Loading...
මොරටු කඳු නඟින්නන්ගේ වසරේ පළමු කඳු තරණය “ගොන්ගල කඳු තරණය” පෙබරවාරි 16 වන සාර්ථකව නිමාව දුටිණි. සබරගමුව කඳු පන්තියට අයත් උසින් වැඩිම කඳු මුදුන ගොන්ගල වන අතර එහි උස මීටර 1357 කි. දකුණු පළාතත් සබරගමුවව පළාතත් වෙන්කරන මායිමට ආසන්නව පිහිටා තිබෙන ගොන්ගල ට මෙම නම පටබැඳී තිබන්නේ එහි හැඩහුරුව ගොනෙකුගේ ස්වරූපයක් ගන්නා නිසාවෙනි.
අලුයම 1.30 ට පමණ කටුබැද්දෙන් පිටත් වූ අප කහතුඩුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වී ඉමදූවෙන් පිටත්ව දෙනියාය හරහා මාදම්පේ දක්වා දිවෙන A-17 මාර්ගය ඉදිරියට ගියෙමු. ගමන අතරමගදී උදෑසන 6ට පමණ මිහිදුම් පොරවනය ඉවතලා අවදි වීමට සැරසෙන ගොන්ගල කඳු මුදුන් දර්ශනය රසවිඳිමින් උදෑසන ආහාරයද රස වින්දෙමු. නිදිබරිතව සිටි බොහොමයක් දෙනා අවදි කරන්නට ඇත්තේ උදෑසන නෙත් ගැටුණු මීදුම්බර පරිසරය විය යුතුය. ඒ අතරතුර දකුණු පළාතේ සිට සබරගමුවට ඇතුල් වන බව හාත්පස දේශගුණික සහ භූගෝලිය වෙනස්කම්වලින් දැක ගැනීමට පුළුවන.
උදෑසන 7.30 ට පමණ තරණාරම්භක ස්ථානයට පැමිණි පසුව පළමුව රමෝධා අක්කා විසින් ගොන්ගල පිළිබඳව සහ තරණය සිදුකළ යුතු ගමන් මග පිළිබඳව සපිරිවර දැනුවත් කරන ලදී. පසුව පිරිස කණ්ඩායම් පහකට බෙදී ගමන ආරම්භ කළහ.
ආරම්භයේ දී ගමන් ඉතා පහසුය. එය කොන්ක්‍රීට් අතුරා තිබේ. නමුත් යද ප්‍රදේශයේ තේ කර්මාන්ත ශාලාව හමුවූන තෙක් පමණි. එයට යාබදව කුඩා වතුකර ගම්මානයක් පිහිටා තිබුණි. ඉන් ඔබ්බට බොහෝ දුරක් යන තෙක් දැකගත හැකිවූයේ ලා පැහැති තේ වගාව සහ අතරින් පතර ගලා බසිනා කුඩා දිය පහරවල්ය.
කඳු මුදුන තරණය කළ පසු මාර්ගය ඇදී යන්නේ සන්නිවේදන හා සම්ප්‍රේෂණ කුළුණු පිහිටි ප්‍රදේශයක් හරහාය. විකාශන ආයතනවලට අයත් නවාතැන්පළවල් අවට ගිමන් හැරීමටත් ජලය පුරවා ගැනීමටත් එහි රැකියාවෙහි නිරතව සිටි පිරිස අපට අවස්ථාව සලසා දුන්හ. ගිමන් නිවා නැවතත් තරණයේ ඇදෙන අතරමගදී ප්‍රථමාධාර සැපයීම සම්බන්ධයෙන් ආධුනික කඳු නඟින්නන් දැනුවත් කිරීමක් ශාක්‍ය අයියා සහ දෙව්සර අයියා විසින් සිදු කරන ලදී. හැබෑම රෝගියෙකු මෙන් ආධුනිකයින්වද රවටමින් දෙව්සර අයියා සිදු කළ තාත්වික රංගනය අගය කළ යුතුමය.
කඳු මුදුනට පැමිණීමත් සමඟ මාර්ගය අවසන් වේ. ඉන් පසුව කැලෑ වදුල අතරින් අඩි පාරක් ඔස්සේ ගොන්ගල සොයා ඇවිද යාමට සිදු විය. වදුල ඉතා සිසිල්ය. අතරින් පතර ගලා යන කුඩා දිය පහරවල් කිහිපයකි. ඒවා ගිං ගඟෙහි ආරාම්භක ජල පෝෂක ප්‍රදේශයන්ය.
