Loading

Loading...

මොණර වෙස් ගත් මොණරගල සොයා

මාසයක කාලයක් පමණ පැවති කැළඹුණු කාලගුණය නිසා පැවති අධික වර්ෂාව සහ සුළං තත්ත්ව හේතුවෙන් විඩාවටත්, අලසකමටත් පත්ව සිටි අප තරුණ ගවේෂකයකයන්ගේ ගත සිත නැවත ප්‍රාණවත් කරමින් ඒ දිනය 2024 ජූනි මස 9 වන ඉරු දින ලෙසින් උදා විය. අලුයම 2.00ට පමණ 44 දෙනෙකුගෙන් යුක්ත වූ කණ්ඩායම සිහින් පිණිකඩ මධ්‍යයයේ මොරටුව විශ්වවිද්‍යාලයීය භූමියෙන් බසයට නැග එදින ගමානාන්තය බලා පිටත් විය.


අපගේ ජූනී මස ගවේෂණය සඳහා Mora Hiking Club විසින් තෝරාගෙන තිබුනේ ශ්‍රී ලංකාවේ පවතින ප්‍රධාන කඳුවැටිවලට අයත් නොවූවත්, සංචාරකයින් සෑම දෙනාම පාහේ අසා ඇති, ඉතා සුන්දර උස් මිටියාවතක් ලෙසින් සලකනු ලබන, සතුන්ගේ හැඩයන් වලට සමානකම් දක්වන කඳු අතර ඉදිරි ස්ථානයක් ගනු ලබන, මුහුදු මට්ටමේ සිට මීටර් 1513 පමණ උසයැයි සලකන මොණරගල (Peacock Hill) කඳු මුදුනයි. පිදුරුතලාගල කඳුවැටියට බටහිර දෙසිනුත්, ශ්‍රී පාද අඩවියට උතුරු දෙසිනුත්, කබරගල ආදී දොලොස්බාග කඳුවලට නැගෙනහිර දෙසිනුත් මෙය පිහිටා ඇත. පසුකලක රජ වූ ගැමුණු කුමරුගේ කතා හා බැඳි රණමුණ ප්‍රදේශය මෙම කඳු පාමුල තිබීම මොණරගලට ඓතිහාසික වටිනාකමක් ද එක් කරයි.

අලුයම් කාලෙයේ ම කඳුකර සීමාවට පැමිණි අපට, ඇති වූ මාර්ග අවහිරතාව හේතුවෙන් විකල්ප මාර්ගයක් භාවිතා කර නැවත සැලසුම් කළ මාර්ගයට පිවිසීමට සිදු විය. උදෑසන හිරු කිරණත් සමඟ අම්බුලුවාව නැරඹුම් කුළුණ පසු කරමින් පල්ලේගම ප්‍රදේශයට ළගා විය. එහිදී උදෑසන ආහාරය ලබාගත් අපි උදෑසන 8.00 පමණ වන විට මෝඩයාගේ පාලම ආදිය පසු කරමින් කොත්මලේ බලා ගමන් ආරම්භ කළෙමු. තැනින් තැන උඩුවියන් ස්ථරයකින් වැසුණු, තරමක පටු වූ, දෙපසම වැහි බිඳුවලින් වර්ණවත් වූ හරිත පැහැ ගැන්වී තිබු මාර්ගයේ පසෙකින් සුන්දර කොත්මලේ ජලාශය ද වන්නට විය. කොත්මලේ ජලාශයට ඉහළින් ඉදිකර ඇති මහවැලි මහා සෑය පසු කරමින් උදෑසන 9.30 වන විට දොරගල පැරණි තේ කර්මාන්තශාලාව අසලට පැමිණීමට අපට හැකිවිය. මාර්ගයේ තිබූ අපහසුතාවත්, පටු වීමත් හේතුවෙන් එම ස්ථානයෙන් බස් රථයේ පැමිණි අපි සියලු දෙනා බැස ගන්නට විය.

අවටින් දිස් වූ මනා ලෙස නඩත්තු වන තේ වගාවන්, හොඳින් ඵල දරා සිටි එළවළු වාගාවන් එම ප්‍රදේශයේ සුන්දරත්වයට හේතුවන්නට ඇත. මෑතින් පෙනුණු පයිනස් වගාවලින් වැසුණු කඳු මුදුන් ද ඈතින් වූ මීදුම් ක්ෂිතිජයත් එම සුන්දරත්වය දෙගුණ තෙගුණ කරන්නට විය.

