Loading...
ඒකාකාරී කාර්‍යබහුල දිවියෙන් මිදී මදක් හෝ අස්වැසිල්ලක් ලබා ගැනීමට ඔබ බලා සිටිනවාද? එසේනම් ඝෝෂාකාරී වටපිටාවකින් පොඩ්ඩක් ඈත් වෙලා මොහොතකට ඇස් පියාගෙන සන්සුන් මනසකින් දිගු හුස්මක් අරගන්න. දැනේවි ඔබට, සුපිරිසිදු වාතාශ්‍රයකින් ඔබේ පෙනහලු පිරෙන බව. ඔන්න දැන් ඔයත් මාත් එක්ක ලස්සන ගමනක් යන්නයි මේ සූදානම.
මොරටුව විශ්වවිද්‍යාලයේ කඳු නගින්නන්ගේ සංගමයෙහි ලොග් සටහන් පොතෙහි තවත් එක් පිටුවක් වෙන් කරමින් 2024 වර්ෂයේ පස්වන කදු තරණය ලෙස තෝරාගෙන තිබුනේ “යක්දෙස්සාගල” නොහොත් “කුවේණිගල” යි. ඔක්තෝබර් මස 20 වන ඉරු දින අලුයම 3 ට අප කණ්ඩායම රැගත් බස් රථය ගමනාන්තය බලා ගමන් ආරම්භ කෙරුණි. කහතුඩුව අධිවේගී පිවිසුම හරහා කඩවත, අඹේපුස්ස, අලව්ව පසුකර කුරුණෑගල නගරයට ළඟා වන විට උදෑසන 6 පසුව තිබුණි. එහිදී උදේ ආහාරය රැගෙන, දිවා ආහාරය සඳහා කෑම පාර්සල් ද ගෙන නැවතත් අපගේ ගමනාන්තය වෙත ගමන් ආරම්භ කළෙමු.
කුරුණෑගල නගරයේ සිට කුරුණෑගල - ගෝනගම මාර්ගයේ 16KM පමණ ගමන් කිරීමෙන් පසු උදෑසන 8 ට පමණ අප අපගේ ගමනාන්තය වෙත ළඟා වුණෙමු. අප ගනේගොඩ සංවැලි රජමහ විහාරය අසලින් බස් රථයෙන් බැසගත්තෙමු.
ලේඛනවල සඳහන් පරිදි ක්‍රි:පූ 2 වන සියවසේදී දේවානම්පියතිස්ස රජ දවස ගොඩනැගුණු ගනේගොඩ සංවැලි රජමහා විහාරය, කාලයක් පුරා ජනාවාස වෙමින් නැවත ප්‍රතිසංස්කරණය කරමින් පැවතෙන ඈත ඉතිහාසයකට උරුමකම් කියයි. ඉන් මතු වළගම්බා රජ දවස, ගම් නියම් ගම් සැරිසරමින් යුද්ධය සඳහා සේනාව රැස් කරමින් වළගම්බා රජු මෙම ස්ථානයේ රැඳී සිට ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි. එමෙන්ම ගනේවරුන් ගොඩක් සිටි ස්තානය, “ගනෙයි + ගොඩ” = ගනේගොඩ වූ බව ගම්වැසියන්ගේ අදහසයි.
අප කණ්ඩායම විහාරයට අනෙක් පසින් ඇති අඩිපාර දිගේ කුඩා පොකුණ අසලින් වනය තුළට ඇතුළු වුණෙමු. අඩි කිහිපයක් ඉදිරියට ගමන් කරන විට ආනතව පිහිටි තරමක් කුඩා ගල් තලාවක් හමු විණි. එහිදී සුපුරුදු පරිදි එකිනෙකා හඳුනාගැනීමෙන් පසු කෙටි ශාරීරික යෝග්‍යතා සැසිය පැවැත්විණි. ඉක්බිතිව සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින්ගේ මගපෙන්වීම යටතේ අප එකිනෙකා පසුපස එකිනෙකා බැගින් වනය තුළට පිවිසියෙමු. ගමනේ මුල් අදියරෙහි පියවර කිහිපයක් කටු සහිත ශාක වේ. මැදි අදියරේ සිට කඳු මුදුන තෙක්ම ඉහළ ආනතියක් සහිත බෑවුමක ගමන් කිරිමට අපට සිදුවිණි. එය තරමක් දුෂ්කර ගමනකි. එමෙන් ම ගමනාන්තයට පියවර කිහිපයකට පෙර මාන පඳුරු මැදින් ගමන් කිරීමට අපට සිදුවුණි. මගපෙන්වීම සඳහා සුදු පැහැති ඊතල සලකුණු තබා තිබුන ද ඒවා බොහොමයක් මැකී ගොස් ඇති අයුරු දක්නට ලැබුණි. කෙසේ නමුත් තද වර්ෂා කාලයදී හැර වියළි කාලගුණික තත්ත්වයකදී පාර සොයා ගැනීම ආධුනික කඳු නගින්නකුට වුව ද එතරම් අපහසු නොවනු ඇත. රසබර කතාබහ සමඟින් ම එකිනෙකාගේ අන්‍යෝන්‍ය සහයෝගයෙන් පය නොලිස්සා සීරුවට කඳු මුදුනට ළඟා වීමට අපට පැය දෙකකට ආසන්න කාලයක් ගත වුණි.
