Loading

Loading...

මධ්‍යම කඳුකරයේ නැරඹුම් අවකාශය - කුකුළා හැඬූ ගල - කුකුළාගල කඳු පන්තිය

Mora hiking club දිනපොත තවත් එක් සොඳුරු මතක සටහනකින් අලුත් කරන්නටයි මේ සුදානම.
වසන්තයකට පෙරමන් තනන වෙසක් මහේ නිරිත දිග මෝසම ආරම්භ වීමට මත්තෙන් 21 වන ඉරුදින අලුයම 2.30 ට මොරටු විශ්ව විද්‍යාලයේ Mora hiking club සාමාජිකයන් 54 දෙනෙකුගෙන් සමන්විත බස් රථය කහතුඩුව අධිවේගී පිවිසුම හරහා කඩවත, අඹේපුස්ස, කෑගල්ල, මහනුවර නගරය හරහා හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ, උඩගලඋඩ ගම්මානය කරා ගමන් ඇරඹුවේය.

ශ්‍රී ලංකාවේ පවතින කඳු පන්ති අතරින් අංශක 360 නැරඹුම් වපසරියක් සහිතව පිහිටා ඇති කුකුළාගල කන්ද නැතිනම් හඟුරන්කෙත කන්ද, දියතලා කන්ද ලෙස හඳුන්වන මෙහි උසම ස්ථානය මුහුදු මට්ටමේ සිට අඩි 1530 කින් පිහිටා ඇත. Summit point එකේ සිට කන්දේ නැගෙනහිර පැත්තට වෙන්නට වික්ටෝරියා ජලාශය/ වේල්ල, රන්දෙනිගල ජලාශය ද බස්නාහිරට වෙන්නට ලූල්කඳුර/ කොන්ඩගල, පිදුරුතලාගල කඳු පන්තිය, හඟුරන්කෙත, රිකිල්ලගස්කඩ ගම්මානය ද දකුණු පැත්තට වෙන්නට මන්දාරම් නුවර, පිදුරුතලාගල කඳු මුදුන ද නැරඹීමට කන්ද තරණය කරන්නෙකුට අවකාශය උදා වේ. නුවරඑළිය සහ මහනුවර දිස්ත්‍රික්ක බෙදා වෙන් කරන මායිමක් සේ සලකන කුකුලාගල කඳු පන්තිය, විල්පස්ස වැවට ඉහලින් අභිමානයෙන් අහස සිඹිමින් සුවිශේෂ පරිසර පද්ධතියක් කඳුකරයට නිර්මාණය කරයි. මේ පරිසර පද්ධතිය ආශ්‍රිතව විශාල සත්ත්ව ප්‍රජාවක් ජීවත් වේ. ඒ අතරින් ශ්‍රී ලංකාවට ආවේණික ආඩම්බර රැවුල්කාරයා හෙවත් කඳුකර කොටියා මේ ප්‍රදේශයේ සැරිසරන බව ගම්මුන්ගෙන් ලද තොරතුරුවලින් දැනගන්නට ලැබුණි. විශාල පයිනස් වගාවක් කන්ද ආවරණය කළත් අතරින් පතර වෙනත් විශාල ශාක දැක ගැනීමට ද හැකි වේ.

ගමන ආරම්භ කර රිකිල්ලගස්කඩ වෙත යන ගමන් මාර්ගය අතරවාරයේදී ද කිහිපදෙනෙකු බසයට ගොඩ වූ අතර උදෑසන ආහාරය සඳහා දිගන නගරයේ අවන්හලක් වෙත ගමන් කළෙමු. එහිදී උදෑසන ආහාරය ගෙන කඳු තරණයට පිරිස සූදානම් වූයෙමු. පසුව විල්පස්ස ගම්මානය කරා ගමන් කරන අතරවාරයේ බෙදා දුන් දහවල් කෑම ද ගෙන උදෑසන 9 ට පමණ කුකුලාගල කන්ද තරණය ආරම්භ කිරීමට ගමනාන්තයෙන් (උඩගලඋඩ ගම්මානය) බසයෙන් පිටතට පැමිණියෙමු.

සුපුරුදු පරිදි Mora hiking club හි සභාපති හා කුකුලාගල ගවේෂණයේ ප්‍රධාන සංවිධායකවරයා සංගමය ගැන මෙන්ම hike එක අතර වාරයේ වියහැකි දේවල් ගැන ද කෙටි සඳහනක් තැබීමට අමතක නොකළේ එදින නව සාමාජිකයන් බොහෝ දෙනෙකු සහභාගි වී තිබූ නිසාවෙනි.