අඩි පාර දිගේ පසු කරන බොහොමයක් තැන් එක සමානය. අඩි පාරද බෙදී යන මංසන්දි වේ. එනිසා ඇතැම්විට මග වරදින්නට පුළුවන. නඩේ ගුරෙකු කැටුව යාම උචිතය. ගොන්ගල අපගේ නඩේ ගුරාට සිටියේ යසාර අයියා ය. වදුල පීරා ඉර මුදුන් වන හෝරාවට පමණ ගොන්ගල මුදුනට පැමිණියෙමු. එහි ප්‍රධාන ගල් මුදුන් ත්‍රිත්වයක් වේ. නඩේ ගුරාගේ මග පෙන්වීම යටතේ අපි මුදුන් ත්‍රිත්වයම තරණය කළෙමු.
මුදුන් දෙකක් ඉතා කුඩා වපසරියකින් යුක්ත වූ නිසා වරකට මුදුනකට යන පිරිස් ප්‍රමාණය පිළිබදව තිළිණ අයියා සැලකිලිමත් වූයේය. ගොන්ගල මුදුනට මාතර දිස්ත්‍රික්කය සහ දකුණු පහත්බිම් ප්‍රදේශයේ පුළුල්ව දිස් වේ. බටහිර දෙසින් සිංහරාජ වන අඩවිය වැජබෙනු පෙනේ. ඊසාන දෙසින් රක්වාන කඳු පන්තිය සහ බලංගොඩ ප්‍රදේශය දැක ගත හැකි වේ. එක් වටයක් හිස කරකැවීමෙන් දේශගුණික හා භූගෝලීය විවිදත්ව කිහිපයක් දැක ගැනීමට ගොන්ගල තරණයෙන් අපට හැකි විය. සාපේක්ෂව ඉඩ කඩ යහමින් තිබුණු තුන්වන ගල් මුදුනට ගොඩ වූ කඳු නගින්නන් හතලිස් දෙදෙනාම සමූහ ඡායාරූපය සඳහා පෙනී සිටියහ. ගොන්ගල මුදුනට වී පැයක පමණ කාලයක් අවට සිරි නැරඹූයෙමු. ගිමන් නිවූයෙමු. ඇතැමුන් විහිළු තහළු කරමින් සිනාසෙන විට තවත් අය බැරෑරුම් සංවාදයන්හි පසු වූහ. තවත් අය ගොන්ගල හාත්පස සිය කැමරා කාචයට නතු කර ගැනීමට උත්සුක වූහ.
මුදුනේ සිටි කාලය කිසිවෙකුගේ හෝ කඳු නැගීමේ පිපාසය සංසිදුවීමට ප්‍රමාණවත් නොවුණි. නමුදු ආපසු කන්ද බැස යාමටද වැඩි කාලයක් විඩංගු කළ යුතු නිසාවෙන් පස්වරු 1.30 ට පමණ සුපුරුදු කණ්ඩායම් වශයෙන් ගොන්ගල බැස යාමට සිදු විය. පැයකට පමණ පසුව පෙර දී ගිමන් ගත් නවාතැන්පළටම පැමිණ විඩා නිවන අතරතුර දහවල් ආහාර එම ස්ථානයටම ගෙන්වා ගත හැකි වූයේ යතුරුපැදියක් මගින් එතැනටම පැමිණීමට පහසු වූ නිසාවෙනි. සප්පායම් වී විඩා නිවා විකාශන කුළුණු පරිශ්‍රයේ සේවක පිරිසට නැවත වරක් ස්තූතිවන්ත වෙමින් සවස 3.30ට පමණ පිටත් වූ අපි සවස 5ට ආරම්භක ස්ථානයට පැමිණියෙමු. අන්ධකාර සළුව වෙලා ගෙන නිදන්නට සැරසෙන ගොන්ගල කඳු මුදුන දෙස බලමින් ගොන්ගල තරණයට සමු දී සපිරිවර කටුබැද්ද බලා පිටත් වූහ. අතරමග දී මොරටු කඳු නගින්නන්ගේ ජ්‍යේෂ්ඨ සාමජික පාලිත අයියාගේ නිවසින් අප වෙනුවෙන් රාත්‍රී ආහාරය සූදානම් කර තිබුණි. එයද රසවිඳ පාලිත අයියා සහ පවුලේ පිරිස සමග කතා බස් කරමින් හෝරාවක් පමණ ගෙවා මැදියම් රාත්‍රියේදී විශ්ව විද්‍යාලය පරිශ්‍රයට පැමිණියෙමු. නොසංසිදෙන කඳු තරණ පිපාසය යම් තරමින් සංසිදුවීමට ගොන්ගල මතකයන් ඉතුරු කර ගත් මොරටු කඳු නගින්නන් තවත් තරණයකදී හමුවන තෙක් එකිනෙකාට සමුදුන්හ.
-පද එකතුව
-මධූශ බණ්ඩාර
-19 කණ්ඩායම
-ගොඩනැගිලි ආර්ථික විද්‍යා දෙපාර්තමේන්තුව
-වාස්තු විද්‍යා පීඨය