Loading

Loading...

ලූල්කඳුර වතුයායේ පිහිටි කොන්ඩගල

මෙය නුවර දිස්ත්‍රික්කයේ, ලූල්කඳුර වතුයායේ මුහුදු මට්ටමේ සිට මීටර 1400කින් පිහිටි සුන්දර කඳු මුදුනකි. මොරටු විශ්වවිද්‍යාලීය කඳුනගින්නන්ගේ සංගමය විසින් කොන්ඩගල කඳු තරණය සදහා 2023 වසරේ ජුනි මස 18 වන දින විශ්වවිද්‍යාලය අසලින් පෙ.ව. 2.30 ට පමණ ගමන ආරම්භ කරන ලදී. සුපුරුදු පරිදි අතරමග ස්ථාන කිහිපයකින් සාමාජිකයන් එකතු කරගත් අපි පැය 3ක පමණ වේගවත් ගමනකින් අනතුරුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ළගා වූ අතර, එහිදී අපගේ ප්‍රණීත උදෑසන ආහාරය ලබා ගෙන නැවතත් අපගේ කඳු මුදුන් ගවේශනය සදහා චාරිකාව ආරම්භ කළෙමු.

පේරාදෙණිය හරහා ගලහ-දෙල්තොට පාරේ කි.මී. 32 ක් පමණ වූ සුන්දර වටපිටාවක් සහිත පටු දුෂ්කර ගමනකින් අනතුරුව ලූල්කඳුර තේ වතුයායට ළගා වීමට අපට හැකිවිය. වෙනදා මෙන්ම ගමන ආරම්භයට පෙර ගවේශනයට සම්බන්ධ වන පැරණි හා නව සාමාජිකයන් හදුනා ගැනීමෙන් අනතුරැව, උදෑසන 10.30 ට පමණ කඳුපාමුලින් ගමන් ආරම්භ කරන ලදී.

ගමන ආරම්භයේ සිට අප හට දිස් වූ ඈතින් පෙනෙන දර්ශනීය කඳුවැටි වලින් සමන්විත නීල පරිසරය ගමනේ විඩාව සංසිදුවීමට හේතු විය. තරමක් පුළුල් වංගු වලින් හෙබි මාර්ගය ඔස්සේ ඉදිරියට ගමන් ගත් අපට ඉමක් කොනක් නොපෙනෙන ඉතා සාරවත් ලූල්කඳුර තේ වතුයායට අවතීර්ණ වීමට හැකියාව ලැබුණි. ගමන් මාර්ගය පුරාවටම දිස් වන කලුගල් තලාවකින් හෙබි යෝධ කොන්ඩගල කඳුමුදුන අපට නිතැනින්ම ගෙන ආවේ ගවේෂණය කෙරෙහි වූ මහත් කුතුහලය මුසු දිරිගැන්වීමකි.



ලූල්කඳුර වතුයායේ විශේෂත්වය නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම වාණිජ තේ පැළය ජේම්ස් ටේලර් විසින් 1867 වසරේදී රෝපණය කරවූයේ මෙහි වීමය. චාරිකාව අතරමගදී ජේම්ස් ටේලර් විසින් පරිහරණය කරන ලද පොකුණද දැක ගැනීමට භාග්‍ය ලද අපි නැවතත් සරුසාර තේ වතු මැදින් ගමන් ගත්තෙමු.

ඉන්පසුව කි.මී.8ක් පමණ දිගු වූ නමුත්, විඩා නොදැනෙන සුන්දර ගමනකින් අනතුරුව ප.ව.12.30 පමණ වන විට කොන්ඩගල කඳු මුදුනට ලගා වීමට අපට හැකිවිය. කඳු මුදුනට ලගා වූ අපට දැකගත හැකි වූයේ අතිශය මනස්කාන්ත වූ දර්ශනයකි. ඒ අංශක 360ක දර්ශන පථයකින් හෙබි, පටු දිගටි හැඩයෙන් යුතු ක්ෂිතිජ මායිම දක්වා දිවෙන අලංකෘත වපසරියකි. කඳු මුදුනේදී ඈතින් හුන්නස්ගිරි, නකල්ස්, බ්‍රැන්ඩිගල, පිදුරුතලාගල, හන්තාන කඳුවැටි මෙන්ම වික්ටෝරියා ජලාශයද දර්ශනය වේ. නමුත් එදින පැවති ඝන මීදුම් පටලය එම දර්ශන පථයට තරමක බාධාවක් ගෙනදෙන්නක් විය.

ඳුමුදුනේදී දිවාආහාරය මෙන්ම, අලංකාර පරිසරය හා මුසු ඡායාරූපකරණයේද නිරත වීමට අපහට අවස්ථාව ලැබුණි. එමෙන්ම එහිදී වලාකුළු වලට මැදිව, ඝනමීදුමේ සීතලෙ ගැහෙමින් නැවුම් ආස්වාදයක් විදීමට සියලු දෙනාටම හැකිවිය. ඉන්පසු නැවතත් කඳුපාමුල වෙත ලගාවීමේ ගමනේදි 'ජේම්ස් ටේලර් අසුන' වෙතද ලගා වූ අපි එහිදී දිස්වන ලූල්කඳුර වතුයායේ මෙන්ම කඳුවැටිවල දර්ශනයන්ගෙන්ද මන්මත්ව මද වේලවක් රැදීසිටීම ඉමිහිරි අත්දැකීමක් විය.


නැවතත් මීදුම මැදින් ආපසු ගමන ඇරඹූ අපි, එකතු කරගත් මගදෙපසදී හමු වූ නොදිරන කසල සමග පහලට බැස්සේ ගවේෂණ චාරිකාව කෙරෙහි වූ මහත් පිවිතුරු සිතකිනි. පසුව කොන්ඩගල කඳුපෙදෙස හරහා ගලන දිය දහරින් දිය නා බඩඉරිගු අනුභව කිරීමද ආශ්වාදජනක අත්දැකීමකි. ආපසු පැමිණෙන අතරතුර පිළිමතලාව ප්‍රදේශයෙන් රාත්‍රී ආහාරය ලබාගත් අප රාත්‍රී 1.00ට පමණ ආරක්ෂිතව නැවතත් අපගේ විශ්වවිද්‍යාල පරිශ්‍රයට ලගා වූයේ සදා නොමැකෙන පාරිසරික සුන්දරත්වයක් කැටිකරගත් අපූර්ව මතක පෙළක් සමගිනි.

සටහන: චමෝදි තශ්මිලා
20 කණ්ඩායම
වාස්තු විද්‍යා පීඨය

594 2
Created : Jun 28, 2023 10:46am
Last updated : May 1, 2024 04:17am

SAA Dharmasiri

July 7th, 2023 - 5:42AM

Great !

Ranuja Bandara

July 7th, 2023 - 6:02AM

Good Job !