Loading...
මාදුරු ඔය මිටියාවතේ හිටිවනම අහස උසට නැගෙන දානිගල කන්ද නොහොත් දනවානා පර්වතය උතුරු මැද පළාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අරලගංවිලට නුදුරින් වූ කන්දෙගම ගම්මානයේ පිහිටා ඇත. මෙහි වූ විශ්මය දනවන සුලු අතීත පුරාවෘත්ත කතා හා ඉහළින් බැලූ කල පෙනෙන සිත්ඇදගන්නා සුළු වූ වෘත්තාකාර අද්විතීය හැඩය නිසාවෙන්ම සොබාදහමට ඇලුම් කරන්නන්ගේ අවධානයට පාත්‍ර වේ.
ඒ හේතුව නිසාවෙන්ම මොරටුව විශ්ව විද්‍යාලයේ කඳු නගින්නන්ගේ සංගමයේ සාමාජිකයන් වන අප ජුලි මසට අදාල කඳු තරණය සැලසුම් කරන ලද්දේ මෙම දානිගල කන්ද කේන්ද්‍ර කොට ගෙනය. එහෙයින් 2023 ජුලි 23 ඉරු දින අලුයම 1.30ට පමණ මොරටුව සරසවියෙන් පිටත් වූ අපි පෙරවරු 7 පමණ වන විට මින්නේරිය ගම්මානයට ළඟා වී එහි පිහිටි මින්නේරිය ත්‍රිවිධ හමුදා වෙළෙඳසලින් උදෑසන ආහාරය ලබාගත්තෙමු. නැවතත් ගමන ආරම්භ කළ අප පැය එකහමාරකට පමණ පසුව දානිගල පාමුල කන්දේගම කන්ද ලෙන් විහාරයට ළඟා විය.
මෙම දානිගල කන්ද නොහොත් කන්දේගම කන්ද සම්බන්ධ ඉතිහාසය ක්‍රිස්තු පූර්ව 3 වන සියවස පමණ දක්වා දිව යන්නකි. ජනප්‍රවාද වලට අනුව මෙහි පිටසක්වල ක්‍රියාකාරකම් දක්නට ලැබී ඇත. එහෙයින් මෙය පිටසක්වල කන්ද යන අන්වර්ථ නාමයෙන් ද හඳුන්වයි. ඊට අමතරව ඈත අතීතයේ රාවණා රජුගේ යානය වන දඬුමොණරය මෙහි ගොඩ බස්වා ඇත. ඒ හේතුවෙන් මෙම ස්ථානය රාවණා රජුගේ තරු දොරටුව ලෙස හැඳින්වූ බව ගම් වාසීන් අතර ප්‍රචලිත මතයකි.
කඳු තරණය සඳහා විහාරයේ නායක ස්වාමීන් වහන්සේගෙන් අවසර ගත් අප එකිනෙකා හඳුනාගැනීමෙන් අනතුරුව සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයන් ලබාදුන් උපදෙස් සිහි තබා ගනිමින් ගමන ආරම්භ කලේ විහාරස්ථානයෙන් ලබාදුන් මග පෙන්වන්නෙකුගේද මූලිකත්වයෙනි. සුන්දර වනපෙත මැදින් වැටී ඇති ගිරිදුර්ග ඔස්සේ කන්ද තරණය කරන අතරතුර අපට කටාරම් කොටන ලද ගල්ගුහා සංකීර්ණයක සැතපෙන බුදු පිළිමයක් සහ පිළිම කිහිපයක්ම දක්නට ලැබුණි. අක්‍රමවත්ව ඇතිරූ ගල් පර්වත වලින් සැදුම් ලත් මාර්ගය ඔස්සේ ගමන් කිරීමට සිදුවීම අභියෝගාත්මක මෙන්ම වෙහෙසකර කර්තව්‍යයක් විය. සාමාන්‍ය කඳු තරණයකදී මෙන් නොව ශුෂ්ක පරිසරය හේතුවෙන් කඳු මුදුනට ළඟාවන තෙක්ම විඩාව සහ පිපාසය සංසිඳුවා ගැනීමට අපට එකදු දිය දහරාවක්වත් මුණනොගැසුනි. එහෙයින් අපහට අප රැගෙන ගිය ජල බෝතල් වලින් පමණක් සෑහීමකට පත්වීමට සිදුවුණි. මාර්ගය අතරමග පිහිටි ගල් පතුරු මත හිඳගත් අපි රැගෙන ගිය ප්‍රණීත දිවා ආහාරය ද ලබා ගැනීමට අමතක නොකළෙමු.
ගිරිදුර්ග මතින් දිවෙන මාර්ගය ඔස්සේ ගමන් කර හෝරා දෙකකින් පමණ අනතුරුව කඳු මුදුනට ළඟා වීමට අපට හැකි විය . මුහුදු මට්ටමේ සිට අඩි 919 ක පමණ උසින් පිහිටි මෙම දානිගල කඳු මුදුනෙහි සිට එහි දර්ශන පථය විමසිල්ලෙන් නිරීක්ෂණය කරන විට පඹුරුගල, අමුණුගල, හික්කාගල සහ හේනානිගල යන කඳු සතර දැකගත හැකිය. එමෙන්ම මනරම් වූ මාදුරු ඔය ජලාශය ද දැක ගත හැකිය. පර්වතය මුදුනට අධික හිරු රශ්මියක් පතිත වුව ද වේගවත් වියළි සුළං ධාරා අපගේ වෙහෙස නිවාලන්නට සමත් වුණි.
සන්ධ්‍යා වන විට මෙම ප්‍රදේශයේ වන අලි ගැවසෙන හෙයින් ඊට පෙර කඳු පාමුල වෙත ළඟා වීමේ අරමුණ ඇතිව අපි නැවතත් ආපසු ගමන ආරම්භ කළෙමු. අතරමගදී හමුවුණු සිසිල් දිය දහරාව අධික විඩාවට පත්වී සිටි අපට මහත් පිටුවහලක් විය. පස්වරු 5 පමණ වන විට කඳු තරණයේ නිමාව දැක ගත් අප, ඉන්පසුව අසල වූ ජලාශයකින් දිය නෑම ගතට සිසිලස ලබාදුන් අපූරු අත්දැකීමක් විය. ඉන්පසුව නැවතත් බස් රථයට ගොඩවූ අප විශ්ව විද්‍යාලය කරා පැමිණීම ආරම්භ කළ අතර ගිරිතලේ ප්‍රදේශයේ වූ අවහන්හලකින් රාත්‍රි ආහාරය ලබාගෙන අලුයම 1.30ට පමණ වන විට ආරක්ෂිතව නැවතත් විශ්වවිද්‍යාල පරිශ්‍රය කරා ළඟා වූයේ කිසිදා නොමැකෙන අපූරු අත්දැකීම් සහ මතකයන් ගොන්නක් පොදි බැඳ ගනිමිනි. ඓතිහාසික වටිනාකමකින් සමන්විත වූ පාරිසරික වටිනාකමින් අනූන සොබාදහමේ අපූර්වතම නිර්මාණයක් වූ දානිගල කන්ද තරණය කිරීමට පැමිණෙන ඔබ, පියසටහන් පමණක් ඉතිරි කොට අපූරු මතකයන් හා සේයාරූ පමණක් රැගෙන ඒමට සිහිතබා ගැනීම අගනේය.
සටහන:
ඩිමල්ෂා මධුෂානි සහ පසන් මධුරංග
21 කණ්ඩායම
පරිඝණක විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුව