Loading

Loading...

හරිත පාරාදීසයක් වූ ගොන්ගල තරණය

මොරටු අහස දෙස බලමින් මනෝපාරකට සැරසුනු මගේ සිත ක්ෂණයෙන් දිව ගියේ සබරගමු අහසේ පහස විඳින්නටයි. ඒ මීට දින කිහිපයකට පෙර ගිය කඳුවැටියක ගවේෂණය මතක් කරවමිනි.


මෙවර Mora Hiking Club විසින් ජූලි මස ගවේෂණය සඳහා තෝරාගෙන තිබුනේ රටේ පහළ කොටසට වන්නට පිහිටා තිබෙන, ප්‍රසිද්ධ නිල්වලා ගඟත්, ගිං ගඟත් පැන නගින සුන්දර ගොන්ගල කඳු මුදුනයි. සබරගමුව පළාතටත්, දකුණු පළාතටත් මායිම්ව මීටර් 1358 ක උන්නතාංශයක පිහිටා ඇති ගොන්ගල ශ්‍රී ලංකාවේ උසම කඳු අතර 15 වන ස්ථානය දරයි. රත්නපුර දිස්ත්‍රික්කයේ පිහිටා ඇති මෙම කදුවැටියට මිද්දෙණිය නගරය හරහා පනාමුරේට පැමිණ එතැන් සිට කෑල්ල නගරය හරහා ළඟාවිය හැක.

කඳු නගින්නන් අතර හුරුපුරුදු ඒ ගොන්ගල කඳු තරණයට සැරසුණු අප තරුණ පිරිස 2024 ජූලි මස 14 වන ඉරුදින පාන්දරම අඳුර අතරින් එකතු වුනේ අප විශ්ව විද්‍යාලයේ ඉදිරිපස වෙතටයි. උදෑසන 3.30 ට පමණ ගොන්ගල කන්ද තරණය කිරීම සඳහා 48 දෙනෙකුගෙන් යුතු අප කණ්ඩායම බස් රථයට ගොඩ විය. ඉර උදාවී පැයක් යන්නට ප්‍රථමයෙන් අප පනාමුර නගරයෙන් උදෑසන ආහාර ගෙන ගොන්ගල කඳු පාමුල ආසන්නයට ළඟා විය. බෑවුම් වැඩි වංගු සහිත පටු මාර්ගයේ හැකිතාක් ඉහළට ළඟා වූ බස් රථය කඳු මුදුනට තවත් බොහෝ දුර තියාම නැවැත්වූයේ මාර්ගය තව තවත් පටු හා දුෂ්කර වූ බැවිනි. අප පිරිස ලහි ලහියේ බස් රථයෙන් බැස ගත්තේ අලුයම වූ ප්‍රබෝධය තවත් වැඩි කරලමිනි. පා ගමන ආරම්භයට පෙර, සිටි පිරිස හඳුනාගෙන සිරුර උණුසුම් කරන ව්‍යායාම කිහිපයක නිරත විය. ඉන්පසුව සංගමයේ එක් සාමාජික සහෝදරයෙක් කන්ද පිළිබඳ කළ විස්තරයට සියල්ලන්ගේම අවධානය යොමු විය. සිංහරාජ වනරක්ෂිතය ආසන්නයේ පිහිටා ඇති ගොන්ගල කන්දට ප්‍රවේශ වීමට අප බැසගත් තැන සිට 6.7km පමණ පටු කඳුකර මාර්ගයේ ඇවිද යන්නට විය. එදින කාලගුණය බොහෝ දුරට වැසි සහිත වූයෙන් අප ඒ සඳහා ද සූදානම් වී ගිය නමුත් වර්ෂාව අපට බාධා නොකළේ අප බලාපොරොත්තු සුන් නොකරමිනි.

විටෙක තාර පාර ද, විටෙක බොරලු පාර ද, තවත් විටෙක කැඩී ගිය කොන්ක්‍රීට් පාර ද පසු කරමින් අප ඉදිරියට ඇදුනේ දෙපස පිහිටි තේ වතුවල සුන්දරත්වය ද විඳිමිනි.
ඈත පෙනෙන ඝන කැලෑවලින් වැසී ගිය කඳු යායවල් රසවිඳිමින් ගමන් කළ අපට පාර දෙපස කැලෑවල් මෙන්ම දියකඩිති, දිය පහරවල් හමුවුනෙන්, දැනුණු වෙහෙස යටපත් කරගෙන ඉදිරියට ඇදෙන්නට හැකි විය. දහවල් 12.30 පමණ වන විට අපට ඈතින් පෙනුණු සංඥා කුළුණුවලට ළං වෙන්නට හැකි විය. එතැන් සිට පැවතියේ නාවික හමුදාව විසින් කළමනාකරණය කරනු ලබන ඝන වනාන්තරය හා අධිආරක්ෂිත කලාප හරහා ගමනකි. හමුදා කඳවුරු අසල නැවතී දිවා ආහාරය ලබාගත් අප ඔවුන්ගේ අවසරය ඇතුව කඳුමුදුන වෙත පියනැගුවෙමු. අප ජ්‍යෙෂ්ඨ සහෝදර පිරිස ගමන පුරාවටම පාහේ පිරිසේ ආරක්ෂාවට පළමු තැන දීමට කටයුතු කිරීම නිසාත්, පිරිසේ සහයෝගය නිසාත්, ගමන එතරම් අපහසු නොවීය.