සුපුරුදු පරිදි අප කණ්ඩායම ඔවුනොවුන් හඳුනාගැනීමෙන් පසුව කෙටි ශරීර යෝග්‍යතාව ඉහළ නැංවීමේ අභ්‍යාස කිහිපයක් එහිදී සිදුකළහ. අනතුරුව අවට ප්‍රදේශය පිළිබඳවත්, එදින අපගේ ගමනාන්තය පිළිබඳවත් මෙන්ම දවස තුළ පරිසරය විඳින අතරතුර අපගේ මෙන්ම අනෙකුත් අයගේ ආරක්ෂාව උදෙසා අප හැසිරිය යුතු ආකාරය පිළිබදත්, මුල මැද අග ලෙස මනාව සංවිධානය වී කඳු තරණය කළයුතු ආකරය පිළිබඳවත් අපව දැනුවත් කිරීමට අපගේ ජ්‍යෙෂ්ඨ සහෝදරත්වය අමතක කළේ නැත. ඉන් විනාඩි කිහිපයකට පසු කණ්ඩායමක් ලෙස පිළිවෙලට ගමන් කරමින්, සිය දෑස් ඔබ මොබ යවමින්, වැසි දියෙන් පිරි දිය කඩිති මෙන්ම තේ වගාවන් පසු කරමින් ගමන් ගන්නා වූ ගවේෂක පිරිසක් නිසැකව ම දොරගල ගම්මුන්ගේ නෙත ගැටෙන්නට ඇත. ගමන් ආරම්භ කළ ස්ථානයේ සිට 2.5km-3km පමණ වූ දුරක් ගෙවා ආ අප සහෝදර සහෝදරියන් පිරිස පයිනස් කැලයට ඇතුලු වන ස්ථානය අසලට පැමිණ තිබුණි.

එහි ඉතා සුලු විවේකයකින් අනතුරුව අපි නැවත ගමන් ඇරඹුවෙමු. මධ්‍යහනට තවත් හෝරා කිහිපයක් තිබුණ ද වැහි වළාවන් හා මීදුම් දුමාරයන් නිසා ඒ වන විටත් හිරු රැස් භූමිය සිපගෙන නොතිබීම නිසා නැවුම් බව සුරැකි එම අඩිපාර තෙත් කලාපීය වනාන්තර ලක්ෂණ මනාව පිළිඹිබු කරන්නා වූ කැඩපතක් ම විය. අඩිපාරක් වූ නිසා එහි එකා පිටුපසින් එකා ලෙස යාමට අපට සිදු විය. වැසි හා සුළං හේතූ කරගෙන පයිනස් ශාක කිහිපයක් මෙන්ම, පයිනස් අතු ඉති ද තැනින් තැන කඩා වැටී තිබිණ. නමුත් යම් පිරිසක් විසින් මාර්ගයේ තිබූ බාධා යම් තරමකින් ඉවත් කර තිබීම නිසා එය අපගේ ගමනට සැලකිය යුතු මට්ටමේ කරුණක් නොවීය. එහෙත් ගමනට ගත

වූ කාලය ඉහළ නැංවූ තවත් හේතුවක් වූයේ පයිනස් වනන්තරය පුරා විහිදී ගිය මීදුමින් බරිත වූ සුන්දරත්වයයි. එහි සෑම අඟලක්ම අප සැමගේ සිත් ඇද බැඳ තබා ගත් බව නොරහසකි. විටක අප සහෝදර සහෝදරියන් ගමන් කළ පෙළෙහි ඉදිරිය මෙන්ම පසුපස ද නොපෙනී යන තරමට ඝණ මීදුමක් වීය.

පිණි බිදි පයිනස් කොළ මතට වැටී තිබීම නිසා මාර්ගය සුළු වශයෙන් මාර්ගය ලිස්සන සුළු විය. තව ද තෙත් වර්ෂා වනාන්තර තුළ බහුලව හමුවන ගමන් සගයන් වන කූඩැල්ලන් ද සුලු වශයෙන් ගමන අතරමග දී හමුවිණි. ඒ සෑම අවස්ථාවකම පාසා අප අතර වූ සහෝදරත්වය මගින් එම බාධා ඉවත දමා ගැනීමට අපගේ සහෝදර සහෝදරියන් කටයුතු කළහ. මීට අමතරව වෙනත් සැලකිය යුතු බාධා අපට එල්ල නොවීය. ඒ හේතුවෙන් පැයක පමණ කාලයකින් කඳු මුදුන ආසන්නයේ වූ දුරකතන සන්නිවේදන කුළුණු ද්විත්වය කරා ළඟා වූ අපි එහි තිබූ ආරක්ෂක වැට ආසන්නයෙන් දකුණු දෙසට මාර්ගය ඔස්සේ කඳු මුදුන වෙත පියවර තැබුවෙමු. කඳු නගින්නකු සිය ගමන අතරතුර විඳින ඉහළම ආශ්වාදයක් ලෙස කඳු මුදුන දිස්වීම දැක්විය හැක. මොණරගල මුදුනත සමීපයේ ඉදිවෙමින් පවතින ආගමික ස්ථානයක් ලෙස දිස් වූ කුඩා ගොඩනැගිලි එම ආශ්වාදයට බාධාවක් නොවුනේ ද යන්න ප්‍රශ්නා‍ර්ථයක් ඉතිරි කරන කරුණක් ය. නමුත් ඊට පිටුපසින් වූයේ අපගේ ගමනාන්තය වූ මොණරගල කඳු මුදුනයි.