යක්දෙස්සාගල නොහොත් කුවේණිගල, වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටා ඇත. ඇතුගල හා ආඳාගලෙන් ආරම්භ වන කඳු පංතියේ ඇති උසම කඳු මුදුන මෙයයි. උසින් මීටර 540 ක් පමණ වන මෙය කුරුණෑගල දිස්ත්‍රික්කයේ දෙවන උසම කඳු මුදුනයි. ඓතිහාසික පුරාවෘත්තයන් ගොන්නක් දරාගත් යක්දෙස්සාගල වටා ජනප්‍රවාද රැසක් බැඳී පවතී. ඉන් පළමුවැන්න නම් විජය - කුවේණි කතා පුවතේ අවසානය සනිටුහන් කරමින් කුවේණිය විජය රජුගේ පිටුපෑමෙන් ශෝකයට පත්ව ඔහුට සාප කොට මෙම කඳු මුදුනෙන් පැන දිවි තොර කරගත් බවත්, යක්ෂ ගෝත්‍රිකයින් කුවේණියගේ විලාපය ඇසෙන මානය තෙක් දෙස් තැබූ බවත් එබැවින් මෙය යක්දෙස්සාගල නම් වන බවට ඇති ජනප්‍රවාදයයි. දෙවැන්න වන්නේ විජය රජු විසින් කුවේණිය සහ දරුවන් පලවා දැමීමෙන් පසුව ඇය නැවත තම යක්ක සනුහරය සොයාගෙන ඔවුන් වෙත පැමිණ ඇත. එවිට තම සනුහරයම පාවාදුන් කුවේණිව එම යක්ක ගෝත්‍රිකයන් විසින් ද ප්‍රතික්ෂේප කර පලවා හැර ඇත. එහෙයින් කුවේණිය යක්කයන්ට ශාප කර ගලෙන් පහළට පැන ඇති බවත්, මෙලෙස යක්කයන්ට දෙස් දුන් ගල "යක්දෙස්සාගල" ලෙස නම පටබැදුණු බවත් සඳහන් වේ. තවත් ජනප්‍රවාදයක සඳහන් වන්නේ කුවේණිය විසින් සිය යක්ක සනුහරයම පාවාදීමේ හා නෑයන් ඝාතනය කරවීමේ වරදට යක්ක ගෝත්‍රික නායකයන් විසින් ඇයව මෙම ස්ථානයට ගෙනවිත් දිවකපා ප්‍රපාතයට ඇද දැමූ බවයි. පසුව කුවේණියගේ දෙඇස් යක්දෙස්සාගල පාමුල නිදන් කොට ඇති බවයි. එබැවින් අතීතයේ ‛යක්ඇස්සාගල’ ලෙස හඳුන්වනු ලැබූ මෙය පසුව ‛යක්දෙස්සාගල’ වී ඇති බව පැවසේ. කුවේණියගේ සොහොන, ගල පාමුල අදටත් ඇති බවට ගම්මුන් විස්වාස කරයි.
කුවේණියගේ සාපය ඇසෙන මානයේ සිටි ඉබ්බෙක්, එළුවෙක්, ඇතෙක්, කුරුමිණියෙක් හා ආඳෙක් යන සතුන් ගල් පර්වත බවට පත් වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. පිලිවෙළින් ඉබ්බාගල, එළුවාගල, ඇතාගල (ඇතුගල), කුරුමිණියාගල හා ආඳාගල ලෙසින් අදටත් රහස් ගොන්නක් සඟවාගනිමින් හස්තිශෛල පුරවරය වටා ප්‍රතාපවත් ව විද්‍යාමාන වේ. ශ්‍රී ලංකාව පිළිබඳ ලියැවුණු ඓතිහාසික වාර්තා අතර ද යක්දෙස්සාගල පිළිබඳව සටහන් හමු වී ඇත. මහාචාර්ය විල්හෙල්ම් ගයිගර්ගේ “Ceylon Tagebuchblatter and Reiseerinner Ungen” කෘතියෙහි කුරුණෑගල පිළිබඳ කරන ලද විස්තරයෙහි යක්දෙස්සාගල පිළිබඳ සඳහන් වේ. එය සුදන්තක බී. විජේතුංග මහතා විසින් ‛ගයිගර් දුටු ලංකාව’ නමින් පරිවර්තනය ද කර ඇත.
