගලන දිය දහරාවේ පහස විඳීමටත් ඉතාමත් උද්යෝගයෙන් සහ ඉතාමත් ආසාවෙන් අපි සැම සහභාගී විය. වංගෙඩිගල මුදුනට සේම වංගෙඩිගල පාමුලට ඉතාමත් සීත කාලගුණයක් පැවැති අතර එය මදක් පහව යෑම සඳහා රසවත් තේ කෝප්පයක රස බැලීමට කිසිවෙක් අමතක නොකළේය. පසුව සියල්ලෝම බස් රථයට නැග රාත්‍රී 12 ට පමණ විශ්වවිද්‍යාලය අසලට පැමිණියේ ඉතාමත් සුන්දර ගමනක නිමාව සනිටුහන් කරමිනි.
සටහන: චමල්කා සඳමාලි
21 කණ්ඩායම
තොරතුරු තාක්ෂණ පීඨය