මහා සාගරයක් මධ්‍යයයේ වූ දූපතක සිටින පිරිසක් ලෙස යම් කාලයක් එහි ගත කිරීමට අපට සිදුවූයේ එහි වූ මීදුම් තත්ත්වය නිසාවෙනි. නමුත් විටින් විට මද පින්නත් සමඟ ගලා ආ ශීත සුළං ධාරා සියල්ලන්ගේ ගත ශීත කළ ද මනස පිනවන්නට විය. එම මීදුම් ධාරා ක්‍රමයෙන් වියැකී යනවාත් සමඟ වටපිටාව පැහැදිලි වන්නට විය. එක් පසකින් අප පසු කර පැමිණි මාර්ගය ද , තවත් පසකින් බෑවුමට පහලින් වූ විශාල තේ වගා භූමිත් විය. තේ වගාවන් තුළ වූ නිවාස, මාර්ග මෙන්ම තේ කර්මාන්ත ශාලා ද එහි විය. තවත් සුලු මොහොතකට පසු දර්ශනය තව තවත් පැහැදිලි වීම නිසා මොණරගල කොමලිය බැඳි සලඹ ද වන් , කොත්මලා ඔය හා රම්බොඩ ඔය එකතු වී මහවැලිය නමින් නම් ලබන ස්ථානය වන කොත්මලා ජලාශය වඩාත් හොදින් දිස් විය. එයට පිටුපසින් වූ කඳු වැටියෙන් උපත ලද දියඇලි කිහිපයක් ද අපට දර්ශනය විය. මීදුම් වළා නිසා වැසී ගිය රාවණයන්ගේ කරත්ත පාර ලෙස සලකන චැරියට් පාත් භූමියත්, ඊට මදක් දකුණින් මිදුම් පරයා නැගී ආ පිදුරුතලාගල මුදුනත් ක්‍රමයෙන් දිස් විය.

වඩාත් පැහැදිලි දර්ශනයක් පවතින දිනක නම් මොණරගල මුදුනේ සිට සමනල, පිදුරුතලාගල, කිකිළියාමාන, අලගල්ල, බතලේගල, අම්බුලුවාව ආදී කඳු මුදුන් ද , නාවලපිටිය ,ගම්පළ ආදී නගර ද නැරඹීමට අවස්ථාව පවති.

හෝරා කිහිපයක් කඳු මුදුනේ ගත කරමින් මතකයන් එක් රැස් කර ගත් අප එහි සිටම දිවා ආහාරය ද ගත්තෙමු. සංචාරකයින්, ගවේෂකයින්, කඳු නගින්නන් වශයෙන් අප දැනගත යුතු කරුණු කිහිපකින් අපගේ දැනුම වර්ධනය කිරීමට අපගේ ජ්‍යෙෂ්ඨ සහෝදර සහෝදරියන් ඉන් පසුව ක්‍රියා කළහ. විටින් විට සිහින් වර්ෂාවක් ඇදහැලෙමින් තිබුන ද දහවල් 2.00ට පමණ අප කඳු මුදුනට සමුදීමට තීරණය කළෙමු. පයිනස් කැලය තුළ වූ අප ආ මාර්ගය නොවන වෙනත් අඩිපාරකින් බැස ආ අප අවතීර්ණ වූයේ නඩත්තු කරමින් පවතින නැරඹුම් ස්ථානයක් වෙතය. මද වශයෙන් තෙමී සිටිය ද අවට දර්ශනයෙන් මෙන්ම සිහින් පින්නෙන් ද මුසපත්ව සිටි අප පිරිසේ සාමජිකයින් එහි තැනින් තැනට වී කාලය ගත කරන අයුරු එහි සිටිසියල්ලම දකින්නට විය. එහි යම් කාලයක් ගත කල අප නැවත දොරගල ගම්මානය හරහා ගොස් බස් රිය වෙත ළඟා වුනෙමු.

සවස 3.30ට පමණ දොරගලින් පිටත් වූ අප රැගත් බසය පේරාදෙණිය හරහා ගොස් නැවතත් අපගේ ගමන් ආරම්භය වූ මොරටුව විශ්වවිද්‍යාලය අසලට රාත්‍රී 10.00ට පමණ ළඟාවිය. අසීරු නොවන නමුත් සුන්දරත්වයෙන් ඉහළ මොණරගල කදු තරණය නිමා කළ Mora Hiking Club අප නැවත වෙනත් කදු තරණයකට අරමුණු සිතැතිව විසිර ගියෙමු.

සටහන:

උමේෂ් බණ්ඩාර

20 කණ්ඩායම

භූ සම්පත් ඉංජිනේරු දෙපාර්තමේන්තුව

437 2
Created : Jun 13, 2024 11:47am
Last updated : Dec 26, 2024 09:50pm

Siriwardana

June 6th, 2024 - 4:52AM

Sundara rachanawak......

Champa Heenkende

June 6th, 2024 - 5:51AM

හරිම ලස්සනට ලියලා තිබුනා පුතා. අපිත් ඒ පයිනස් කැලේ මීදුම අතරින් ..තේ වතු මැදින් කදු මුදුනට යැවුනා. තව පින්තූරු කීපයක් බලන්නට තිබුනා නම් .......