ඉන්පසුව සාමාජිකයින් එකිනෙකා හඳුනා ගත් අතර Mora hiking club හි R & D committee සාමාජිකයෙකු විසින් කුකුලාගල කන්ද ගැන කෙටි සඳහනක් ද තබන ලදී. ඉන් පසුව කුඩා warm-up session එකක් සිදු කල අතර එය hike එක අතරවාරයේ දී ඇතිවන ශාරීරික අපහසුතා මඟහරවා ගැනීමට පිටිවහලක් විය. Hike එක ආරම්භ කිරීමට මත්තෙන් සාමාජිකයන්ගේ ආරක්ෂාව හා පහසුව තකා කණ්ඩායම් නායකයින් සිව් දෙනෙකු යටතේ පිරිස කාණ්ඩගත කෙරූ අතර ගමන අතරවාරයේ සෑමවිටම මුල් කණ්ඩායම සහ අවසාන කණ්ඩායම (head and tail) අතර ගමන් කරනා මෙන් අවධාරණය කරන ලදී.

ගමන ආරම්භයේදී නිවාස කිහිපයකට යන මාවතක් ඔස්සේ වගා කටයුතු සිදුකරන ඉඩම් කිහිපයක් පසු කරමින් කෑලෑව ඇතුලට පිරිස ගමන් කරන ලදී. ගමනේ විඩාව ආරම්භ වීමටත් මත්තෙන් මුණගැසෙන විල්පාසා වැව (විල්පස්ස වැව) කුකුලාගල සුන්දරත්වයට මුලසුන කියාපාන අතර සීත සුළඟකින් ගත කුල්මත් කරයි. දියනෑම සඳහා මේ වැව භාවිතා නොකරන ලෙස මතක් කල යුතුමය. මක්නිසාද යත් මෙය යන්ත්‍ර යොදා හාරා ගැඹුර වැඩිකර වගා කටයුතු සඳහා ජලය ලබාගැනීමට නිර්මාණය කර ඇති හෙයින් අධික ගැඹුරකින් යුක්ත වීමයි. ඉන් පසුව වැව අසලින් කූනන් වත්ත ජිප් පාරට ඇතුල් වී එතැනින් පයිනස් කැලය මැදින් වැටී ඇති අඩිපාර දිගේ ඉහලට ගමන් කළේය. පයිනස් කැලය මධ්‍යයේ දී ගමෙන් විඩාව නිවාගැනීමටත්, දැනුමට යමක් එකතු කිරීමටත් අනතුරකට පත්වූ පුද්ගලයෙකුට උරමාව යොදන ආකාරය පිළිබඳව අවබෝධයක් Mora hiking club හි health committee එක මගින් ලබාදුන් අතර එය අනුගමනය කරමින් සියලු දෙනා එය අත්හදා බැලීය.

පසුව පයිනස් කැලය මැදින් වැටී ඇති මාර්ගයේ නැවත ගමන් කළෙමු. එය සීග්‍ර නැග්මක් සහිත ලිස්සන සුලු සහ කුඩා ප්‍රමාණයේ ගැලවී යන ගල් සහිත තරමක් දුශ්කර මාර්ගයක් වේ. මේ ප්‍රදේශය තරමක් වියලි ස්වභාවයක් ගත්ත ද කූඩැල්ලන්ගෙන් අඩුවක් නොවීය. ප්‍රදේශයට ඇදහැලෙන වර්ෂාවත්, කලකින් කුකුලාගල තරණයට කඳු නගින්නන්ගේ අවධානය ලක්නොවීමත් නිසා මාර්ගයේ දෙපස මාන, වල් පැළෑටි පාරට වැටී මාර්ගය අසීරු වීමට මෙන්ම මාර්ගය සොයාගැනීමට පවා නොහැකි තැන් කීපයක් පසු කීරීමටත් විකල්ප මාර්ග සොයා ගැනීමටත් ගමනේ ඉදිරිපස ගමන් කල පලපුරුදු කඳු තරණය කරන්නන් දෙදෙනාට සිදුවිණි.

