Loading

Loading...

ශ්‍රී ලංකාවේ මධ්‍යම පාළුකරයේ අරංගල සොයා ගිය ගමනක්

සොබාදහමට ලැදි සුන්දර මංපෙත් සොයා යන්නන් ලෙස මෙවර Mora Hiking Club අපි අගෝස්තු මස ගවේෂණය සඳහා සුන්දර මධ්‍යම කඳුකරයට පියනැග්ගෙමු. මධ්‍යම පළාතේ, මාතලේ දිස්ත්‍රික්කයේ නාඋල ප්‍රදේශයේ පිහිටා ඇති මෙම කන්ද, නමින් අරංගල වේ. කන්ද මාතලේ සිට කිලෝමීටර් 28 ක් දුරින් පිහිටා ඇති අතර, A9 මහනුවර-යාපනය අධිවේගී මාර්ගය හරහා ගොස් නාඋල දක්වා තොටගමුව පසුකර ගමනාන්තයට ළඟා විය හැකිය. නාලන්දාව ශ්‍රී ලංකාවේ මධ්‍යයට සමීප වන බැවින් මෙය ඉතා වැදගත් කන්දකි.



කන්දට එහි නම ලැබී ඇත්තේ එය "අරුංගල්" හෝ කරාබු වලට සමාන වීම නිසා ය. මෙම කන්ද නාලන්ද ගම්මානයට ආසන්න ව පිහිටා ඇති නිසා ‘නාලන්ද පර්වතය’, 'නාඋල කන්ද' ලෙස ද ප්‍රචලිත වේ. අරංගල කන්ද, කඳු මුදුන් තුනකින් සමන්විත වේ. එහි උසම ස්ථානය මීටර් 750 ක් පමණ වේ. අරංගල ආශ්‍රිත ඉතිහාස තොරතුරක් ලෙස සුවිශේෂී වන්නේ මෙම කන්දේ දී වීර කැප්පෙටිපොල සහ ගොංගාලේ ගොඩ බණ්ඩා තම සේනා සංවිධානය කළ බවට ඓතිහාසික වැදගත්කමක් දැරීමයි.

අරංගල කඳු තරණය සඳහා 52 ගෙන් යුතු කණ්ඩායමක් අප සමඟ 2024 අගෝස්තු මස 18 වන ඉරිදා දින අලුයම දෙකට පමණ විශ්ව විද්‍යාලයේ සිට ගමන් ආරම්භ කළහ. උදෑසන 8.00 පමණ වන විට උදෑසන ආහාරය ගෙන අප ගමන් ආරම්භක ස්ථානයට ළඟා වුණි. A9 යාපනය-මහනුවර ප්‍රධාන මාර්ගයේ සිට බසයෙන් බැසගත් අපි එතැන් සිට ගමන ආරම්භ කළෙමු. ප්‍රධාන මාර්ගයේ ගමන් ගන්නා ඕනෑම අයෙකුට පාරේ සිට ම මෙම කන්ද දැක බලා ගත හැක. අරංගල කඳු තරණයට මාර්ග 2ක් පවතින අතර, අරංගල පොලිස් ස්ථානය අසල ඇති මාර්ගයෙන් මෙන් ම අරංගල යොවුන් සේනාංකය අසල ඇති මාර්ගයෙන් ද ගමන් කළ හැක. අරංගල යොවුන් සේනාංකය අසල ඇති මාර්ගයෙන් අපි, අපගේ ගමන ආරම්භ කළෙමු.

අරංගල කන්දට ප්‍රවේශ වීමට අප බැසගත් තැන සිට 1km පමණ කොන්ක්‍රීට් මාර්ගයක අවට ගම්මානය හරහා ඇවිද යන්නට සිදු විය. එදින වැසි බර කාලගුණයක් පැවතුන ද කඳු මුදුනට ළඟා වෙනතෙක් වර්ෂාවෙන් කිසිදු බාධාවක් අපට නොතිබුණි. ගම්මානය අවසන් වී අපි පටු කැලෑ මාර්ගයට සෙමෙන් ඇතුළු වුණෙමු. කොන්ක්‍රීට් පාර අවසන් කළ අපට හමු වූයේ ගස්වැල් හා ගල් පර්වත වලින් පිරී ගිය දුෂ්කර මාර්ගයකි. මෙම ගමනේ ආරම්භයේ සිට අවසානය වන තෙක් ම විශාල ගල් පර්වත වලින් පිරී ගිය පරිසරයක අපට ගමන් කිරීමට සිදු විය. අවට පෙනෙන කැලෑවේ සුන්දරත්වය රස විඳිමින් ගමන් කළ අපට සිඳී ගිය දියකඩිති හමුවිය. එසේම ගමන් කළ මාර්ගයට සමාන්තර ව වම් පසින් ජල පහරක් ගමන් කළ බවට හා වැසී අධික කාලවල එය සක්‍රීය වන බව අවට ඇති පරිසරය සාක්ෂි දැරුවේ ය. ගල් පර්වත වලින් පිරී ගිය දුෂ්කර මෙම කඳු තරණය බොහෝ වෙහෙසකර බැවින් ජලය වැඩි ප්‍රමාණයක් ගෙන යාම අත්‍යවශ්‍ය කරුණක් බවට වැටහුණි.