එතැන් සිට තෙත බරිත ගහකොළ අතරින් අඩි පාරක් දිගේ අප පියමැන්නේ නිසල වනපෙතටයි. පෙර පැවති වියළි බව ක්ෂණයෙන් පලා ගොස් වෙනම ම පරිසර කලාපයකට ඇතුල් වූ හැඟීම සිතට වැදුනේ සොබාදහමේ ජෛව විවිධත්වය මනාව පිළිබිඹු කරමිනි. හිරු කිරණට පොළොව සිපගැනීමට ඉඩක්වත් නොතබා විහිදුණු විශාල තුරුලතා අතු ඉති ඒ තෙත් බවට හේතු වන්නට ඇත. රාජාලීන්, ගිරවුන් වැනි කුරුලු විශේෂ මෙන්ම වඳුරන්, මුවන්, සර්පයන් බහුලව ගැවසෙන වන ප්‍රදේශයේ කූඩැල්ලන්ගේ ද අඩුවක් නොවී ය. අප තරුණ කැලට ඔවුන් හුරුපුරුදු නිසාම එය බාධාවක් නොවීය. දිය සීරාවලින් තෙත්බරිත ගල්තලා මෙන්ම ශාක කඳන් ද දිය සෙවෙල්වලින් වැසී ගොස් තිබිණි.

අතුපතර එහා මෙහා කරගෙන ගල්තලාවලින් නොලිස්සා ගමනාන්තයට ළඟා වූයේ පිරිසේ සහයෝගය තව තවත් නංවමිනි. 1.7km පමණ ගමනකින් පසුව හවස 2ට පමණ ගොන්ගල නැරඹුම් ස්ථානයට පැමිණි අපට අවට සුන්දර වටපිටාව හොඳින් දැක ගත හැකි වූයේ වැහිබර මීදුම ද ඒ මොහොතේ පළා ගිය බැවිනි. අවට පිහිටි සිංහරාජ වනරක්ෂිතය, රක්වාන, බලංගොඩ, උඩවලව හා සූරියකන්ද පරිසර කලාපවල සුන්දරත්වයත් ඉහළ සිට බලන්නන්ගේ ආකර්ෂණය වැඩි කරන්නට විය. වැඩි වේලාවක් යන්නට පෙර ම කෙමෙන් කෙමෙන් ගතවෙලා ගත් සුළං ධාරා සැඩ පහරවල් බවට පත්වූයේ පැවති සීතල ද දෙගුණ තෙගුණ කරමිනි. ඒ මොහොතේ සිතට දැනුණු චකිතයත් අමුතු සතුටත්, දරාගෙන සියල්ලෝ වාඩිවී අවධානය යොමු කළේ, ගවේෂකයන් ලෙසින් අපට වැදගත් වන දැනුම බෙදා දුන් ජ්‍යෙෂ්ඨ සොහොයුරන් වෙතයි.

ඉන්පසු තවත් මඳ වේලාවක් ඡායාරූප ගනිමින් කල්ගෙවූ අප නැවතත් කඳු මුදුනට සමුදී වන මැදින් පෙරළා පැමිණියේ නොනවත්වා හමන සැඩ සුළං පහරවල් සමඟින්ම ය. ඝන වනය පසුකළ අප නැවතත් සංඥා කුළුණු අසලට පැමිණි පසු කෙටි විවේකයක් ගනිමින්, කෙටි ආහාර රස විඳිමින් මොහොතක් ගත කළෙමු. නැවතත් බෑවුම් සහිත මාර්ගය හරහා ගමන් කර බස්රිය වෙත හවස 6.30ට පමණ ලඟා වුනෙමු.

මිද්දෙණිය නගරයෙන්ම රාත්‍රි ආහාරය ගත් අප නැවතත් විශ්ව විද්‍යාලය අසලට පසුදා අලුයම 3 ට පමණ පැමිණි අතර ගමනට සමු දෙමින් නැවතත් හමුවීමේ බලාපොරොත්තුවෙන් සියල්ලෝ විසිර ගියහ.

සටහන:

තක්ෂිලා නිර්මාණි

23 කණ්ඩායම

ඉංජිනේරු පීඨය

118 1
Created : Aug 27, 2024 06:37am
Last updated : Oct 22, 2024 01:44pm

Siriwardana

September 9rd, 2024 - 2:54PM

Rahai...