ඉවක් මෙන් දැනෙන ඔවුන්ගේ නිවරදි මාර්ග ඔස්සේ ගිය අපට මුලින්ම මුණගැසෙන්නේ කුකුලාගල කඳු මුදුනයි. කුකුලෙක් පැමිණ හැඬලූ ගල නිසා කුකුලාගල ලෙස හඳුන්වන බව ගම්මුන්ගෙන් දැනගන්නට ලැබුණි. මේ කඳු මුදුනෙන් ඉදිරි මූණතට පල්ලම් බැසීමේදී සොයාගැනීමට අපහසු අඩි පාරක සලකුනු ඇත. ඒ අඩිපාර දිගේ පහලට බැසීමේදී විශාල ප්‍රමාණයේ උමගක් ඇති ගල් ගුහාවක් දැකිය හැක. මේ ගල්ගුහාව අතීතයේ හඟුරන්කෙත දක්වා විහිදී තිබූ බවත් මේ වනවිට එය වැසීගොස් ඇති බවත් ගම්මුන් පවසයි. මේ ගුහා බිත්ති තුල විදේශික මිනින්දෝරුවන් පැමිණ තැබූ සටහන් දක්නට ලැබෙයි. දිනවකවානු සහිතව ඔවුන්ගේ නම් මේ තුල සටහන් කර ඇත. ගුහාවෙන් නැවතත් පයිනස් කැලයට පිවිසුන අප ඊලඟ කඳු මුදුන බලා පිටත්විය.

ඒ කොඩියගල කඳු මුදුනයි. මෙතැනට පිවිසීමට විශාල ගල්කුලු දෙකක් අතරින් දුශ්කර ගමනක යෙදීමට සිදුවුණි. එකෙකු මත එකෙකු සහයට වී කඹය සහ දෑත් ආධාරයෙන් සියලු දෙනා හට මනරම් කඳු මුදුන පෙන්වීමට උත්සහ ගත්තේ සුන්දරත්වය දැකගැනීමට Mora hiking club හි සාමාජිකයන්ගේ ඇති සහෝදරත්වය හා සහයෝගය මැනවින් පසක් කරමිනි. දුශ්කර වූ නමුත් මුදුනට පිවිසුන විට දකින්නට ලැබෙන දර්ශනය ගමනේ දුශ්කරතා සහ මහන්සිය අමතක කරදමයි. එක් පසකින් වික්‍ටෝරියා ජලාශය ද අනෙක් පසින් රන්දෙනිගල සහ රන්ටැඹේ ජලාශ ද මහනුවර සහ නුවරඑළිය යන ප්‍රදේශ ද මෙම ස්ථානයට දර්ශනය වේ.

දිවා ආහාරය එතැන සිට ගත් අප එකිනෙකා සමඟ ජායාරූපකරණයට හා සංවාදයට යොමු වෙමින් කාලය ගත කරන විට හිටිහැටියේම ඇදහැලුනු මීදුම් තත්වය හා ඒ සමඟ ඇතිවූ වර්ෂාපතනය සමඟ ගමන සුන්දර හා දුශ්කර වන්නට විය. පසුව වර්ෂාව මධ්‍යයේම එකිනෙකාගේ සහයෝගය පතමින් අභියෝග රැසක් මධ්‍යයේ විල්පස්ස ගම්මානය කරා පියමන් කිරීමට ගමන් ඇරඹුවෙමු. පයිනස් කැලෑව මැදින් පිහිටා තිබූ මාවත ලිස්සන සුලු වීමත්, බෑවුම වැඩි වීමත් නිසා එකිනෙකාගේ සහයෝගය මැද සියලු දෙනාම ආරක්ෂිතව නැවත බස් රථය වෙත පියමන් කලේ , තවත් එක් සාර්ථක කඳු තරණයක මතකය Mora hiking club එකට එකතු කරමිනි.

ඉන් පසුව මොරටුව විශ්ව විද්‍යාලය බලා ගමන් ඇරඹූ අප අතරමගදී Mora hiking club සොයුරෙකුගේ නිවසින් ලබාදුන් තේ පැන් සංග්‍රහය භුක්ති විඳ, ඔහුගේ නිවැසියන් විසින් කල සත්කාරයට ද ස්තූති කරමින් දිගන නගරයෙන් රාත්‍රි ආහාරය ලබාගෙන ගමනාන්තය (මොරටුව විශ්වවිද්‍යාලය) කරා පියමැන්නෙමු.
අවසන කීමට ඇත්තේ මෙපමණකි, 'ඔබ සොබාදමේ සුන්දරත්වය විඳිනවානන් ඔබ රැගෙන යන කිසිවක් එහි නොදමන්න. කඳුකරයට අවශ්‍ය සුන්දරත්වය සොබාදහම විසින් තිලිණ කොට ඇත. එයට එක් කිරීමට දෙයක් ඇත්නන් ඒ ඔබේ මතකය හා මිනිස්කම පමණි '.

සටහන:
ලකේන්ද්‍ර ප්‍රියනාත්
20 කණ්ඩායම
ව්‍යාපාර පීඨය

657 0
Created : Jun 8, 2023 02:05pm
Last updated : May 1, 2024 12:01am