Loading

Loading...

දිය ඇලි තරණයේදී යොදාගන්නා ආරක්ෂක විධිවිධාන

- සඳුන් ඇල්ල දිය ඇලි තරණය -


අධික වර්ෂාවේ මියුරු
ලාලිත්‍යයට සවන් යොමුකරමින් උණුසුම් කෝපි කෝප්පයක් තොල ගාමින් මේ සැරසෙන්නේ මා ලැබූ සුන්දර අත්දැකීමක් කරා ඔබව මනෝමයෙන් කැටුව යන්නයි.

එදා සුන්දර ඉරු දිනක්. Mora Hiking Club සාමාජිකයන් රැගත් බස් රථය උදෑසනින්ම පිටත් වන්නේ කිතුල්ගල සඳුන් ඇල්ල වෙතයි. පෙර දින කිහිපයේ සැලසුම් කරගත් පරිදි සැවොම මේ සැරසෙනුයේ දිය ඇලි තරණය සඳහායි.
දිය ඇලි තරණය එහෙමත් නැතිනම් 'Waterfall Abseiling / Waterfall Rappelling' යන නම් වලින් හඳුන්වන මෙම ත්‍රාසය මුසු විනෝදාත්මක ක්‍රියාකාරකම සඳහා යමෙකු තුළ යම් ආත්ම විශ්වාසයක් සහ නව අභියෝග වලට මුහුණ දීමේ දැඩි කුතුහලයක් තිබිය යුතුයි. දිය ඇල්ලෙන් පහලට ඇද හැලෙන සුන්දර දිය පහර කපාගෙන දිය ඇල්ලේ ඉහල සිට යම්තාක් ආනත පෘෂ්ඨයක් හරහා කඹයක් ආධාරයෙන් පහලට බැසීමේ ක්‍රියාකාරකම දිය ඇලි තරණය යනුවෙන් අර්ථදැක්විය හැකියි. මේ සඳහා මනා පුහුණුවක් සහ අත්දැකීමක් හිමි පාර්ශවයකගේ මෙහෙයවීම හාමගපෙන්වීම සැබවින්ම අත්‍යවශ්‍යයි. ප්‍රමිතියෙන් යුතු උපකරණ හා මෙවලම් භාවිතය මෙවැනි ක්‍රියාකාරකමකදී විශේෂයෙන් ම සැලකිල්ලට ගත යුතුම දෙයකි.

මේ වසරේදී සඳුන් ඇල්ල දිය ඇලි තරණය සඳහා 'The Marvel Sri Lanka' යන adventure company මඟින් ලබාදුන් උපදෙස් හා මගපෙන්වීම යටතේ සාර්ථකව නිම කරගැනීමට අපට හැකි විය. මෙම ක්‍රියාකාරකම ආරම්භයට ප්‍රථමව එම සමාගමේ නියෝජිතයන් කිහිපදෙනෙකු මගින් අප සංගමයේ සාමාජිකයන් හට එදින කිරීමට යන ක්‍රියාකාරකම පිළිබඳව උපදෙස් රැසකින් අපව දැනුවත් කෙරුණි. මූලික පුහුණුව ලෙස සාමාජිකයන්ගේ කණ්ඩායම් හැඟීම වැඩිදියුණු කිරීම උදෙසා ක්‍රියාකාරකමක් ද සිදු කරන ලදි.

ඉන් පසුව ඔවුන් විසින් දිය ඇලි තරණය කිරීමේදී කිරීමට අවශ්‍ය හා අනවශ්‍ය දේ ගැන මූලික අවබෝධයක් ලබා දෙන ලදි. මෙම ක්‍රියාකාරකමේදී ප්‍රධාන වශයෙන් ම තමාගේ මෙන්ම අන් අයගේ ද ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් වියයුතු වේ.

කුඩා hike එකක් අවසන දිය ඇල්ල මුදුනට පැමිණි අප හට "The Marvel Sri Lanka" කණ්ඩායම විසින් දිය ඇලි තරණය සඳහා භාවිතා වන උපකරණ පිළිබඳ මනා අවබෝධයක් ලබා දුන් අතර ඒවා නිවැරදි අයුරින් හසුරුවන ආකාරය පිළිබඳව ද පැහැදිලි කරදෙනු ලැබුවා.

මෙහි පළමු පියවර වන්නෙ පටි, හිස්වැසුම් සහ වෙනත් ආරක්ෂිත ආම්පන්න මගින් ඔබේ ආරක්ෂාව තහවුරු කිරීමයි. Abseiling සඳහා යොදාගන්නා උපකරණ අතර; පටි (harness), ලණු (ropes), කැරබිනර් (carabiners) සහ බැසීම් (descenders) ඇතුළත් වේ. මෙම මෙවලම් මගින් abseiling කරන්නන්ට ඔවුන්ගේ බැසීමේ වේගය පාලනය කිරීමටත් ක්‍රියාකාරකම පුරාවටම ආරක්ෂාව සහ සුවපහසුව පවත්වාගැනීමටත් හැකියාව සලසයි.


Abseiling කරන්නා තුළ හොඳ අවධානයක්, සමබරතාවයක් සහ නිරවද්‍ය චලනයක් තිබීම අවශ්‍ය වේ. මෙම ක්‍රියාකාරකමේ සුන්දරත්වය රඳා පවතින්නේ නිස්කලංක,
විස්මයජනක පරිසරයක් තුළ සිත්ඇදගන්නා දසුන් මෙන් ම භයංකර සිරස් බාධකයන් ජය ගනිමින් පහලට බැසයන විටදී ය.