ගස්වැල් වලින් පිරී ගිය නිස්කලංක මාර්ගයේ ඉදිරියට ඇදුණු අපගේ කණ්ඩායමට විවිධ වර්ගයේ ශාක විශාල ප්‍රමාණයක් දැක ගත හැකි විය අතර හැඩවක, කහට, කළුවර, බෙහෙත් නෙල්ලි වැනි ශාකද රාජලින්, ගිරවුන් වැනි කුරුළු විශේෂ ද රිලවුන්, සර්පයන් (පිඹුරා, කුණකටුවා), කටුස්සන් හා ගෝනුස්සන් බහුලව මෙම ප්‍රදේශයේ ගැවසෙන බවක් දක්නට ලැබිණි. වෙනත් කදු තරණයන් වලදී අප පැමිණෙන තුරු නිතැතින් බලා සිටින කූඩැල්ලන් මෙවර සැඟවී සිටි බවක් අපට දක්නට ලැබිණි. වියළි කොළවලින් පිරී ගිය පොළව, බිම වැටී ඇති දරදඬු වුණු ශාක කඳන්, සහාය වීමට අත දෙනවාක් මෙන් පෙනෙන විවිධ හැඩැති දරදඬු ගස්, ලිස්සා යන මං පෙත් හා තරණයට අපහසු විශාල ගල් පර්වත පසු කරමින් අප පිරිසේ සහයෝගය සමඟ පැය තුනක පමණ කාලයකින් පසු කඳුමුදුන වෙත ළඟා විය. මනාසේ හිරුඑළිය පතිත වී තිබූ කඳුමුදුනේ දී සෑම දෙසින් ම සුන්දර දසුන් දැක බලා ගත හැකි විය. එම සුන්දර දසුන් දුටු විගස ගමනේදී දැනුණ වෙහෙස අපට අමතක විය.

එය කඳු පන්තියක් බවට පත් කරමින් මුදුනේ කඳු මුදුන් තුනක් දක්නට ඇත. දඹුල්ල දෙසට ඇති කඳු මුදුන උසම කඳු මුදුන වන අතර අංශක 360 ක සුන්දර දසුන් සපයයි. අරංගල කඳු මුදුනේ සිට, ඔබට වයඹ පළාත, මධ්‍යම පළාත සහ උතුරු මැද පළාත දක්වා විහිදෙන ශ්‍රී ලංකාවේ තවත් බොහෝ කඳු දැක බලාගත හැක. අපට කඳු මුදුනේදී දැක බලාගත හැකි වඩාත් කැපී පෙනෙන කඳු කිහිපයක් නම්:

විල්ට්ෂයර්, බ්‍රැන්ඩිගල, ඇම්බොක්ක, රිවර්ස්ටන් කඳු මුදුන සහිත නකල්ස් කඳුවැටිය, කරගහතැන්න කඳු මුදුන, බෙලිය කන්ද, යක්කුරාගල, කඩිගල, වැහිගල පතන, ඇටිපොල සහ අලු විහාර කන්ද, මවුස්සා, ගම්මඩුව. තව ද, ඔබට බෝවතැන්න, මොරගහකන්ද, කණ්ඩලම, දොළුකන්ද වැනි ජලාශ ද දැකබලා ගත හැක.

හෝරා කිහිපයක් කඳු මුදුනේ ගත කරමින් මතකයන් එක් රැස් කර ගත් අපි, දවල් ආහාරය කඳු මුදුනේ දී ලබාගත්තෙමු. ඉන්පසු අපගේ ජ්‍යෙෂ්ඨ සහෝදර සහෝදරියන් කඳු නැගීමේදී අපට වැදගත් වන දැනුම බෙදාගත හැකි අංගයක අපව නිරත කළහ. විටින් විට අප වෙතට පැමිණි සිසිල් සුළංධාරා සහ වැහි බිඳු අපගේ කණ්ඩායමේ පිරිසගේ ගත වෙලා ගත්තේ ය. අප දහවල් 2.00 ට පමණ සුන්දර අරංගල කඳු මුදුනට සමුදී ගල් පර්වත වලින් පිරී ගිය වනය මැදින් පෙරළා පැමිණියේ නොනවත්වා හමන සැඩ සුළං පහරවල් හා වර්ෂාව සමඟින්ම ය. වර්ෂාවත් සමඟ අප සෙමෙන් පැමිණෙන විට වර්ෂාව හේතුවෙන් මාර්ගය තරමක් ලිස්සන සුළු වී තිබුණි. නැවත අප ගම්මානය වෙත ළඟා වන විට වේලාව සවස හතර පමණ වී තිබුණි.

සවස 6.30ට පමණ අරන්ගලින් පිටත් වූ අප රැගත් බසය නැවතත් අපගේ ගමන් ආරම්භය වූ මොරටුව විශ්ව විද්‍යාලය අසලට රාත්‍රී 11.30ට පමණ ළගාවිය. තරමක් දුෂ්කර වූ, සුන්දරත්වයෙන් ඉහළ අරංගල කඳු තරණය නිමා කළ අපි නැවත වෙනත් කඳු තරණයකට බලාපොරොත්තු සිතැති ව විසිර ගියෙමු.

සටහන:

ඉසුරිකා අබේසිංහ

20 කණ්ඩායම

වස්තුවිද්‍යා පීඨය

49 0
Created : Oct 19, 2024 12:48pm
Last updated : Oct 22, 2024 01:38pm