Loading

Loading...

දෙතනගල තරණය

සුන්දර සමනල රක්ශිතයට හා හෝර්ටන්තැන්නේ කෙලවරට මායිම්ව රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ ප්‍රදේශයේ පිහිටා ඇති මේ සුන්දර නිවුන් කදු මුදුන් දෙක කාන්තාවකගේ පියයුරු දෙකක් ආකාරයට දිස්වන නිසා ඈත අතීතයේ සිට ජන වහරේ මෙය දෙතනගල නමින් හදුන්වනු ලැබේ. මුහුදු මට්ටමේ සිට පිලිවෙලින් 1837m හා 1858m උසකින් මෙම අලංකාර නිවුන් කදු මුදුන් දෙක පිහිටා ඇත


ඉතා දුශ්කර කදු තරණයක් වුවද ගමනාන්තයේ දක්නට ලැබෙන ඉතා සුන්දර වූ දර්ශනය හේතුවෙන් කදු නගින්නන්ගේ නිරන්තර අවදානයට මෙම කදු මුදුන් ලක්ව ඇත. එබැවින්ම අප, මොරටුව විශ්ව විද්‍යාලයීය කදු නගින්නන්ගේ සංගමයේ සමාජිකයින් නිකිනි මස කදු තරණය දෙතනගල නොහොත් 'දෙදනගල' නිවුන් කදු මුදුන් කේන්ද්‍ර කොට ගෙන සැලසුම් කරන ලදී. කදු සංචාරකයන්ගේ තවත් එක් නැවතුම්පලක් සදහා ගමන් අරභමින් කණ්ඩායමේ සාමජිකයින් 54 දෙනා අලුයම 3ට පමණ මොරටුව සරසවියෙන් බස් රථයට ගොඩ වුනෙමු. පැය 3.30ක පමණ වේගවත් ගමනකින් අනතුරුව ඕපනායක හෙළබොජුම් හලෙන් උදෑසන ආහාර ලබා ගත් අප පෙ.ව 7.30ට පමණ ගමනාන්තය බලා ගමන් ඇරඹුවෙමු. හෝරා දෙකකට පමණ පසු මාරතැන්නට ලගා වූ අපට එතැන් සිට පාර පටු වීම කදු පාමුල තෙක් බස් රථයෙන්ම යාමට බාධකයක් විය. එබැවින් 2km කට ආසන්නව කදු පාමුල තෙක් දිග හැරුනු කොන්ක්‍රීට් මාවත ඔස්සේ අපි කණ්ඩායම පිය සටහන් තැබුවෙමු. කදු තරණය ඇරඹීමට මත්තෙන් වෙනදා මෙන්ම ජේශ්ඨ සාමජිකයින් මෙන්ම නව මුහුණු හදුනාගැනීමද, දෙතනගල කන්ද පිලිබද කෙටි හැදින්වීමක්ද සිදුකෙරුණු අතර ඉන් අනතුරුව ශාරීරික යෝග්‍යතාව සදහා කෙටි ව්‍යායාම් මාලාවක්ද සිදු කෙරුණි



ජේශ්ඨ සාමජිකයින්ගේ උපදෙස් මධ්‍යයේ හා කදු පාමුල සිටින නිවැසියන්ගේ ආශීර්වාදයද කැටුව කදු තරණය ආරම්භ කල අප, අපගේ ආරක්ශාව සහ කදු තරණයේ පහසුව උදෙසා මුල, මැද, අග ලෙස කණ්ඩායම් ගතවීමටද අමතක නොකලෙමු. උද්‍යෝගිමත් ලෙසින් කදු තරණය ඇරඹූ අපට කදු තරණය ආරම්භයේදීම දෙතනගල කන්දේ දුශ්කරභාවය ගැන ප්‍රශ්නාර්තයක් පැන නැගුනි. නමුදු කණ්ඩායම් සාමාජිකයින් සමග රසබර කතා තෙපලමින් ගිය අපට ගමනේ විඩාබර ගතිය නොදැනුනි. කදු තරණය අතරතුරදී හමුවූ සිහිල් ජල ධාරාවන් කිහිපයකින් පිපාසය සංසිදුවා ගත් අපට කදු තරණය මධ්‍යයේදී ආනතිය අංශක 90ක් පමණ තරමක් අභියෝගත්මක ස්ථාන කිහිපයක්ද හමුවිය. අපගේ ජේශ්ඨ කදු නගින්නන්න්ගේ අත්දැකීම් උපයෝගී කරගනිමින් ලණු ආධාරයෙන් එම අභියෝගාත්මක ස්ථානයන්ද පසු කලෙමු.