මා හැඟි පරිදි කඳු නගින්නන්ගේ පරම සුවය වන්නේ කන්දක් මුදුනටම ගොස් නෙත් මන පිනවන රමණීය දසුන් නැරැඹීමය. යක්දෙස්සාගල මුදුනටම නැගගත් අප අංශක 360ක හරිත දර්ශන තලයක් නැරැඹීමට තරම් වාසනාවන්ත වූවෙමු. සොබා මාතාවක් අපට ආශිර්වාද කරන්නාක් මෙන් හිරු වැහි වලාවකින් සඟවා ගත්තේ ය. දෙමටව කන්ද, කදිරාගල, වැල්ලාගල, නාථගනේ, වේරපොල, කිරිබත්ගල, ආඳාගල, ඉබ්බාගල, ඇතුගල, හඳුරුක්කන්ද, බෙල්ගොඩ, පරපේ, අලගල්ල, බිසෝගල, දොළුකන්ද, අම්බොක්ක, මැණික්දෙන වැනි කඳු ගණනාවක් මෙන්ම කුරුණෑගල නගරයද එකම තැනක සිට සිත්සේ නැරැඹීමට අපට හැකිවිණි. එක් පසෙකින් දැදුරු ඔය ජලාශය ද දර්ශනය වුණි. පැහැදිලි කාලගුණයක් තිබීම නිසා ගල මුදුනෙහි රැදී සිටීමේදී හිරු රශ්මියෙන් යම් අපහසුවක් දැනුන ද විටින් විට හමන මද පවන නිසාවෙන් හා අප දෑස් ඉදිරියේ දර්ශනය වන සුන්දර දසුන් හේතුවෙන් අපට හිරු රශ්මිය බාධාවක් නොවුණි.
කණ්ඩායම් සාමාජිකයින්ගේ සමූහ ජායාරූපයට පසුව අප දිවා ආහාරය ගල මත සිට ම ලබාගත්තෙමු. වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් පිපාසය තරමක් තදට දැනෙන නිසා ප්‍රමාණවත් පරිදි ජලය රැගෙන යාම අත්‍යවශ්‍ය වුණි. මන්ද වියළි කාලයේදී කන්ද මුදුනෙහි ජල මූලාශ්‍රයන් කිසිවක් දකින්නට නොලැබීමයි. දිවා ආහාරයෙන් පසුව, කඳු නගින්නන් විසින් අනිවාර්යයෙන් ම දැන සිටිය යුතු කරුණු කිහිපයක් පිළිබඳ හරවත් තොරතුරු රාශියක් අප කණ්ඩායමේ එක් සොයුරියක් විසින් ඉදිරිපත් කරන ලදි. කණ්ඩායමේ අනෙක් සාමාජිකයින් සියල්ලන් ම එයට ධනාත්මක ව ප්‍රතිචාර දැක්විය.
පැය දෙකකට ආසන්න කාලයක් සිත්සේ වටපිටාව විඳගත් අපි පිය සටහන් පමණක් ම ගල මත තබා නැවත ආපසු කන්ද පහළට යාමට පටන්ගත්තෙමු. කන්ද නගින විට මෙන් ම පහළට බසින විට ද වර්ණවත් සමනල්ලු, කටුස්සන් මෙන්ම වියළි කලාපයට ආවේණික සත්ත්ව විශේෂ හමුවිණි. එමෙන් ම හතු විශේෂ කිහිපයක් ද මා නෙත ගැටිණි. ආපසු පැය දෙකක පමණ වෙලාවක් ගතකොට පරිස්සමින් පහළට බැසගත් අප කණ්ඩායම, ගල පාමුල ඇති සංවැලි රජමහා විහාරයේ තිබූ ජලයෙන් පිපාසය සංසිදුවා ගත්හ. ආපසු එන ගමනේදී අපි බස් රථය කුරුණෑගල රන්තාලිය වැව අසල නතර කර, පැයක පමණ කාලයක් වෙහෙස නිවා ගනිමින් ගත කළෙමු. සුන්දර මතකයන් හා කිසිදා අමතක නොවන අත්දැකීම් රාශියක් සමඟින් අපි රාත්‍රී 7 පමණ නැවත විශ්ව විද්‍යාලයට පැමිණියෙමු.
විජය - කුවේණි පුරාවෘත්තයෙහි අවසානය සනිටුහන් වුණු කුවේණිගල නොහොත් යක්දෙස්සාගල තවත් චිරාත් කාලයක් රහස් ගොන්නක සමරුවක් ලෙස විජයාමානව පවතීවි. පා සටහන් පමණක් ම තබා මතක ගොන්නක හිමිකාරිනියක් ලෙස මෙලෙස සමුගනිමි. ඇවිදින්න. විඳින්න. ජීවත් වන්න. යනෙන එනෙන තැන පිය සටහන් පමණක් ම තබා රකින්න. සොබාදහම නුඹව රකිනවා නිසැකයි.
සටහන:
දිශාන්ති අමරසිංහ
ව්‍යාපාර පීඨය
20 කණ්ඩායම