දිය ඇලි තරණය සඳහා ප්‍රධාන වශයෙන්ම යොදාගනු ලබන්නේ පටි (harness), ලණු (ropes), කැරබිනර් (carabiners), බැසීම් (descenders), හිස් ආවරණ (helmets), ජීවිතාරක්‍ෂක කබා (lifesaving jackets), අත් ආවරණ (glouse) යන උපකරණයි. ක්‍රියාකාරකම කිරීමට ප්‍රථමව ජීවිතාරක්‍ෂක කබාය සහ හිස් ආවරණය තමන්ට පහසු ආකාරයට නමුත් ලිහිල් නොවන ලෙසට සකසා ගැනීම කළ යුතුයි. Abseiling කිරීම අතරවාරයේදී ලිස්සීමකට ලක්වුවහොත් හිසට/මුහුණට සිදුවන හානිය වැලැක්වීමට හිස් ආවරණයත්, දිය ඇල්ල පාමුල ගැඹුරු ජලයේ ගිලීමේ අවධානම නැති කිරීමට ජීවිතාරක්‍ෂක කබායත් නිසි ලෙස පැළදීම කලයුතු වේ. ජීවිතාරක්‍ෂක කබායක් මගින් වරකට ආසන්න 200kg ක බරක් ඉසිලිය හැකි අතර පැය 24 ක් ජලයේ පාවෙමින් සිටිය හැකි වේ. එබැවින් ඔබට කිසිඳු බියකින් තොරව මෙම ක්‍රියාකාරකම සිදුකළ හැකිවේ.


ඉන් අනතුරුව අනෙකුත් උපකරණ නිසිලෙස සවිකිරීමෙන් දිය ඇලි තරණයට අවශ්‍ය ආරක්ෂාව සපයාදිය හැකි වේ. Abseiling කිරීමට ප්‍රථමව ආම්පන්න නිසි ලෙස සවි වී ඇති ද යන්න නැවත වරක් පරීක්ෂා කරගැනීම කලයුතු වේ.

ආරක්‍ෂක කඹය මගින් දිය ඇලි තරණය කරන්නාගේ ආරක්ෂාව තවදුරටත් සහතික කළ හැකිය. Abseiling කරන්නා අතින් rope එක අතෑරුන ද ආරක්ෂක කඹය මගින් ඔහුව තදින් එම ස්ථානයේම රඳවා ගනුලැබේ. තවද abseiling කරන දිය ඇල්ලේ දිය සෙවළ බැදී ඇති ලිස්සා යන සුළු ස්ථාන හමුවිය හැකිය. එබැවින් හොඳ රබර් grip එකක් සහිත සපත්තු යුගලක් පැළඳීම අනිවාර්යයෙන්ම කළයුතු වේ. සපත්තු රහිතව abseiling කිරීම අනතුරුදායක ක්‍රියාවක් වන අතර යම් දැනමුත්තෙකුගේ මෙහෙයවීමෙන් කරන abseiling එකකදී ඔබට සපත්තු රහිතව හෝ සෙරෙප්පු පැළඳ abseiling කිරීමට කිසිසේත් ම ඉඩ නොදෙනු ඇත.

Abseiling කරන දිය ඇල්ලේ පාමුල පිහිටා ඇති තටාකය බොහෝ ගැඹුරු එකක් වේ. ශතවර්ෂ ගනනාවක සිට දිය ඇල්ලේ ජල දහර කඩා වැටී දිය ඇල්ල පාමුල ගැඹුරු ජල තටාකයක් නිර්මාණය වී තිබේ. එබැවින් එහි නොගිලී සුවසේ පාවී සිටීමට ජීවිතාරක්‍ෂක කබා බෙහෙවින් උපකාර වේ. හිස් ආවරණ හා ජීවිතාරක්‍ෂක කබා නිරතුරුව පැළඳ සිටින්නෙ නම් දිය තටාකයේ දී සිදුවිය හැකි සුලු අනතුරු පවා වළක්වා ගත හැකි වේ.

ඉහත මා සඳහන් කල සියලු ආරක්ෂක විධිවිධානයන්ට අනුව abseiling කිරීමෙන් ඔබගේත් ඔබේ සගයන්ගේත් ආරක්ෂාව තහවුරු වන අතර ගමනද සුවසේ හිතේ සතුටින් අවසන් කල හැකිවේ.

Mora Hiking Club අපත් "The Marvel Srilanka" කණ්ඩායමේ සියලු දෙනාගේම සහයෝගයෙන් ආරක්ෂිත ලෙස මෙම ත්‍රාසජනක ක්‍රියාකාරකම සාර්ථකව අවසන් කරමින් විශ්ව විද්‍යාලය වෙත ගමන් කරනු ලැබුවේ ඉතා සතුටිනි. ලිපිය රසවිදින ඔබටත් මේ වසරේ මෙම අනඟි අවස්ථාව මගහැරුනේ නම් ලබන වසරේදී මෙවන් අභියෝගාත්මක ත්‍රාසජනක waterfall abseiling එකක් සමඟ තවත් අලුත් ස්ථානයක දිය ඇල්ලක් තරණය සඳහා එක්වන්න.




ජේ. පී. ඉසිවරණී ජයසේකර

තොරතුරු තාක්ෂණ පීඨය

20 කණ්ඩායම

295 0
Created : May 30, 2024 11:37am
Last updated : Oct 22, 2024 11:03am