කි.මී 5ක් පමණ දිගු දුශ්කර ගමනකින් අනතුරුව කදු මුදුනට ලගා වන විට දිස්වූ ඒ මනස්කාන්ත දර්ශනය, තිබූ විඩාව අතුරුදහන් කරවූයේ ගතටද නොදැනිමය. මුලින්ම අප ලගා වූයේ දෙතනගල කන්දේ වම්පස කදු මුදුනට වන අතර මුලු අහස් තලයම නිල් පැහැයෙන් වර්ණ ගැන්වී තිබූ අයුරු වචනවලින් කියා නිමකල නොහැකි තරම්ය. කදු මුදුනට ලගාවන විට දැඩි අව් රශ්මියක් පැවතුන අතර අපි කදු මුදුනේ සිටම අපගේ දිවා ආහාරය ගත්තෙමු. ගතවූයේ අඩ හෝරාවක් පමණි, තිබූ අව් රශ්මිය අතුරුදහන් වී සිසිල් සුලගක් ගත දවටා ගත් අතර කදු මුදුනටද මීදුම පතිත විය. වම් කඳු මුදුන නිරීක්ෂණය කිරීමේදී ලංකා ඇල්ල සහ වංගෙඩිගල කදු පන්තිය දැක ගත හැකිවේ. වම් කදු මුදුනේ සුලු වෙලාවක් ගත කිරීමෙන් අනතුරුව අප සියලු කණ්ඩායම් සාමාජිකයින් දකුණු කදු මුදුනටද ලගා වීමටද තීරණය කරගත්තේ කාලයද අපට හරස් වී පැවති අවස්ථාවකය.


පැවති දේශගුණය සහ දකුණු කදු මුදුනට ලගා වීමට තිබූ නොඉවසිල්ල මත්තෙන් වේගවත්ව පිය සටහන් තබමින් දකුනු කදු මුදුන වෙතද ලගා වූ අප එහි පවතින සුන්දරත්වයද විදගත්තෙමු. දකුනු පස කදු මුදුනේදී තරමක් මීදුමෙන් වැසුනු දෙතනගල වම් කදු මුදුනද
හෝටර්න් තැන්නද දැක බලාගත හැකිය.


අනතුරුව අප පහලට ගමන් ඇරඹීමට පටන් ගත්තෙමු. එයද තරමක් කටුක වූයේ ලිස්සන සුලු බව හා කාලයේ හරස් වීම හමුවේ කෙමෙන් කෙමෙන් අදුරද වෙලාගත් බැවිනි. නමුත් එම අභියෝග හමුවේ කණ්ඩායම් සාමාජිකයින් සියලු දෙනා ප්‍රවේශමින් ගමනාන්තයට ලගාවූ අතර බස් රථයට ගොඩ වී නැවත විශ්වවිද්‍යාලයට පැමිණීමට ගමන ආරම්භ කලෙමු. රාත්‍රී 8ට පමණ රාත්‍රී භෝජනය සදහා බස් රථය නතර කල අතර රාත්‍රී භෝජනයෙන් අනතුරු ආරක්ශාකාරීව අලුයම 1ට පමණ සියල්ලෝම විශ්වවිද්‍යාලය කරා ලගා වූයේ අමතක නොවන ත්‍රාසයජනක ඉතා සුන්දරවූ මතක ගොන්නක් සිත තුල ගුලි කර ගනිමිනි.


සටහන:-
සදරු ලොකුදඩල්ල සහ සෙනුමි මනම්පේරි
21 කණ්ඩායම
ඉලෙක්ට්‍රොනික හා විදුලි සංදේශ දෙපාර්තමේන්තුව/ සිවිල් දෙපාර්තමේන්තුව

697 0
Created : Aug 19, 2023 01:04pm
Last updated : Dec 26, 2024 10:10pm